Saturday, August 16, 2025
Epaper
Home Recipeකාලයේ තාලෙට ටේස්ට් චට්නි ව්‍යාපාරයකටත් කදිමයි

කාලයේ තාලෙට ටේස්ට් චට්නි ව්‍යාපාරයකටත් කදිමයි

by Test

චට්නි කිව්වමත් කට මොකද්ද වෙලා යනවා වගේනේ. කඩෙන් ගෙනල්ලා කනවාට වඩා ගෙදරම හදලා කන්න තියෙනවානම් අපි කවුරුත් ආසයිනෙ. මෙන්න මේ රෙසිපි ටිකෙන් ඔයාලට රසම රස චට්නි වර්ග හදාගන්න පුළුවන්. මේ කාලයේ වැඩිපුරම ඇති අමු ද්‍රව්‍යවලින්ම වැඩේ පටන් ගනිමු. ඔයාට පුංචි ස්වයං රැකියාවකටත් මෙය අත්වැලක් වේවි.

 

අමුමිරිස් චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

අමුමිරිස් කරල් 10 – 12ක්

කොත්තමල්ලි කොළ ටිකක්

සූදුරු තේ හැඳි 1/2ක්

සුදුලූනු බික් 4 – 5ක්

තෙල් මේස හැඳි 1ක්

ගාගත් පොල් මේස හැඳි 1ක්

ලුණු

දෙහි යුෂ

 

සාදන ක්‍රමය –

01. පෑන් එකකට තෙල් දාලා රත් වෙනකොට සූදුරු, ලියාගත් සුදුලූනු දාලා හැඳිගාන්න. සුදුලූනු රන්වන් පාටට ආවට පස්සෙ අමුමිරිස් ටික එකතු කරන්න.

02. අමුමිරිස් ටික තෙලෙන් යාන්තමට බැදීගෙන එනකොට කොත්තමල්ලි කොළ ටික දාගෙන ළිප ඕෆ් කරගන්න. රස අනුව ලුණු එකතු කරන්න.

03. මේ සියල්ලම ග්‍රයින්ඩ් කරලා දෙහි ඇඹුල් එකතු කරලා කෑමට ගන්න.

04. රස මේ උළුඳු වඩේ, තෝසෙ කන්න රසම චට්නියක්.

 

 

ඇඹරැල්ලා චට්නි

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ඇඹරැල්ලා කිලෝ 1ක්

සීනි ග්‍රෑම් 600ක්

ඉඟුරු ග්‍රෑම් 20ක්

විනාකිරි කෝප්ප 1ක්

සුදුලූනු බික් 5 – 6ක්

එනසාල් හා කරාබු නැටි කිහිපයක්

මිරිස්කුඩු තේ හැඳි 5ක්

ලුණු රස අනුව

කුරුඳු පොතු කෑල්ලක්

 

සාදන ක්‍රමය –

01. ඉඟුරු, සුදුලූනු, එනසාල්, කරාබු නැටි හා කුරුඳු පොතු ඔක්කොම දමා විනාකිරි කෝප්ප 1/2ක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.

 

02. භාජනයක් ළිපේ තියලා මේ බ්ලෙන්ඩ් කරගත් ටික දාලා ඉතුරු විනාකිරි ටිකත් දාලා සීනි එක්ක ළිපේ තියන්න. ලුණු ටිකකුත් දාගන්න.

 

03. සීනි දියවෙලා උතුරනකොට කපාගත් ඇඹරැල්ලා ටික එකතු කරන්න. මඳ ගින්දරේ හොඳට හැඳි ගාගන්න.

 

04. ඉස්ම හිඳී නොයන සේ යන්තම් තෙත ගතියට හැඳිගාගෙන ළිපෙන් බාගන්න.

 

 

 

පීනට් චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

 

රටකජු කෝප්ප 3/4ක්

තෙල් ස්වල්පයක්

උඳු ඇට මේස හැඳි 1ක්

කඩල පරිප්පු මේස හැඳි 1ක්

අමුමිරිස් කරල් 2 – 3ක්

සුදුලූනු බික් 2 – 3ක්

කහකුඩු තේ හැඳි 1/2ක්

අබ තේ හැඳි 1ක්

කරපිංචා

වියළි මිරිස් කරල් 3ක්

 

සාදන ක්‍රමය –

01. රටකජු ටික පෑන් එකක බැදගෙන පොතු අයින් කර ගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට උඳු ඇට ටික දාගන්න.

02. කඩල පරිප්පු ටිකත් දමා බැදෙන්න දෙන්න. අමුමිරිස් ටික ලියාගෙන එකතු කරන්න. චොප් කර ගත් සුදුලූනු ටික දාගන්න. මේකටම පොතු අයින් කරගත් රටකජු ටික දාගන්න.

03. කහකුඩු ටිකක්, ලුණු රස අනුව දාගන්න. වතුර කෝප්ප 1/2ක් වගේ දාගන්න. දැන් මේක බ්ලෙන්ඩ් කරගෙන උකු බැටර් එකක් හදාගන්න.

04. වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ තේ හැඳි 1ක් දාගන්න. දැන් මේකට වියළි මිරිස් කරල් 3ක් විතර කඩලා දාගන්න. හොඳින් තෙම්පරාදු වුණාම මේක රටකජු මිශ්‍රණයට එකතු කරන්න.

 

 

අන්නාසි චට්නි

 

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු අන්නාසි ගෙඩි 1ක්

සීනි කෝප්ප 3/4ක්

විනාකිරි කෝප්ප 1/2ක්

අබ තේ හැන්දක්

පොල් තෙල් ටිකක්

වියළි මිරිස් කරල් 2 – 3ක්

කුරුඳු පොතු කෑල්ලක්

ලුණු

කෑලි මිරිස් තේ හැඳි 2ක්

එනසාල් 4 – 5ක්

කරාබු නැටි 3 – 4ක්

 

සාදන ක්‍රමය

 

01. භාජනයක් ළිපේ තබා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න.

02. එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු හා වියළි මිරිස් කරල් තරමක කෑලි කඩලා දාගන්න.

03. ගින්දර අඩු මට්ටමේ තියාගන්න. කෑලි මිරිස් ටික දාගන්න. කලවම් කරන ගමන් වතුර කෝප්ප 1ක් වගේ දාගෙන ඒකටම විනාකිරි හා සීනි දාගන්න.

04. සීනි හොඳට දියවෙලා උතුරගෙන එනකොට පොඩියට කපාගත් අන්නාසි කෑලි එකතු කරන්න.

05. අන්නාසි බෙරි වෙලා තෙත හිඳුණු උකු මිශ්‍රණයක් වෙනකම් පිසගන්න.

 

උපදෙස්

සූපවේදී

සර්වදර්ශනී අප්සරා

 

[email protected]

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?