Saturday, August 16, 2025
Epaper
Home කවි හිමිදිරියහිමිදිරිය

හිමිදිරිය

by Thanushika

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට යොමු කරන්න.

අද හිමිදිරියට කවි තෝරන ඔහු සුදත් ගාමිණී බණ්ඩාර

ප්‍රවීණ කවියකු සේම ගී පද රචකයකු වන සුදත් ගාමිණී බණ්ඩාර මේ වන විට කවි පොත් හයක් සහ ගී පදමාලා සංග්‍රහ දෙකක් පළකර ඇත. ඔහුගේ ‘උමා’ නමැති ගී පදමාලා කෘතිය උදෙසා 2006 වසරේදී ‘රාජ්‍ය සාහිත්‍ය සම්මානය’ හිමි විය. සමන් ජිනදාස ගායනා කරන ‘තුමුල නමුණුකුල’ සහ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘හන්තාන දෙසින් එන’ වැනි ප්‍රශස්ත ගී රැසක පද රචකයා ද ඔහුය.

හොඳම කවිය

ඉගැන්නුවෙ ඇත්තටම අපිමද

(නිමිත්ත උද්ඝෝෂණයක් කළ ගුරුවරුන්ට ජල ප්‍රහාර – කඳුළු ගෑස්)

පොලිස් පුතේ

හැබෑවට ඒ විද්දෙ වතුරද…
තෙලෙස් වසරක් කරපු අකුරුද?
අවි අරන් මඟ හරස් කෙරුවේ
හෝඩි පොත්වල උන්නු අමරද?

ඇත්තටම ඒ ගැසුවෙ කඳුළු ද…
විභාගෙට අරගත්තු ලකුණු ද?
අඳුර ගන්නට බැරිම තරමට ..
දරුවනේ අපි ගොඩක් වයසද?

දමන් හෙල්මට් වහන් උන්නේ…
වඳිනකොට අත ගාපු ඔළුමද?
යුනිෆෝම්වල ගහන් උන්නේ…
හෝඩියෙදි අපි දුන්නු තරුමද?

ඉගැන්නුවෙ ඇත්තටම අපිමද…
පොඩි එවුන් ඉස්කෝලෙ යනවද?
අපිට නම් නැතිවුණත් කම් නෑ…
ගෙදර වියදම් නුඹට කෝමද?

නුඹට තෙරුවන් සරණයි.
ගුරුතුමී

ගාමිණී මද්දුමගේ
බදුල්ල බන්ධනාගාර වෛද්‍ය ඒකකය

සෑම ප්‍රතිභා සම්පන්න කවියෙක්ම රසිකයාගේ මනෝ භාවයන් පුබුදු කිරීමට උත්සුක වෙයි. ඒ සඳහා රමණීය කාව්‍යෙක්ති නිර්මාණය උදෙසා හැඟීම් දනවන අයුරින් භාෂාව භාවිත කළ යුතු වේ.
කවියාගේ අභිමතාර්ථය සාධනය වනුයේ ඔහු බසෙහි ව්‍යංජන ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සමත් වූ විටදී ය. ‘(කවිකම් මනරම්’ -මහාචාර්ය සරත් විජේසූරිය)
මේ සතියේ හොඳම කවිය ලෙස ගාමිණී මද්දුමගේ කවියාගේ ‘ඉගැන්නුවෙ ඇත්තටම අපිම ද’ කවිය තෝරා ගතිමි.

කවියාගේ පරිකල්පනය අපූරුය. ගුරු උද්ඝෝෂණයකදී දුටු දර්ශනයක් ඔහුගේ කවියට අනුභූතිය වී ඇත.

තමන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ, අතීතයේ තමාගෙන්ම ඉගෙන ගත් පාසල් සිසුවකුගෙන් ගුරුවරයකු කරන ප්‍රශ්න කිරීමක් ලෙස මේ කවිය නිර්මාණය කර ඇත.

ඒ මඟින් ගුරුවරයාගේ අාධ්‍යාත්මය පමණක් නොව, ඔහුගෙන් ඉටු වූ මහඟු සේවය ද, අද ගුරුවරයා පත්ව සිටින ඛේදනීය තත්ත්වය ද ධ්වනිතාර්ථවත් ලෙස එළිදැක්වීමට කවියා සමත් වී ඇත.
————-

සොයා දෙන්න

වීදියෙන් වීදියෙ සරමි
නෙතු පේන මානයේ විමසමි
ඒ අහිංසක දුඹුරු ඇස් දෙක
දුටුවාද නෝනා මහතුනි

පරක්කු වී නැඟිටින්නී
ඔඩොක්කුවෙද නිදියන්නී
කුසගින්නද ඉවසන්නී
තුරුලේ ඈ දැවටෙන්නී

අජිනමොටෝ රස හඳුනයි
විස මිශ්‍ර කෑම ඈ නොබුදියි
විපත්තියකදි දෑස ලොකුවෙයි
දිව’විත් සරණක් අයැදියි

