Saturday, August 16, 2025
Epaper
Home ගෘහ අලංකරණයRoof Top එකක් තියෙන ගෙදරක් තවමත් හීනයක් ද?

Roof Top එකක් තියෙන ගෙදරක් තවමත් හීනයක් ද?

by Test

මහල් තුනකින් සමන්විත නිවෙසක බොහෝ විට උඩු මහල වෙන්වන්නේ රූෆ් ටොප් එකටයි. රූෆ් ටොප් එකක් ඇති නිවෙසකින් දිස්වන්නේ අමුතුම චමත්කාරජනක බවකි. ඉන් නිවෙසේ වටිනාකම, මිල අධික බව වැඩිවේ.

සුන්දර වෙල්යායක්, කෙත්යායක්, වැව් තාවුල්ලක් අසල ඔබේ සිහින නිවහන නිමැවූයේ නම් රූෆ් ටොප් එකක් දැමීමෙන් අලංකාරය වඩා තීව්‍ර වේවි.

මිදුලක් සඳහා ඉඩකඩ වෙන් නොවුණු නිවෙසක රූෆ් ටොප් එක මිදුල ලෙසින් භාවිත කළ හැකි වේ.

රූෆ් ටොප් එකද තේමාවක් අනුව සැකසිය හැකියි.

හරිත උද්‍යානයක්

රූෆ් ටොප් එක මිදුලක් ලෙසින් භාවිත කරන්නේ නම් එය තනිකරම හරිත උද්‍යානයක් ලෙසින් දිස් වේවි. මුළු රූෆ් ටොප් එකම වෙනුවට තීරුවක්, කොටසක් මේ සඳහා භාවිත කළ හැකි වේ. ඒ සඳහා අත් වැටක් වුව භාවිත කළ හැකි වේ. ඇන්තූරියම් වැනි වගාවන් කරන්නේ නම් සෙවණ දැල්ද භාවිත කළ හැකියි.

මල් පෝච්චිවල වැවිය හැකි විවිධ වගාවන්, සරුවට වැල් ආදිය වැවීමට රූෆ් ටොප් එක කදිම තැනකි. කණු ආදිය ඇති තැන්වල වැල් වගාවන් කළ හැකියි. සෙවණ අවශ්‍ය වන වගාවන් සඳහා සෙවණ ඇති තැන් යොදා ගන්න. උණුසුම් කාලගුණය අවැසි නොවන පැළ සඳහා අමානෝ ෂීට් වැනි දේ භාවිත කර කුඩාවට වහලයක් තැනිය හැකියි.

රූෆ් ටොප් එකෙහි තණකොළ වැවීම වෙනමම ව්‍යාපෘතියකි. ඒ සඳහා බිම සකස් කිරීම ආවට ගියාට කළ නොහැකි වේ. නිවෙසේ අත්තිවාරම දමන විටම ඒ සඳහා අවශ්‍ය අඩිතාලම දැමිය යුතුවේ. ඒ සඳහා Water Proofing කළ යුතුයි.

Entertainment Area

මිතුරු මිතුරියන්, ඥාතීන් නිවෙසට පැමිණිවිට දී විනෝදාස්වාදය පිණිස කාලය ගත කිරීම සඳහා රූෆ් ටොප් එක භාවිත කිරීමට බොහෝ දෙනා පුරුදුව සිටියි. Mini Bar එකක්, කුඩා පැන්ට්‍රියක් ඒ වෙනුවෙන්ම නිර්මාණය කරන අවස්ථාද පවතී. පැන්ට්‍රියක් ඇත්නම් සාදයකදී අවශ්‍ය වන පිඟන්, කෝප්ප, වීදුරු, හැඳි, ගෑරුප්පු ආදිය එහි ගබඩා කළ හැකි වෙයි. නිතරම සාද පවත්වන්නේ නම් බල්බ් වැල් ආදිය එල්ලා තබයි. අව්වට වැස්සට ඔරොත්තු දෙන පුටු මේස ආදිය එහි තබයි. තැනින් තැන අලංකාර බංකු, ඔන්චිල්ලාවක් වැනි දේ ද තැබිය හැකියි.

රූෆ් ටොප් එකෙහි නිතරම සාද පවත්වන්නේ නම් Light System එක ඊට ගැළපෙන ආකාරයෙන් සැකසිය යුතුයි.

බාබකියු දැමීමට අවශ්‍ය උපකරණ ද එහි තැබිය හැකියි.

බුදු මැදුර

නිවෙසේදී නිදහසේ නිස්කලංකව වන්දනාමාන කිරීම් ආදිය සඳහා අවශ්‍ය නම් රූෆ් ටොප් එකෙහි බුදු මැදුර සෑදිය හැකියි.

සෝලා පැනල්

සෝලා භාවිත කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය උපකරණ, ඩයලොග් ටීවීවලට අවශ්‍ය ඇන්ටනා… මේ ආදී දෑ රූෆ් ටොප් එකේ තැබිය හැකියි.

රෙදි වියළීම සඳහා

තද අව්වේ රෙදි වේළා ගැනීමට සහ ඉක්මනින් රෙදි වේළා ගැනීම සඳහා රූෆ් ටොප් එක භාවිත කරයි. මේ සඳහා වෙනමම කොටසක් තබාගන්න. අවශ්‍ය නම් වොෂින් මැෂින් එක සහ ඊට අවශ්‍ය උපාංග සියල්ල එහි වෙනමම තැබිය හැකියි.

නිවෙසේ අයට නිදහසේ සිටීමට

මිතුරු මිතුරියන් නිවෙසට පැමිණි විට පමණක් නොව නිවෙසේ සාමාජිකයින් විසින් රූෆ් ටොප් එකෙහි සිට සතියකට වරක්වත් රාත්‍රී කෑම ගන්නේ නම්, නිදහසේ සිටිමින් කාලය ගත කරන්නේ නම් ඒ නිවෙස ඉන්න හිතෙන තැනක් වනවා නොඅනුමානයි.

 

උපදෙස් :

ගෘහ අභ්‍යන්තර නිර්මාණකරණය පිළිබඳ ප්‍රවීණ උපදේශිකා ආචාර්ය දිලිනි

හල්විටිගල

 

[email protected]

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?