පුංචිම පුංචි මල් කිනිත්තකට මේ තරම් වටිනාකමක් දෙන්න පුළුවන් කියලා ඔයාලා හිතුවද? බලන්නකෝ මේ රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් ඩේලියා, පිච්ච, රෝස, කානේෂන් වගේ පුංචි මල් කිහිපයකට ජීවය ලබාදී ඇති අපූරුව.
මේ රිබන් එම්බ්‍රොයිඩරි මල් ඔබේ ඇඳුමේ වටිනාකම වැඩිදියුණු කරන්නට අපූරු මඟ පෙන්වීමක් එකතු කරාවි.
අන් අය අතරේ කැපී පෙනෙන්නට මෙය කදිම අවස්ථාවක්.
අවශ්‍ය ද්‍රව්‍ය:-
ලිනන් රෙදි
එම්බ්‍රොයිඩරි කටු (Embroidery Hoop)
ට්‍රැපැස්ට්‍රි ඉදිකටු (Tapasty Needle)
රිබන් (අඟල් 1/2, අඟල් 1/4)
ලයිටරයක්
පබළු
නිර්මාණය කිරීම:-
පළමුව මෙම නිර්මාණයේ ඔබ කැමති මල් මෝස්තරයක් ඇඳ ගන්න. ඒ සඳහා ෆැබ්රික් චෝක් භාවිතයට ගන්න. අනතුරුව කුඩා මල් කිනිති මසා ගැනීම කළ යුතුය. සැටින් රිබන් අඟල් 1/2ක ප්‍රමාණය ගන්න. ට්රැපැස්ටි ඉදිකටුවට රිබන් එක අමුණා ගන්න. රෙදි කොටස ඉහළින් ඉදිකටුව මතු කරගන්න. අවශ්‍ය දුරින් ඉදිකටුව නැවත රෙදි කොටසට ගසන්න. (Straight Petal) මෙලෙස පෙති පහක් මසාගන්න. (1 රූපය)
3D ආකාරයට මල් පෙති සියල්ලම මසා ගැනීම විශේෂ වේ. ලයිටරයක් ආධාරයෙන් රෙදි කොටසට හානියක් නොවන පරිදි කණපිට පැත්තේ රිබන් පුච්චා ගන්න.
විවිධ වර්ණ කිහිපයක් එකතු කරගෙන කුඩා මල් රෙදි කොටසේ තැනින් තැන මසා ගන්න. (2 රූපය)
අඟල් 1/4 ප්‍රමාණයේ කොළ පැහැති රිබන්වලින් මල් අතර පත්‍ර තැනින් තැන මසා ගන්න. පත්‍රය මසාගත යුත්තේ රෙදි කොටස උඩින් රිබන් එක මතු කරගෙන ඔබට අවශ්‍ය පත්‍රයේ දිග අනුව රිබන් එකේ උඩින් ඉදිකටුව ගසා රිබන් එක පහළට ඇදීමෙනි. (3 රූපය)
කොළ වර්ණ කිහිපයක එකතුවෙන් මල් කිනිති අතර තැනින් තැන පත්‍ර මසාගන්න.
අනතුරුව (4 රූපය) දිස්වන මල මසාගත යුත්තේ අඟල් 1/2 ප්‍රමාණයේ රිබන් එක යොදාගෙනය. එහිදීත් ඉහත ආකාරයට මලේ මැද කොටස පබළුවලින් මසා ගැනීමට කුඩා ඉඩක් ඉතිරි කර පෙති මසා ගන්න. මලේ පෙති මසා ගත් පසුව මැදට කුඩා පබළු මසාගන්න.
තැනින් තැනට අඟල් 1/2, 1/4 ප්‍රමාණයේ රිබන් යොදා ගෙන පත්‍ර මසාගන්න. (5 ,6 රූප)
මෝස්තරයේ නටුව කොටස් මසාගැනීමේ දී දම්වැල් මැස්ම, සැටින් මැස්ම, ආපසු මැස්ම (Back Stitch) වැනි මැහුම් ක්‍රමවලින් එකක් තෝරාගෙන මසාගන්න.
මෙම මෝස්තරයෙන් ඔබට අවශ්‍ය පරිදි සායක්, කුර්තා ඇඳුමක් හෝ බ්ලවුසයක් මසාගන්න.
ඔබ කඩෙන් මිලදී ගන්නා ඇඳුමක් සඳහා මල් මෝස්තරය කරනවානම් කණපිට
පැත්තට ලයිනින් දාන්න. නැතිනම් කණපිට පැත්තේ ඇති රිබන් නොගැළවෙන ලෙස පුලුස්සා ගන්න.
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
රවීනා සෙව්වන්දි
pix by – ශාන් රඹුක්වැල්ල