Saturday, August 16, 2025
Epaper
Home විශේෂාංගඉඳහිට හරි පෙනේ පුප්පන්න ඕ්නේ

ඉඳහිට හරි පෙනේ පුප්පන්න ඕ්නේ

by Test

2016 ජූලි 28, බදාදා

අද ලොක්කයි දෙවැනියයි දෙන්නම හෙඩ් ඔෆිස් ගිය හින්දා නිදහසේ හුස්ම ඩිංගක් ඇරන් පත්තරේ මුල පිටුවවත් බලන්ඩ හිතාගෙනයි මං රෙස්ට් රූම් එක පැත්තෙ ගියෙ.

“අනේ සාමා.. බලන්ඩකො ඩියර්, ඔයාගෙ මූණ නිකම් දොඩම් ලෙල්ලක් වගේනෙ. ඉස්සර මේක කොච්චර ඩිමාන්ඩ් මූණක් ද ? අයියෝ.. අපරාදෙ ස්කින් එක නාස්ති කරගන්නෙ ඔයා”

“මයි ගෝඩ්.. සාමා, ඇයි ඩියර් ඔයා ස්කින් එක හරියට මේන්ටේන් කරන්නැද්ද? බලන්නකො මේ බ්ලැක් හෙඩ්ස්, පිග්මන්ටේෂන් පිරීලා. ගන්ඩ දෙයක් නෑනෙ කෙල්ලෙ.”

” ඔයා ෆේෂල් කරන්නෙ කොහෙන්ද ඩියර්? මම නම් අර.. ෆේමස් ඇක්ට්‍රස් ෂෙරීන් ඩි අල්මේදගෙ සැලෝන් එකටමයි යන්නෙ. මාසෙකට සැරයක් ඒ වැඩේ නම් මං මිස් කරන්නෑ මොන වැඩේ තිබුණත්. ඕනෙනම් ලබන මාසෙ ඔයත් යමු මා එක්ක ”

සමන්තියි ඩිල්ෂානියි මදිවට ගෑනු රොත්තම මගේ මූණට ගොඩවෙලා ලප ගනින්ඩ පටන් ගත්තා. මදැයි ලොක්කො නැතුව නිදහසේ ඉන්ඩ පුළුවන් කියලා හිතුවට අන්තිමට මට වුණේ මූණෙ ලප කැළැල් ගැන හිත හිතා හූල්ලන්ඩයි.

 

2016 ජූලි 29 බ්‍රහස්පතින්දා

කාලෙකට පස්සෙ අද උදේ බස් එකේ හොඳම අයින් සීට් එකක් හම්බුණා. එළියෙ හීනියට මල් වැස්සකුත් වහිනවා. කොණ්ඩෙ පොඩ්ඩක් අවුල් වුණාට මක්වෙයිද කියලා හීතල හුළං ටිකක් වදින්න හිතාගෙන වීදුරුවත් පොඩ්ඩක් ඇරගෙන හොඳ සනීප නින්දක් දාගෙනයි ගියෙ.

” අනේ තිස්ස මගෙ මූණ දොඩම් ලෙල්ලක් වගේද කියල පොඩ්ඩක් අතගාල බලන්ඩ. ”

නිදාගන්ඩ ඇඳට ගිය වෙලාවෙ තිස්සට මං එහෙම කිව්වෙ ඔෆීස් එකේ ගෑනු ටික කියාපුව ඇත්තද කියල දැනගන්ඩ ඕනෙ හින්ද මිසක් වෙන අදහසකින් එහෙම නෙමෙයි. ඇත්තමයි මේ පිරිමින්ට නම් ඇබීත්තං බුරුලක්වත් දෙන්ඩ හොඳ නෑ කියන්නෙ නිකම් නෙමෙයි. මූණ දොඩම් ලෙල්ලක් වගේද කියල බලන්ඩ කිව්වම මේ මිනිහ මගෙ පපුව අතගාන්ඩ පටන් ගත්තා. ළමයි දෙන්න දැක්කොත් කියලා වටපිට බැලින්නම් ළමයි තියා තිස්සවත් අහලක නෑ. එහා පැත්තෙ සීට් එකේ ඉඳගෙන හිටපු මිනිහ මගෙ පපුව දිහායින් දඩි බිඩි ගාල අත අහකට ගත්තා. ආයෙ ඉතින් මොනව හිතන්ඩද ?

තිස්තුන් කෝටියක් යක්කු ටික මට ආවේස වුණා. ඒත් ඉතින් මේ බස්වල කලබල කළා කියලා කාගෙන්වත් අබමල් රේණුවක තරමේ උදව්වක් ලැබෙන්නැති බව අත්දැකීමෙන්ම දන්න හින්ද මං අමාරුවෙන් යක්කු ටික අමාරුවෙන් දමනය කරලා මට උරුම හැඳිමිට දිගෑරිය.

රකුස් මූණක් හදලා එක පාරක් උගුර පාදලා මිනිහ දිහා ඇස් වාමාවර්තව කරකෝලා බැලුවා. ආයෙමත් දක්ෂිණාවර්තව ඇස් කරකෝල නහය පුම්බල කටත් උල් කරල බැලුවා. තව වැඩි ආදරේට වගේ ලාවට හිනාවෙලා, ආයි රවලා, ආයි හිනා වෙලා, බෑග්ගෙ තිබුණ කුඩේ අතට අරන් කුඩේ දිහැයි මිනිහ දිහැයි මාරුවෙන් මාරුවට වාමාවර්තවයි දක්ෂිණාවර්තවයි ඇස් කරකෝ කරකෝ දෙතුන් පාරක් බැලුවා. අනේ මෙන්න අහිංසකයා එකපාරටම යකෙක් දැක්කා වාගෙ ඇස් කන් අත් ආදී අවයව ටික ඔක්කෝම අකුලං නට්ටටම ඡන්දෙ පැරදුණ මන්ත්‍රීකාරයෙක් වාගේ ඊළඟ බස් හෝල්ට් එකෙන් බැහැලා ගියා.

නයා වුණත් ඉඳහිට හරි පෙණේ පිප්පුවෙ නැත්තම් දර මිටිය බඳින්ඩ ගන්නවා කියන්නෙ කට කහනවටයෑ.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?