තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට whatsApp කරන්න.
අද හිමිදිරියට කවි තෝරන ඔහු වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
පේරාදෙණිය විශ්වවිලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනාගෙන ඇති ඔහු මේ වන විට කාව්‍ය සංග්‍රහ හයක්, කාව්‍ය විචාර කෘති දෙකක් සහ හයිකු පරිවර්තන කාව්‍ය සංග්‍රහයක් නිකුත් කොට ඇත. වෘත්තියෙන් ගුරුවරයකු වන වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ කෘති ජාතික මට්ටමේ සම්මාන සඳහා නිර්දේශ වී ඇත .———————–
කුලුඳුල් ආදරේ
ගනඳුරට නැඟි
සඳ එළියක
මතක ගෙන දෙයි
මට ඔබේ වත
අලුත් වැස්සට
තෙමෙන පොළොවක
නැගෙන පුසුඹක
මිහිර මට දෙන
ඔබේ කුලුඳුල් ආදරේ…….
අයි.ජී.එම්. සමදිමා ගමගේ
පන්නිපිටිය
—————-
පසක් කළෙමි!
කඩා හැලෙන දිය දහරක
සිලිලාරෙක මහ සයුරෙක
නොරැඳුණේය එහෙම තෙතක්
තිබුණු නුඹේ එක කඳුළක…
හමා ඇදෙන වා රැල්ලක
සුළි සුළඟක වාසුළියක
නොදැනුණේය එහෙව් බරක්
පිරුණු නුඹේ එක හුස්මක…
රෑට හඬන මුඩු අහසක
ඉඩෝරයක රළු පොළොවක
නොපෙනුණේය එවන් දුකක්
රැඳුණු නුඹේ එක බැල්මක…
කාංචනමාලා ගීකියනගේ
————–
සිතුවමකි එය
තුංග ගිරි මුදුන් වුව
නිම්න සෙවූවාය දවසක
ඩාවින්සි නොවුණාට නුඹ
ඩාවින්සිමය සදාකල් මට
වැහි කෝඩයක
ඔතාගෙන ගන අඳුර
සැණින් දිව එමි රහසින්ම
තෙතබරිත වීදිය කොණට
මුනිවත රකියි
ඉසිවර දෙනෙත
අදද කියවමි නුඹව
දුක්බර හුස්ම සඟවන
සිතුවමකි එය
වර්ණ දස අත විසුරුවාලන
නුඹේ නෙත් සර උණුසුමින් නග්නය
හැඟුම් බුහුටිව පිරිමදියි සියොළඟ
නාරී සිතුවම මල් දමක්මය
නුඹ වටා සහසක් මල් උපද්දන
ජීව ගුණයෙහි භාව හිමිකම
සිත්තරෙකු මිස වෙනින් කවුරුද
ඈන් නිලුපා පීරිස්
————–
නිල් බෑගයක් හිමි පුතුනේ නුඹ කොතැනා ?
චෙම්මනි, මිරුසුවිල්, මන්නාරම ද සතූ
කඳුළින්මයි පෙඟුණෙ සූරියකන්ද වතූ
මෙවන් විපත් යළි දෑසට නොපෑ යුතූ
නිල් බෑගයක් ගෙන අකුරට නොයන් පුතූ
මල්ලට දමා පොත්, පිල්ලම් බෙලි මිරිකා
පල්ලම් බසී වනයට රෑ කදුරු කකා
හිල් වුණ වැරලි ඇඳ ඇල්මෙන් අකුරු තකා
නිල් බෑගයක් හිමි වූ සරෝජගෙ පුතා
කෝප රජුන්, යුද සෙබළුන් ගත නොහෙනා
ශිල්පය, ජීවිතය පින්වත් අත රැඳෙනා
සොරු සැඟවුවද මිහි මවු දෙදරා නැඟෙනා
නිල් බෑගයක් හිමි පුතුනේ නුඹ කොතැනා ?
