මඩ ගෑවෙන ගෙවතු වැඩ සුව කර දෙයි හිතේ ලෙඩ

අගෝස්තු 4, 2021

 

විශාදය යනු නූතන සමාජය තුළ පුළුල්ව කතා බහ කෙරෙනා මානසික සෞඛ්‍ය ප්‍රශ්නයකි. වසංගතයක් ලෙස මෙම තත්ත්වය ලොව පුරා වේගයෙන් පැතිරී යාමට හේතුව ලෙස විද‍්‍යාඥයින් දකින්නේ, කෙළවරක් නොදකින අභියෝග හඹා යාම සඳහා මිනිසා උනන්දුවීම පසුපස එන සංකීර්ණ හා ව්‍යාකූල දිවි පැවැත්මයි.

වර්තමානයේ ඇති සංචරණ සීමා හේතුවෙන් ඒකාකාරී පරිසරයක් දෙස බලාගෙන ගෙදරට කොටුවී සිටින ජනතාව ද ඉතා පහසුවෙන් මෙවන් රෝගී තත්වයන්ගේ ගොදුරක් විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මක මතයයි. බාහිරින් ප්‍රතිකාර කරනවාට වඩා ශරීරය තුළින්ම රෝගයට බෙහෙත් මතුකර ගැන්මට ලොව පුරා පර්යේෂකයින් උනන්දුවීමට පටන්ගෙන තිබෙන අතර, මෙය කළ හැකි වන්නේ සතුට ඇතිකරන රසායන ද්‍රව්‍යයන් දේහය තුළ නිපදවීම උත්තේජනය කරවීමෙන්ය. මෑතකදී ප්‍රකාශයට පත්වූ අපූරු සොයාගැනීමකට අනුව මේ සඳහා කළ යුත්තේ ඔබ විසින්ම ගෙවත්තේ වැවූ බෝගයන්හි අස්වැන්න, පස් තවරාගත් අපිරිසුදු දෑතින් යුතුව නෙළා ගැනීමයි.

නූතන පර්යේෂණ දත්තයන් උපුටා දක්වමින්, විද්‍යා සඟරාවකට ලිපියක් සපයන ඕස්ට්‍රේලියානු ජාතික ලේඛිකාවක් වූ රෝබින් ෆ්‍රැන්සිස් මහත්මිය පවසා සිටින්නේ සෙරොටොනින් සහ ඩෝපැමින් නම්වූ රසායන ද්‍රව්‍යයන් දෙකක්, මිනිස් සිරුර තුළම නිපදවමින් විශාදය පාලනය කිරීමට පෙරමුණ ගෙන ඇති බවකි.

“ගෙවතු වගාව තුළදී ඔබගේ ඇඟිලිතුඩු පස හා ගැටී අපිරිසුදු වෙන විට මයිකොබැක්ටීරියම් වැක්සේ (Mycobacterium vaccae) නම් පාංශු බැක්ටීරියාව අත්වල තැවරිලා මිනිස් මොළයේ සෙරොටොනින් නම් ද්‍රව්‍ය නිපදවීම උත්තේජනය කරනවා. එය ‘සතුටු රසායනයක්’. ඒ මඟින් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කර විශාදය අඩු කරනවා. රුධිරගත සෙරොටොනින් අඩු තත්ත්වය යටතේ තමයි විශාදය ඉහළ යන්නේ” ඇය පවසා සිටී.

පාරිසරික සාධකවලට මුහුණ නොදී සුපිරි පවිත්‍රතාවයන් හඹායන සමාජය මුහුණදෙන අත්තරායන් ගැන තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකය. විශේෂයෙන් වැඩි පණ්ඩිතකම නිසා වැලිකෙලියට නොදමන ‘සුපිරි පවිත්‍ර දරුවන්’ අසාත්මිකතාව, ඇදුම, මානසික ආබාධ යනාදියට පහසු ගොදුරු බවට පත්වෙන ආකාරය පිළිබඳව ද අධ්‍යයනය කරමින් තිබේ.

තවත් පර්යේෂණ තොරතුරක් පෙන්වා දෙන්නේ තම වගාවෙන් අස්වැන්න නෙලනා විට මොළයෙන් ශ්‍රාවය කෙරෙනා ඩෝපැමින් නම් සංයෝගය ගැනයි. විද්වතුන් විශ්වාසකරනා අන්දමට මෙහි ඉතිහාසය වසර දස දහස් ගණනකට පෙර විසූ ‘දඩයම්කරන හා පලවැල එකතුකරන’ (Hunting and Gathering) මානවයා සමඟ ද බැඳී පවතී. තමා සොයන ආහාරය දුටු පමණින්ම, එහි සුවඳ දැනුණු විගසින්ම, එසේ නැතහොත් පලවැල නෙලනා අතරතුරදීම මොළයේ සුවිශේෂ ස්ථාන වෙතින් හදිසි ඩෝපැමින් නිදහස් කිරීමක් සිදුවන්නේය. සිතෙහි අහුමුලුවලට අරක්ගෙන තිබූ සියලු කහට දුරලා, මිනිසා තෘප්තිමත් කිරීමට මෙම ක්ෂණික ඩෝපැමින් ප්‍රහාරය සමත්වේ.

එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් ද, මීට සමාන ප්‍රතිපල අනාවරණය කරගනිමින් “නියුරොසයන්ස්” නම් සඟරාවේ ලිපියක් පළකොට තිබේ. ඔවුන්ද පවසා සිටින්නේ පසෙහි වෙසෙන හිතකර බැක්ටීරියා වර්ග, ප්‍රතිවිශාද තත්වයන් උදෙසා මොලයට උපකාරී වන බවයි. එසේනම් ගෙවත්තේ වැඩ කරන විට මෙතෙක් පැළඳි අත්වැසුම් යුගලය විවේක ගැන්වීමට දැන් කාලය පැමිණ තිබේ. නග්න ඇඟිලි තුඩුවලින් පස අවුස්සා ගොවිතැන් කිරීමෙන් සිරුරට මෙතෙක් නොලැබෙමින් අපතේ ගිය සාත්තුවක් ලබා දීමට ද ඔබට හැකියාව ලැබී තිබේ. වසවිසෙන් තොර නැවුම් ප්‍රණීත ආහාරයක් සමඟ මිලකළ නොහැකි මානසික සතුටක් ද, නිධානයක් සේ වත්ත පහළින්ම මතුවී ඇත. “මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුවත් සුදුසුය” යන යෙදුම කාලානුරූපව යන්තමට එහා මෙහා වන්නේ නම් තවත් අගනේය. මන්දයත්, ඉඳහිට හෝ සතුටුකාරක පාංශු බැක්ටීරියාවන්ගේ පහස ලබමින් යහපත් මානසිකත්වයකින් සාර්ථකව රජකම් කළහැක්කේද, මුළුමනින්ම මඩ සෝදාගත් ගොවියෙකුට නොව, රජකම් කරන අතරතුර පස අතපතගාමින් ගොවිතැන් ද කරන මිනිසෙකුට බැවිනි.

 

 

 

උපදෙස්

සනත් එම්. බණ්ඩාර

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ,

ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය,

ගන්නොරුව, පේරාදෙණිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.