Saturday, August 16, 2025
Epaper
Home විශේෂාංගවාසනා බබෙක් වගෙයි

වාසනා බබෙක් වගෙයි

වාසනාගේ දඟවැඩ ගැන අජිත් කතා කරයි

by Test

මේ වැඩිපුර අලි ඇතුන් ගැන කතා කරන කාලයකි. භාතියගේ, කණ්ඩලම ඇතාගේ සිට සියලු වනඅලි ඇතුන් ගැන සාකච්ඡා කරන විට හීලෑ අලි ඇතුන් ගැනද අසන්නට ලැබෙන්නේ පෙරහර සමයේ ආරම්භය සමඟය. මේ දිනවල වීදි සංචාරය කරන රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික මංගල්‍යය සමඟ වැඩිපුරම කතා බහට සහ ආදරයට පාත්‍රවී ඇති හස්තියා වාසනාය.

කතරගම පෙරහර මංගල්‍යයේ දෙවියන් වැඩමවීමට වාසනාව ලද වාසනා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේද කරඬුව වැඩවීමට තරම් වාසනාව හිමිකරගත් රටක ආදරය මෙන්ම ගෞරවයටද පාත්‍රවන හීලෑ හස්තියෙකි. කතරගම දෙව් බිමෙහි ගාම්භීරව තෙදපාන වාසනා ගැන නොදත් කතා ගැනයි මේ.

කතරගම දේවාලයට අයත් අලි ඇත්ගාලේ රජු ලෙස බැතිමතුන්ගේ ආදරයට පත්‍ර වූ වාසනා කතරගම දේවාලයට පූජා කරන ලද්දේ 1974 ජනවාරි 01 වැනි දිනයි. එවකට සිටි වනජිවි ඇමැතිනී විමලා කන්නංගර මැතිනිය විසිනි.

සද්දන්ත කුලයක හස්තියකු වන වාසනාට මේ වන විට වයස අවුරුදු 55කි. දිග දළ යුගලකට හිමිකම් කියන වාසනා මද සමය නිමා කර පසුගිය 22 වැනි දින සිට සිය රාජකාරි සඳහා යෙදවීමට වාසනා බලා ගන්නා ඇත් ගොව් අජිත් ලියනගේ මහතා ක්‍රියා කරන ලදි.

සුභ නැකතින් වාසනා පිරිසිදු කර මැණික් ගඟෙන් දියනාවා මෙම චාරිත්‍රය ඉටු කිරිමේ අවස්ථාවට විශේෂ උත්සවයක් ද පවක්වනු ලැබීය.

වසර 35ක කාලයක පටන් දෙවියන් වැඩම වන වාසනා ඉතාමත් කීකරු හස්තියකු වේ.

වාසනා සිය දරුවෙකු මෙන් බලා සොයා ගන්නා අජිත් ලියනගේ මහතාගේ පියා ද වාසනා වසර 30ක් පමණ කාලයක් බලාගත් ඇත් ගොව් මහ‍ෙතකි.

අලි ඇතුන් සම්බන්ධයෙන් මනා පාරම්පරික දැනුමක් ඇති වාසනාගේ ඇත් ගොව් රාජකාරි සිදු කරන අජිත් ලියනගේ මහතා ඇය බලා ගනු ලබන්නේ දරුවකු පරිද්දෙනි.

“වාසනා අපේ දරුවෙක් වගේ. එයා හරිම කීකරුයි. ඒ කාලේ වාසනාව බලාගත්තේ අපේ තාත්තා. එයා වාසනාට සාමාන්‍ය භාෂාව හුරු කළා. ඒක නිසාම වාසනා හැදුණේ වැඩුණේ අපේ පරිසරයේ හැමෝම එක්ක හොඳ ගනුදෙනුවක.

හැමෝම කියන දේ එයාට තේරෙන නිසා එයාටත් හැමෝම ගොඩක් ආදරේ.

