වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
පීනස නිට්ටාවටම සුව කරන අත්දුටු ප්‍රතිකාර
පීනස රෝගය බොහෝදෙනෙකුට මනසට වද දෙන රෝගයකි. එය ආයුර්වේද විඥාන ශුතයේ මූලාශ්‍ර ග්රන්ථයක් ලෙස බහුලව භාවිත වන මාධව නිධාන ග්‍රන්ථයේ අල්ප වශයෙන් මෙම පීනස රෝගය පිළිබඳ අර්ථ දක්වා ඇත්තේ ප්රතික්ශ්යා යනුවෙන් පමණකි. සාමාන්‍යයෙන් ප්‍රතිශ්‍යාව හෙවත් සෙම්ප්‍රතිශ්‍යාව සතියකට පමණක් සීමා වන රෝගයකි. මෙම රෝගය සතියකින් සුව නොවී පවතින දරුණු සෙම්ප්‍රතිශ්‍යාව පීනස නමින් භාවිතයේ පවතී.
පැරණි පොත පතේ සඳහන් නොවූව ද කාලීන වශයෙන් මේ රෝගය ව්‍යාප්තිය හා රෝග ලක්ෂණ අනුව අවස්ථා 5ක් දේශීය වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ. එමෙන්ම අපගේ පැරණි වෛද්‍යවරුන්ගේ අත්දැකීම් අනුව වෙන් වෙන් වශයෙන් චිකිත්සාව මෙම අවස්ථාවන්ට යෙදිය යුතු බවට තීරණය කර ඇත. මෙයින් පළමුව අවස්ථාව දිය පීනස ලෙස හඳුන්වයි. මෙය ප්‍රථමයෙන් සඳහන් කළ පරිදි සතියකට වඩා අඩු කාලයක් සුව නොවී පවතින ප්‍රතිශ්‍යා ගතියයි. මෙහි රෝග ලක්ෂණ වන්නේ නිතර නාසය තෙතමනය හා සොටු දියර ගැලීම නොනැවතී පැවතීමයි. දිගින් දිගට මෙය පැවතීමෙන් සිරුර කෙට්ටු කරයි. ආහාර රුචිය අඩු කර, බඩගිනි ගතිය අඩුවී උදේ අවදිවීම අඩුවී නින්දටම හුරුවෙයි. අලස ගතිය ඇතිකරන අතර අත්පා තුනටිය වේදනාව ඇති කරයි. මෙම තත්ත්වය කාන්තාවන්ට බහුලව පවතී. අධික ලෙස කිවිසුම් යාම, නාසය සිරවීම, නාසය තුළ මස් දළු ගතිය, උගුරේ සෙම් ගෙඩි ගතිය කල් යෑමේදී පැවතිය හැකියි. මෙවැනි රෝගීන්ගේ මූත්‍රා පරීක්ෂා කිරීමේදී මූත්‍රා සමඟ ඇල්බියුමින් පදාර්ථය පිටවීම පෙන්වයි. මෙය ප්‍රමේහ තත්ත්වයක් ලෙසද අප විද්‍යාවේ සඳහන්ව තිබේ. මේ රෝගය සුවවීම සඳහා දිය පීනසට පමණක් ප්‍රතිකාර කළ යුතු වන්නේමය. මේ සඳහා ප්‍රතිකාර වන්නේ වෙනිවැල්ගැට කොත්තමල්ලි කෝප්පයකට සීනි දමා චන්ද්රප්රභාවටී දෙකක් උදේ සවස ගැනීමයි. හිසට දැමීමට සුදුසු තෙල් වන්නේ නිෂාදීය තෛලයයි. මෙය නාසයට දමා ඉරීම කළ යුතු වේ.
මෙමඟින් ශරීරයේ පුෂ්ටිමත්වීම හා රෝගය සම්පූර්ණයෙන් සුවවීම සිදු වේ. රෝගය සුව වන තුරු අධික ලෙස වෙහෙසීම, නිදි වැරීම, ඇඹුල් අධික ආහාර හා උෂ්ණ අධික ආහාර ගැනීමෙන් වැළකිය යුතු වේ.