මස් මාංසවලට ගිජු නැත
ඉදිච්ච ගස්ලබු වළඳන
ඈ කැමැති ඖෂධ වෙනුවට
කුප්පමේනිය මුලක සුවඳට

ගයයි සුගීතව පුරු පුරු
උවන පියකරුය වටකුරු
හිස අතගෑවොත් කීකරු
කදිම කෙනෙකි නිදිලොව හුරු

හෙරක් නොවේ පිළිගන්න
ඈ දුටුවොත් සරණක් වෙන්න
මේ දුරකතන අංක අමතන්න
“සරණි ” යළිත් මට දෙන්න

සොයමි මා සොඳුරු රුවැතිය
පුදුම තරම් හුරුබුහුටිය
පාළුය ඈ නැති මගෙ ගෙය
ඒ මගේ කීකරු බැළලිය

රඹුක්කන කීර්ති එස් කුමාර
—————-
එකම ඉර හඳ යට ඉඳන් සිනාසෙමි වෑයමෙන්….

කඳු හෙල් මිටියාවත්
දිය කදුරු සීතල ගඟුලැල්
සොබා දහමට ළං වෙලා
අපූරුවට රහස් කියන …

නාගරික පැල්පත්
අහසට නඟින දුම් රොටු
එදා වේල සරි කරන්නට
බැරි බර ඔසවන…

සතුටක් අසල නැති
ගැහැනු පිරිමි රැගෙන
හරි ජාති රිය පෙරහර
අධිවේගයේ වේගයෙන් දුවනා….

වැඩබිම් තෙමාලන
කම්කරු දහඩිය බිඳු
අමාරුම කාලෙක වුව
වෑයමෙන් සිනාසෙන…

ලුණු රහට හුරුවුණු
තෝරු මෝරු එකිනෙකා හැප්පෙන
හතර වට මහ මුහුද
මහ හඬින් රළ බිඳෙන…

දෙව්ලොවට දුර වුවද
අපායට ළඟම වන
එකම කොදෙව්වක
හෙට දිනක් තවම ඇත
මනුස්සකම් පිරුණ …

නයන්ත ජගත් පුංචිහේවා

—————
හසරැලි දොවමි

මුළු ලොව නිදන සඳ අඳුරෙම ගගන නැඟී
කඩුපුල් කුමුදු මාරුක් මල් වෙතට ඉඟී
දෙවමින් ලොවට බෙදු කිරණක සුවය හැඟී
සඳමත නැඟුණු සාවියකගෙ දෙනෙත පෙඟී

වා තල අරා සුසුමන් ඇගෙ සෙමින් ඇදී
මේ කුළු අතර සිරවෙයි හද රිදුම් දිදී
හී සර ලෙසින් සැඩ කිරණක් නෙතට වැදී
පීදුණ කඳුළු කැටයෙත් සඳ රුවම අඳී

සැඩකර සුවය මුතු පිනි පොද පහස හැරා
සුකොමළ පවන නැළවෙන තුරු මෙහැම වරා
හදතුළ නැඟුණු අසනිය පෙම දෝත දරා
සෙවණැලි අතර ගුළි වුණි උරුමයද හැරා

මුළු ලොව අතැර ගැයු ගීයෙහි සොඳුරු තනූ
මතකය, පාරමින් ලොවටම හොරෙන් ඉනූ
ඉකිලන කොපුල් මත රූරන කඳුළු උණූ
නොදැකම සඳත් රහසෙම තරුවකට බිනූ

කඩුපුල් සුවඳ දඟදෙන මඳ පවන දිගේ
ගලනා විටදි, තරු සඳ වට දමන දඟේ
උසුලනු නොහැකි සාවිය දුක් කඳුළු ගඟේ
ගිලෙමින් නිවයි ගිනි දලු හද නැඟෙන ඇගේ

යවුලක් ඇනේ සිතුවිලි හැම විසිර ඉරා
දෝතින් බදා ගමි එනමුදු මතක පෙරා
ගගනත තනිව කඳුළක හැම බරද දරා
හසරැලි දොවමි යළි සසදර නැඟෙන තුරා

සමීරා අනුරාංගනී
මීරිගම

————-
කිරි හීන

නොදකින මුනුබුරු
මියුරු හඬින් තෙපළු
කවි ගී මුමුණනු…
සිතින් පතා සිනාසෙයි…
මුත්තණු…!

අරුණ විජේසේන

—————-

 නෑ යළි එන්නේ

දිය බෙත්මෙන් ඉපිද – තෝතැනි පහු කරලා
කන්දේ දියෙන් නෙක – නිල් දිය වැල් මවලා
ගංගා ගලයි – මිටියාවත් පසු කරලා
ගල් මුල් උඩින් පැන -පෙණ පිඬු විසුරුවලා

ආපහු ගලාවිද – ඒ ගංදිය කවදා
ඉදිරිය බලා යනු මිස – තැනි පසු කරලා
කඳු වැටි සිතන්නේ – නෑ යළි එයි කියලා
හිනැහෙයි නඟන සුදු පෙණ පිඬු දෙස බලලා

නිලක්ෂි බණ්ඩාර
රත්නපුර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?