මගේ තාත්තා මෙන්ඩිස් ලියනගේ මියගියාට පස්සෙ දැන් මම තමයි වාසනා බලා ගන්නේ. මගේ රුක්මන් පුතාත් මට සහායට ඉන්නවා.

1989 දිි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස සිටි ආර්. එමි. ධර්මදාස බණ්ඩා මහතා ඇසළ මංගල්‍යයට එක් විි සිටියදි බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. එදා වාසනාටත් තුවාල වුණා. එත් වාසනා කිසිදු කලබලයක් වුණේ නෑ. එයා තනියම දෙවියන්ගේ කරඬුවත් ආරක්ෂා කර ගෙන දෙවියන් තැන්පත් කරන මණ්ඩපයට ඇවිත් දෙවියන් මාලිගයට වැඩමවීමට කපු මහතුන්ට උපකාර කළා.

ඒ තමයි වාසනාගේ ගුණය. තමන්ගේ වගකීම අකුරටම ඉටු කරන්න වාසනා හරිම කැමැතියි.

අජිත් පවසන්නේ වාසනා ගැන දැඩි සෙනෙහසිනි. වාසනා කන්න කැමැතිම පැණි හකුරු. හකුරු තියෙනවනම් වාසනාට වෙන මොකුත්ම ඕන නෑ. කොයි කෑමත් එයා ආසාවෙන් කනවා.නාන්න ගියාම ගොඩට ගන්න තමයි ටිකක් අමාරු. ඒ වගේම පොඩි දරුවන්ට වාසනා ගොඩක් ආදරෙයි.

එයා හැම වෙලාවෙම කියන දේ අහනවා වගේම අකුරමට වැඩ ඕන. සමහර වෙලාවට බබෙක් වගේ තමයි.

කතරගම දේවාලය ඉදිරිපිට ඇති අතු පන්දලමද වාර්ෂිකව 06 වැනි පෙරහර දිනට අලුත් කොළ අතු දඬුු දමා සකස් කිරීම සිදුවේ. මෙහි දි එම අතු පන්දලම වෙත දමන දඹ කොළ අතු මිටි රැගෙන එනු ලබන්නේ ද වාසනා විසිනි. අතර බස්නායක නිලමේතුමා ලබා දෙන ප්‍රථම කොළ මිටිය පන්දලමේ තැන්පත් කිරීමද සිදු කරනුයේ වාසනා විසින් ය. මෙවරද බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් මෙම චාරිත්‍ර ඉටු කරනු ලැබුවේ වාසනා සමඟය.

මේ දිනවල අලි ගැන වැඩිපුර කතා කරන්නේ භාතියට සිදුවූ ඛේදනීය ඉරණම සමඟය. අජිත් ඒ ගැනද දරන්නේ වෙනම අදහසකි.

අපේ අලින්ට මෙතරම් ඛේදවාචකයක් අත්වුණේ මේ නාගරීකරණය එක්ක. මිනිස්සු කැලේට ගියා. ඊට පස්සේ අලි ගමට ආවා කියල එයාලට කරදර කළා. මෙන්න මේක නිසා තමයි මේ කරදර.

මේ ගෙවෙන්නේ පෙරහර සමයයි. ඒ නිසාම අජිත් මහතා වෙනදාට වඩා කාර්‍ය බහුලය.

මෙයාගේ වැඩ ටික නම් හැමදාම වෙලාවටම කරන්න ඕන. දැන් ඉතිං පෙරහර එක්ක වැඩ වැඩියි. දරුවෙක් බලා ගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙවේනේ.

අජිත් මහතා අපිත් සමඟ හිනා වෙන්නේ වාසනා දෙස ආදරයෙන් බලමිනි.

ඒ බැල්මේ රැඳී ඇත්තේ ආදරණීය පිතු සෙනෙහසකි.

 

 

අවිශ්කා සන්දීපනී

.කතරගම

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?