දෙවැනි රෝගය වන්නේ ගල් පීනස රෝගයයි. එය පෙර ලෙස සඳහන් කළ දිය පීනස සුව නොකර ගැනීම නිසා ගල් පීනස බවට පත්වෙයි. මාරාන්තික නොවුණත් මහා අසහනකාරී තත්ත්වයකට මෙම රෝගය පත්වෙයි. සෙම තද වී වියළා අධික හිසරදයක් නිතර පැවතීම මෙහි රෝග ලක්ෂණයි. ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් මෙම රෝගය තවත් උත්සන්න වෙයි.
මෙම රෝගය ප්‍රතිජීවක ඖෂධ නොගෙන උණු දිය පානය කිරීම, උණු දියෙන් නිතර මුහුණ සේදීම මෙන්ම ඇල්වතුර ස්නානය, භාවිතය, සිසිල් බීම පානය වැනි අහිතකර දෙයින් වැළකීමෙන් දින කිහිපයකින් රෝගය සුව කර ගත හැකිවෙයි. විශේෂයෙන්ම අයිස් දැමූ දෑ නතර කරන ලෙස මෙම රෝගයේදී පවසන්නේ මෙම අධික ශීතකළ දෑ ශරීරයට ඇතුළුවීමේදී සිරුරේ පවතින උණුසුම හා ගළපා ගැනීමට යෑමේදී ශරීරය අභ්‍යන්තරයේ කොටස් වැඩි පීඩනයට ගොදුරු වී හානි සිදුවන නිසයි. මෙහිදී උගුරේ දෙපස තිබෙන ඛේට ග්‍රන්ථි කෙරෙහි බලපා එම ග්‍රන්ථි ඉදිමී ගෙඩි හට ගැනීමයි. සෙම් ගෙඩි පවතින්නේද එම නිසාය. එම පීඩනයම නාසයේ නාලවලද බලපෑම් ඇති කර ආසාදනය වී පෙර පැවසූ ලෙස නාසය මස්දලුවලින් වැසීම සිදුවෙයි.
එසේම අධික සීත දෑ ආහාරයට ගැනීමෙන් නළල් තලයේ විසිර ඇති ස්නායු හා අස්ථි අතර පිහිටා තිබෙන ලලාට කෝඨරවල සෙම සිරවීමෙන් තදබල හිසරදය හටගනී. සෙම ගල්වී ඇති බව බොහෝ දෙනා පවසන්නේ මේ නිසයි. සෙම පිට නොවී තදබල හිසරදය හට ගනියි. මේ සඳහා නස්න කර්ම චිකිත්සාව හොඳයි. නමුත් ඔබට එය කළ හැකි වන්නේ වාෂ්පශ්වේදය යෙදීම නොහොත් කොත්තමල්ලි, දෙහි කොළ, බෙලි කොළ, නාරං කොළ මිට බැගින් ගෙන කොටා හොඳින් තම්බා එම වාෂ්පය නළල, මුහුණ, ගෙලට ඇල්ලීමෙන් . එසේ කිරීමෙන් සුවදායී බවක් ලබාගත හැකි වේ. ශ්වේදයට පසු උණු ජලය කපු රෙදිකඩකට දමා නළල මුහුණ බෙල්ල හොඳින් තැවීම කළ යුතුයි. මෙය අවසන් වී මුහුණ, බෙල්ල හොඳින් පිසදා හොඳ පීනස් කුඩු වර්ගයක් ගෙන නාසයට ඉරීමෙන් කිවිසුම් යෑම පටන් ගනියි. ඇස්වලින් කඳුළු ද මුහුණින් දහඩියද කිවිසුම් යැවීමෙන් කැදලි වශයෙන්ද තෙරපී සිරවි තිබූ වියළි සෙම කොටස් කැදැලි වශයෙන් පිටවී සැහැල්ලුවක් දැනේ.
