මන බඳිනා සොඳුරු ලියයි ගාම්භීර පෙනුමයි

නොවැම්බර් 11, 2024

මේක් අප් කිරීම රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියටම ආවේණික වූ දෙයකි. මෙය බොහෝ විට එම තැනැත්තා හෝ තැනැත්තිය මේක් අප් කිරීම හදාරන ගුරුවරයාගේ පියවරයන් අනුගමනය කරනවා විය හැකියි.

සමේ වර්ගය සහ සමේ පැහැයට ගැළපෙන අන්දමින් ෆවුන්ඩේෂන් එක තෝරාගැනීම ඉතාම වැදගත්.

ෆවුන්ඩේෂන් ගැල්වීම පියවරෙන් පියවර

මුහුණේ ඇති කුරුලෑ, ලප කැළැල්, පිග්මන්ටේෂන්, ඇස් යට කළු වීම් මේ ආදිය ෆවුන්ඩේෂන් එකකින් නොපෙනෙන තත්ත්වයට ගෙන යා යුතුයි. මෙම ලප කැළැල් සමේ පැහැයට අඩු පැහැයෙන් හෝ වැඩි පැහැයෙන් තිබිය හැකියි. මූලික වශයෙන් Cover Stick, Cover Mark, Cover Up, කන්සීලර් භාවිත කිරීම මඟින් සිදු කරන්නේ මෙම කර්තව්‍යයයි. වර්තමානයේ තාක්ෂණික අතින් ඉතා දියුණු කැමරාවලට මුහුණේ ඇති ලප කැළැල් හොඳින්ම පෙනේවි. ඒවා මැනවින් ආවරණය කිරීම මේක් අප් එකක් තුළින් කළ යුතුවේ.

* පළමුව සිදු කරන්නේ ෆේස් වොෂ් දමා මුහුණ හොඳින් සෝදා ගැනීමයි

* ෆේස් වොෂ් මඟින් විවර වුණු රෝම කූප ටෝනර් භාවිත කර නැවත වසා දැමිය යුතුයි.

* මෙහිදී ඩීප් ක්ලෙන්සර් නොකළ යුතුයි. මන්ද රෝම කූප විවරව තැබේවි.

* මීළඟට ආලේප කරන්නේ ප්‍රයිමර් එකයි.

* සමේ පැහැයන්ට ගැළපෙන අයුරින් එනම් Under Tone එකට ගැළපෙන අයුරින් ෆවුන්ඩේෂන් එක ගැල්වීම මනාව හැදෑරිය යුතුයි. මෙය නිවැරදිව ගැල්වූයේ නැත්නම් තෙල් ගතියෙන් යුතුවේවි. දහඩිය වැගිරේවි.

ඇතැමුන් මේක් අප් කර කොණ්ඩා මෝස්තරය දමයි. තවත් අය කොණ්ඩා මෝස්තරය දමා මේක් අප් කරයි.

කොණ්ඩය සහ නළල වෙන්වන රේඛාව Hair line එකයි. පළමුව මේක් අප් එක දමා දෙවනුව කොණ්ඩා මෝස්තරේ දැමීමෙන් Hair line එක මනාව සැකසිය හැකියි.

* primer එක ආලේපයෙන් පසු Cover Stick, Cover Mark Cover Up, කන්සීලර් යන ඒවායින් ඕනෑම එකක් ආලේප කළ හැකියි. මේවා සමේ පැහැයන්ට අනුව එක් එක් වෙළෙඳ නාමයන් එක් එක් අංකයන් භාවිත කරයි. බොහෝ විට පළමු අංක පහේ ඇති සුදු සමට ගැළපෙන ෆවුන්ඩේෂන් එකයි. සුදු කිරීම නියමම මේක් අප් එක නොවේ.රූපලාවණ්‍ය ශිල්පියෙක් තම සේවාදායකයා සුදු කරන්නට සිතන්නේ නම් ඒ කෙනාට මේක් අප් එක පිළිබඳ නිවැරදි දැනුමක් නැති බව හැඟේ.

