Thursday, August 14, 2025
Epaper
Home Recipeරසට-යසට කිරට-මිරිසට මාළු මිරිස්

රසට-යසට කිරට-මිරිසට මාළු මිරිස්

by Thanushika

උත්සව අවස්ථාවන්වලදී වගේම නි‍ෙවසේ විශේෂ කෑම වේලකදී සාදාගන්නට පුළුවන් රසවත් ආහාරයක් ලෙස මාළු මිරිස් හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ අප ඉදිරිපත් කරන්නේ මාළුමිරිස් යොදාගෙන සාදාගන්නට පුළුවන් රසවත් ආහාර වට්ටෝරු කිහිපයක්.

මාළු මිරිස් පිරවුම


මෙය හරිම ජනප්‍රිය ඒ වගේම රසවත් ආහාරයක්.

අවශ්‍ය ද්‍රව්‍ය-

මාළු මිරිස් කරල් 10ක් පමණ

ලියාගත් ලොකු ලූනු ගෙඩි 05ක්

තම්බා පොඩි කරගත් අල ගෙඩි 02ක්

පොඩි කරගත් සැමන් හෝ මාළු ටිකක්

කෑලි මිරිස් තේ හැඳි 04ක්

ලියාගත් අමු මිරිස් කරල් 05ක්

උම්බලකඩ කෑලි මේස හැඳි 02ක්

මිටිකිරි කෝප්ප 01ක්

කහ කුඩු තේ හැඳි කාලක්

තුනපහ තේ හැන්දක්

මිරිස් කුඩු තේ හැන්දක්

රස අනුව ලුණු

රම්පේ, කරපිංචා

සාදන ක්‍රමය

01. මාළු මිරිස් හොඳින් සෝදා තෙත බේරෙන්නට තබන්න. ඉන්පසු පිහි තුඩකින් දිග අතට පැල්මක් දමාගෙන ඇතුළේ ඇට පරිස්සමින් ඉවත් කරගන්න.

02. තෙල් රත්වන්නට තබා එයට ලියාගත් ලූනු, රම්පෙ, කරපිංචා, අමු මිරිස්, උම්බලකඩ, කෑලි මිරිස්, අල සහ පහේ වර්ග එකතුකර මඳක් තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු එකතු කරගන්න.

03. හොඳින් නිවුණු පසු මේ මිශ්‍රණය මාළු මිරිස් කරල ඇතුළට පුරවාගන්න.

එය පැතලි භාජනයක පිළිවෙළට අසුරා මිටි කිරිවලට ලුණු සහ කහ කුඩු ටිකක් මිශ්‍ර කර භාජනයට දමන්න.

04. මඳ ගින්නේ මාළු මිරිස් කරල් තැම්බෙන තුරු හැඳි නොගා පිසගන්න. නොන්ස්ටික් භාජනයක් භාවිත කිරීමට හැකි නම් වඩාත් සුදුසුයි.


මාළු මිරිස් කිරට

අවශ්‍ය ද්‍රව්‍ය:

මාළු මිරිස් කරල් 06ක්

උකු පොල් කිරි කෝප්ප 01ක්

තුනපහ කුඩු මේස හැඳි 01ක්

කහ කුඩු තේ හැඳි 01ක්

උළුහාල් තේ හැඳි 01ක්

කුරුඳු පොතු කිහිපයක්

ලොකු ලූනු ගෙඩි 01ක්

කරපිංචා කොළ

රස අනුව ලුණු කුඩු

සාදන ආකාරය:

01. මාළු මිරිස් කරල් හොඳින් සෝදාගෙන දෙකට මැදින් පළා ගන්න. මෙහිදී වෙන්වෙන්නට මාළු මිරිස් කරල කපන්න එපා. මෙසේ දෙකට මැදින් පැළුෑ විට හොඳට තුනපහ මිරිස් කරලට අල්ල ගන්නවා.

02. පිස ගැනීමට යොදා ගන්නා භාජනය තුළට මාළු මිරිස් කරල් දමා කරපිංචා කොළ එයට එකතු කරන්න.

03. ලොකු ලූනු ගෙඩිය ද සිහින්ව කපාගෙන එයට එකතු කරන්න.

04. උළුහාල්, රස අනුව ලුණු කුඩු, තුනපහ කුඩු, කහ කුඩු සහ කුරුඳු පොතු එකතු කරන්න.

05. මෙහිදී මාළු මිරිස් සඳහා මිරිස් කුඩු හෝ අමු මිරිස් එකතු කිරීමට අවශ්‍ය නොවේ. එසේ කරන්නේ මාළු මිරිස්වල අවශ්‍ය ප්‍රමාණයට සැර ගතිය අඩංගු වී ඇති නිසයි.

දැන් සියල්ල හොඳින් කලවම් කරන්න.

06. පොල් කිරි එකතු කරමින් ටිකක් කලවම් කරන්න. පොල් කිරි එකතු කිරීමෙන් පසු මෙය විනාඩි 15 – 20ක් විතර මඳ ගින්දරේ පිස ගන්න.