මෙසේ කළ පසුද මඳක් හෝ රෝගය පවතින්නේ නම් උඳුපියලිය, සියඹලා කොළ, රතුලූනූ සමව ගෙන සිහින්ව කොටා, පොට්ටනි සාදා, වණ්ඩුවේ තම්බා, නළල ගෙල හොඳින් තවන්න. එයට පසු කෝලශ්ලේස්මා තෛලය නාසයට ඉරීමෙන් නළල සහ ගෙල වටා ආලේප කිරීමත් නිශ්චිත ප්‍රතිකාරයකි.
තවත් පීනස වර්ගයක් වන්නේ ලේ පීනසයි. ඉහත සඳහන් රෝග නිට්ටාවට සුව නොවුවහොත් කල් යෑමේදී නාසයේ තුවාල හට හටගනී. මෙවැනි රෝගීන්ගේ නාසය මතුපිටින් තද කරන විට පීඩාකාරී තත්ත්වයක් ඇති වේ. එමෙන්ම කිවිසුම් යෑමේදී තුවාල පෑරී සොටු දියර සමඟ ලේ මිශ්‍රවී පිටවීමට පටන් ගනී. මෙවැනි රෝගීන්ට මෙම රෝග ලක්ෂණ සමඟ බඩ වේළෙන මල බද්ධය, ශරීරයේ දාහ ගතිය හා පිපාසය මෙන්ම හිස්හොරි හට ගනී. මුහුණේ ලප කැළැල්, දත් මුල් දියවීම වැනි විස රක්ත අතිරේක රෝග ලෙස හට ගනී.
මේ සඳහා බඩ බුරුල් කර යෑමේ ආහාර ඖෂධ ලබා දිය යුතුයි. මෙයට වඩාත්ම සුවදායී පිළියමක් වන්නේ වෙනිවැල් ගැට, කොත්තමල්ලි සමව ගෙන තම්බාගත් වතුර කෝප්පයකට සීනි දමා බීමත්, වෛද්‍යවරයකුගේ උපදෙස් මත මෙයට අදාළ බෙහෙත් ගුළි හා බඩ බුරුල් කර යෑමේ චූර්ණයක් ලබා ගැනීමයි. අනිවාර්යයෙන් නිට්ටාවට සුව කර ගත හැකි වෙයි.
හතරවැනි පීනස් රෝගය වන්නේ ගඳ පීනසයි. ඉහත අවස්ථාවෙන් සුව නොවූ පසු මෙම අවස්ථාවට පත්වෙයි. මෙම රෝග ලක්ෂණ සමඟම නාසයෙන් දුගඳක් හමන බව තමාටම දැනෙයි. දත් මුල් දියවීමද මෙහිදී සිදුවෙයි. මේ සඳහා වෛද්‍යවරයකුගේ උපදෙස් මත දෛනික විරේක ප්‍රතිකාර ලබා දිය යුතුවෙයි.
පස්වැනි පීනස වන්නේ ළය පීනසයි. ඉහත සඳහන් සියල්ලගෙන්ම සුව නොවූ පසු මෙය හට ගනියි. පපුවේ හතිය, මහන්සිය, ඇදුම මෙන්ම පෙණහලුවල දූෂිත සෙම නිසා පපුවෙන් ශබ්දයක් පිටකරයි. කැස්ස සමඟ මෙවැනි රෝගීන්ගේ සෙම හා කට දුගඳ හමන තත්ත්වයට පත්වේ. මෙවැනි රෝගී තත්ත්වයකට පත් වී ඇති නම් පළපුරුදු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ළය විරේකයක් සහිත චිකිත්සාවක් සුදුසු වෙයි. ඒ සඳහා බුද්ධරාජ තෛලය හා හස්ති කල්කය සමානව කලවම් කර එයින් මදටිය ඇටයක ප්‍රමාණයක් අමු ඉඟුරු ඉස්ම මේස හැඳි 1 එකකට මී පැණි තේ හැඳි 1ක්, සීනි තේ හැඳි භාගයක් කලවම් කර දිනකට තුන්වරක් ලබා දෙන්න. මෙය ඉතා හොඳ අත්දුටු බෙහෙතකි. මෙය දේශීය වෛද්‍ය විද්‍යාෙවන් නිට්ටාවටම සුව කළ හැකි රෝගයක් වන අතර පළපුරුදු වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වෙයි.