* ඉන්පසු පවුඩර් දමා මේක් අප් එක සීල් කරයි. ළා රෝස, කහ, දුඹුරු පැහැයෙන් පවුඩර් වර්ග තිබේ. මේවා කලවම් කොට නිවැරදි පැහැය ලබාගන්නට පුළුවනි. මේවා බොහෝවිට ඔයිල් බේස් වශයෙන් එන නිසා තෙත් ගතියෙන් ආලේප කරන්නේ නැත.

* දැන් Contour කළ හැකියි. මෙහිදී ඉස්මතු විය යුතු තැන් ඉස්මතු කිරීමත්,සඟවා තැබිය යුතු තැන් සඟවා තැබීමත් කරයි.

* එයින් පසු වෝටර් බේස් පෑන් කේක් එක ආලේප කළ හැකියි. එනම් පෑන් කේක් ආලේප කරන්නේ වතුර මිශ්‍ර කොටයි. දැන් බොහෝවිට පෑන් කේක් එකටත් වඩා Liquid මේක් අප් එකක් දමයි. පෑන් කේක් ආලේප කළ යුත්තේ ෂේඩින් ක්‍රමයටයි.

සමේ ස්වාභාවික පැහැය පියවරයන් දෙකක් පමණ ඉදිරියට ගෙන ඒම නිවැරදි මේක් අප් කිරීමේ කලාවකි.

මන බඳිනා ලිය හෙවත් මනාලිය විසිතුරු බවින් නැතුව ස්වභාවිකත්වයෙන් දිදුලන තැනැත්තියක් විය යුතුයි. මංගලෝත්සවය සඳහා පැමිණෙන අනෙකුත් අය විසිතුරු බවින් හෙබිවද්දී මනාලිය ගාම්භීර බවින් දිස් විය යුතුයි. ආභරණ පරදා ඇගේ මේක් අප් එක ඉදිරියට ආ යුතුයි. සම සුදුම සුදු කිරීම, ඇස් කළුම කළු කිරීම, ඇහි බැම කළුම කළු කිරීම නිවැරදි මේක් අප් කිරීමක් නොවේ.

මේක් අප් කිරීම රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියටම ආවේණික වූ දෙයකි. මෙය බොහෝ විට එම තැනැත්තා හෝ තැනැත්තිය මේක් අප් කිරීම හදාරන ගුරුවරයාගේ පියවරයන් අනුගමනය කරනවා විය හැකියි.

කුඩා නහයක් තරමක් ලොකු කර පෙන්වීමට නම් ළා පැහැයන් භාවිත කළ යුතුයි. නහය තරමක් ලොකු නම් එය කුඩා කර පෙන්වීමට තද පැහැයන් භාවිත කළ යුතුයි.

ෆවුන්ඩේෂන් ආලේපය සඳහා පැය භාගයක්වත් ගත කළ යුතුයි.

Air Brush Make Up

මෙහිදී ස්ප්‍රේ කිරීමට වෙනමම උපකරණයක් පවතී. මේ සඳහා ෆවුන්ඩේෂන් එක ලෙස දමන්නේ Liquid එකයි. ඉන්පසු එයාර් බ්‍රෂ් එකෙන් විදීම සිදු කරයි. මෙය මනා හුරුවක් ඇතිව ප්‍රවේසමෙන් කළ යුතු දෙයකි. එයාර් බ්‍රෂ් එක හසුරවන අන්දම Liquid එක කලවම් කරන විදිහ හොඳින් දැන සිටිය යුතුයි. ඇහි බැම, ඇස් පිහාටුවල නොගෑවෙන ලෙස ප්‍රවේසමෙන් කළ යුතුයි. බොහෝ අය මනාලියන් ඇන්දවීමේදී එයාර් බ්‍රෂ් මේක් අප් භාවිත නොකරයි.

 

ඇස් මේක් අප් කිරීම ලබන සතියේ

 

 

ඉදිරිපත් කිරීම

ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)

චර්ම රෝග විශේෂ

චාමලී කල්දේරා

(NVQ Level-3/4 ඇගයීම් නිලධාරිනි)