“ආණා” කුරුටු ගාලා
එන්න ගිය නුඹෙ ලීලා
ඇනෙයි ඇස ඉඳිකටුලා
නිල් බෑගයක් කරලා
කෞශල්‍යා ජයලත්
මෑතක ආන්දෝලනයට තුඩු දුන් චෙම්මනි මිනීවළ පිළිබඳ සිදුවීමත් අප අතර ප්‍රකට “කෝපවුවත් රජ මැතිඳුන් ගත නොහෙනා උගතමනා ශිල්පය මැයි – මතු රැකෙනා” කවි පද දෙකත් කිවිඳිය මෙහිදී සම්මුඛ කරයි. පාසල් දරුවකු කිසිවකු විසින් මරා දැමීම කෙරේ ඇය දක්වන සහවේදනීය බව අගය කළ යුතුය.
—————
බලාපොරොත්තුව
පුතුන් හදා රජ වෙන්නට නෑ පැතුවේ
දුවෙක් හදා මිණි කිරුළක් නෑ පැතුවේ
රජ වී කිරුළු පලඳා මතු දිනෙක ලොවේ
නුඹලා සිටිනු දැක ගැනුමයි පැතුම මගේ
දුරු රට ගියා නුඹෙ ලෝකය ජය ගන්න
පැතුම් ඉටු වුණා දෙවි සරණයි නුඹට
නොහැකිය පුතේ නුඹහට අතහිත දෙන්න
දුකක් දැනේ පුතුනේ මේ අම්මාට
ලේ කිරි දුන්නාට නුඹ මට ණයක් නැතී
හැමටම වඩා පුත නුඹ මට රටක් වටී
මතුයම් දිනෙක මා යනදා දෙනෙත් වැසී
මා ළඟ සිටින් පුතුනේ එපමණක් ඇති
නිල්මිණි තුසිතා ගෝතමී
කෑ/දෙහි/ නාපාවල ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය
———–
අයිති නැතිවම බැඳෙනවා
අමාවක දා වුණත් පුරහඳ අහසෙ කොහෙ හරි තියෙනවා
නෙළාගන්නට බැරි තැනත් මල් කිනිති හිනැහී පිපෙනවා
සැබෑ වුණු තැන් නැති වුණත් අපි හීන ඇහින් ගනිනවා
හිත හදාෙගන බලන් උන්නත් හැමදාම හිත කැඩෙනවා
සුදුම සුදු හිස් පිටුවලත් ඉඳහිටක කටු බලි ඇදෙනවා
හිනා වෙන්නම බැරි තැනත් අපි කඳුළු හිරකර බඳිනවා
සින්නක්කර ලියවුණත් හිත් තවත් හිත් ළඟ ගැහෙනවා
අයිතියක් නැති තැන්වලත් අපි අයිති නැතුවම බැඳෙනවා
සඳුනි දිසානායක
—————–
ආරාධිත කවිය
ඔයා හින්දු මම කතෝලික අපි හමුවුණේ
බෞද්ධ ශිෂ්ඨාචාර ෆැකල්ටියක..
මම පළමු වසරේ ඔයාගෙ අන්තිම අවුරුද්ද
එදා මම රැග් වුණේ ඔයාගෙ ආදරයට
අතීතය දවසක අඛිලාගෙ උපන්දින සාදයේ
ආදර තෑග්ගකට ඔයා ඉල්ලුවෙ
අටපට්ටම් කූඩුවක් වෙසක් එකට එල්ලන
බැරි බැරි ගාතෙ හදනකොට මම
දුන්නා ඔවදන් සැකිල්ලෙ සිට පාප්ප සාදන
කූඩුව ලස්සනට නිම වෙනකොට කීවා
මට ඕනෙ පැටවු හතරක්
රතු, කහ, නිල්, කොළ වර්ණ ගැන්වුණ
ඒවට නම් තිබ්බෙ ඔයාමයි
මගෙ වාසගමට ඇමුණුව
එල්ලපු දවසෙ ඔයාගෙයි බුදුන්ගෙයි
එකම උපන්දින පෝයට
කොහේදෝ යන මුරුගසන් වරුසාවක් වැහැලා
දිය කළා කූඩුව
ඔයයි මමයි සෑදුව
පැටවු දැක්කෙත් නෑ
නම් තිබ්බෙත් නෑ
ඔයා දිය වුණා දවසෙම
මමත් ආයේ හැදුවෙත් නෑ
දිය වෙවී හිටියා
ඔයයි මමයි හදපු කූඩුව ගැන හිත හිතම
මයික් ජෙමිසන්