මාළු මිරිස් තක්කාලි හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය

▫️ හතරට පළා ගත්ත මාළු මිරිස් කරල් 5 – 6ක්

▫️ ලොකුවට කෑලි කපා ගත් ලොකු ඉදුණු තක්කාලි ගෙඩි 2ක්

▫️ ලොකුවට තීරු කපා ගත් ලොකු බී ලූනු ගෙඩි 1ක්

▫️ හීනියට කපා ගත් රතු ලූනු ගෙඩි 03 -04ක්

▫️ හීනියට ලියා ගත් සුදු ලූනු බික් 2ක්

▫️ හාල්මැස්සො ටිකක් (කූරි 5-6 ක් වගේ)

▫️ රම්පෙ සහ කරපිංචා ටිකක්

▫️ අබ ඇට තේ හැඳි 1/4ක්

▫️ උළුහාල් තේ හැඳි 1/4ක්

▫️ කහ කුඩු තේ හැඳි 1/4ක්

▫️ මිරිස් කුඩු තේ හැඳි 1ක්

▫️ අමු තුනපහ කුඩු තේ හැඳි 1/4ක්

▫️ පොල් තෙල් මේස හැඳි 2ක්

▫️ උකු පොල් කිරි කෝප්ප 1 1/2ක්

▫️ සීනි තේ හැඳි 1/4ක්

▫️ රස අනුව ලුණු

සාදන ක්‍රමය

01. හොඳට ඉඩකඩ තියෙන හට්ටියක් ළිපේ තියලා ඒකට තෙල් ටික දමන්න.

02. තෙල් රත් වෙද්දී මුලින්ම අබ ටික දාන්න. අබ පුපුරද්දී රම්පෙ, කරපිංචා ටිකත් එක්ක ලියා ගත් රතු ලූනු ටික දාන්න.

03. ඒ ටික විනාඩියක් විතර තෙම්පරාදු කර ඊළඟට උළුහාල් ටිකයි සුදු ලූනු දාන්න.

04. ඒ ටිකත් පොඩ්ඩ වෙලාවක් තෙම්පරාදු කරන්න.

05. දැන් මේකට බී ලූනු ටික දාන්න. ඒ ටික මැල වීගෙන එද්දී කපා ගත් තක්කාලි, මාළු මිරිස් එක්ක හාල්මැස්සො ටික දමා හොඳට උඩ යට පෙරළලා කලවම් කරන්න.

06. ඊට පස්සෙ මිරිස් කුඩු, කහ කුඩු එක්ක අමු තුනපහ කුඩු ටික දාන්න.

07. හොඳට කලවම් කර අඩු ගින්දරේ විනාඩි පහක් තියන්න. මෙයට පොල් කිරි, සීනි එක්ක ලුණු කුඩු දාන්න. හොඳට කලවම් කරන්න.

08. දැන් ළිපේ ගින්දර ටිකක් වැඩිකර හොද්ද එක්වරක් හොඳට උතුරවන්න. එකපාරක් ඉතුරුවට පස්සෙ ළිපේ ගින්දර ටිකක් අඩු කරන්න. දැන් අඩු ගින්දරේ විනාඩි දහයක් විතර හොඳට තෙල් පෑදිලා හොද්ද ටිකක් උකු වෙනකම් උයා ගන්න.

09. තක්කාලියි, හාල්මැස්සොයි එකට දාලා කන්න බය අය හාල්මැස්සො වෙනුවට උම්බලකඩ හෝ කූණිස්සන් දාලා හොද්ද හදා ගන්න.


මාළු මිරිස් කට්ලට්


අවශ්‍ය ද්‍රව්‍ය

උණු වතුරේ විනාඩි තුනක් තම්බාගෙන මදය හිස් කර දිග අතට පැල්මක් දැමූ මාළු මිරිස් කරල් 10ක්

පිරවුමට

ලියාගත් ලොකු ලූනු ගෙඩි පහක්

තම්බා පොඩි කරගත් අල ගෙඩි දෙකක්

කෑලි මිරිස් තේ හැඳි හතරක්

ලියාගත් අමු මිරිස් කරල් 5ක්

උම්බලකඩ කෑලි මේස හැඳි දෙකක්

කහ කුඩු තේ හැඳි කාලක්

ගම්මිරිස් කුඩු

ලියාගත් සුදුලූනූ බික් හතරක්

බැටර් එකට

පාන්පිටි කෝප්ප එකක්

බිස්කට් කුඩු අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

01. තෙල් ටිකක් ළිප තබා, මාළු, අල ඇතුළු පිරවීමට අවශ්‍ය සියලුම දේවල් එකතුකර තෙම්පරාදු කරගන්න.

02. පාන් පිටි, කහ කුඩු සහ වතුර මිශ්‍රකර බැටර් එක සාදා ගන්න.

03. මාළු මිරිස් කරල් ඇතුළට පිරවුම පුරවා ගන්න.

04. දැන් බැටර් එකෙහි හොඳින් දවටා බිස්කට් කුඩුවල දවටා ගන්න.

ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න.

උපදෙස් –

ප්‍රවීණ️ සූපවේදිනී

ඉන්දිකා බණ්ඩාර

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?