සන්ධ්‍යා වනිගසුන්දර නිගූගේ අම්මායි. කීර්තිමත් මාධ්‍යවේදියෙකු වන අමරනාත් ද සිල්වා සමඟ විවාහ ජීවිතය ඇරඹීමත් සමඟ ඈ සන්ධ්‍යා වනිගසුන්දර ද සිල්වා ලෙස හඳුන්වා ගනියි. එහෙත් ඈ රාජකාරි කටයුතුවලදී සිල්වා කෑල්ල හලයි. තම සැමියාගෙන් හිමි වන වාසගම් කොටස තම නම අග පලඳින්නට ආශා කළේ මන්දැයි ඇයට සිතා ගතනොහැකියි. අමරනාත් ද සිල්වා ගු වන්විදුලි වැඩසටහන් සම්පාදකයෙකු ලෙස ද නිවේදකයෙකු ලෙස ද කටයුතු කළ සමයෙහි ඔහු විසින් රචනා කරන ලද ගීත කිහිපයක්ම සන්ධ්‍යාගේ ප්‍රියතම ගී ගොන්න අතරට එක්වෙයි. එකල ඈ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත පිටිසර හක්වටුණාව නම් සුන්දර ගමක ගොවි පවුලක දැරියකි. ඈ උසස් පෙළ හදාරන සමයෙහි පොත් මේසය මත තබාගෙන සිටි කුඩා යුනික් රේඩියෝවෙන් අමරනාත්ගේ කටහඬත්, ඔහු ලියූ ගීතත් ඇසූ රසිකාවකව සිටියාය. සන්ධ්‍යාගේ යොවුන් ආදර හැඟුම්වලට පසුබිම් සංගීතයක් වූයේ ඒ කටහඬයි.
සන්ධ්‍යා කොළඹ විශ්වවිද්‍යාලයෙහි දෙවැනි වසර සිසුවියකව සිටිද්දී අමරනාත් ඇයට මුණ ගැසෙන්නේ අහම්බයකිනි. ඒ වන විට බිඳී විසිරී ගිය විවාහ දිවියක ඇඹුල් රසය විඳිමින් සිටි අමරනාත් තනිකඩව සිටින්නට ගත් තීරණය වෙනස් කරන්නේ සන්ධ්‍යා හමු වූ නිසයි. ඒ වන විටත් අමරනාත් තම තනිකඩ දිවිය තුළ බීමට ඇබ්බැහි වී සිටියි. අන්තිමේ ඔහු රේඩියෝ වැඩසටහන් කරද්දී ද ඇල්කොහොලෙහි මඳ පමණ කිඳී සිටියි. සන්ධ්‍යා වසඟ වූයේ ඇල්කොහොල් දුමාරයෙන් වැසී ගිය මේ සුන්දර මිනිසාටයි. ඇගේ සිත ආදරයෙන් බැඳෙන්නේ තම යෞවනෝදයේ මුසපත් කළ ඒ ප්‍රේමණීය කටහඬටයි. ඔහු විසින් ලියනු ලැබ තුරුණු සිත් එක පැහැර වැලඳගත් යොවුන් ගායිකාවක විසින් ගයන ලද ගීයක පද නැවත නැවත අසමින් හුදෙකලාවේ වෙළී සිටි අයුරු ඇයට මතකයි.
” සඳට තාමත් ඉවරයක් නෑ සංසාර පුරුදුම අරන් එයි
උයන් කෙළවර කුමුදු මල් පෙති හිනස්සා කම්මුල් සිඹියි”
මේ උමතු වචන ලියන ලද මිනිසා කවුරුදැයි දැක ගැනීමේ නොතිත් ආශාවෙන් මඬනා ලද සන්ධ්‍යා ඔහු දුටු දා පටන් ඔහු කෙරෙහි තදින් ආසක්ත වෙයි. විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලත් බෝඩිම් කාමරවලත් තම තුරුණු විය ගෙවා දැමූ සන්ධ්‍යා හක්වටුණාව අමතක කර දමයි. අම්මාත්, තාත්තාත් බැලීමට යන වාර අඩු වෙයි. ඇගේ ඒකායන අරමුණ වූයේ කෙසේ හෝ පරිපාලන සේවයට පිවිසීමයි. ඈ උපාධිය අවසන් කිරීමෙන් අනතුරුව උත්සාහ කරන්නේ කෙසේ හෝ පරිපාලන සේවා විභාගය සමත් වීමටයි. ඈ ඒ පිළිබඳ පොත පත ද සම්මන්ත්‍රණ ද මඟ නොහැර පරිහරණය කරමින් පරිපාලන සේවා විභාගය සමත්ව රාජ්‍ය පරිපාලන සේවයේ පත්වීම් ලබයි. ඉන්පසු අමරනාත් සමඟ එකගෙයි වාසය අරඹන ඈ අම්මාටත්, තාත්තාටත් ළඟම නෑදෑයන් කිහිප දෙනෙකුටත්, ළඟම යෙහෙළියන් කිහිප දෙනෙකුටත් කියා පුංචි උත්සවයක් ගෙන විවාපත් වෙයි. විවාහ වී ටික දවසකට පසු තම රාජකාරී ජීවිතයේ අප්‍රමාණ වගකීම් සහගත බව සමඟ අමරනාත් ගැන අවධානය අඩු වෙයි.
අමරනාත් තමාගේ පාඩුවේ තම වැඩ කටයුතු කරගෙන යයි. කලාවත්, දේශපාලනයත් තම පරම සහකාරිය කරගෙන සිටි අමරනාත්ට සන්ධ්‍යාගේ අවධානය අඩු වීම කිසිසේත් නොදැනෙයි. කලාව, සාහිත්‍ය සහ මාක්ස්වාදී දේශපාලන මතවාද අතරත්, හිත මිතුරු සංලාප අතරත් තම ජීවිතය දිගේලි කරමින් සිටින ඔහු අනවරත ඇල්කොහොල්මය සනීපයක ගැලී සිටියි.
“එයා කොච්චර බිව්වත් කවදාවත්
මගෙ හිත රිදෙන්න වචනයක් කියන මිනිහෙක් නෙවෙයි”
සන්ධ්‍යා තම යෙහෙළියන් හා එක්ව යුගදිවිය ගැන කතා කරන සංලාපවලදී මතක ඇතිව කියයි.
“ඇත්තටම මට තාමත් එයාව දැනෙන්නෙ එයාගෙම සින්දුවක සනීප වචන වගේ”
සන්ධ්‍යා කවර ලෙසකින් වර නැඟුව ද අමරනාත් ජීවත් වන්නේ වෙන ම ලෝකයකයි.
නිගූ උපදිනවිට සන්ධ්‍යා රාජ්‍ය අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරියකි. ඇරව්වල නිෙවස ඉදිකරගන්නේ ද ඇගේ උවමනාවටයි. නිගූ උපදින්නට පෙරම ගෙදර වැඩ බාගයක් හරි ඉවර කර ගන්නට ඇයට හැකි වෙයි. අමරනාත් රහස් දේශපාලන ව්‍යාපාරයක නිරතව සිටින බවත්, රාජ්‍ය මර්දනය තදින් ක්‍රියාත්මක වන බැවින් ඔහුගේ රැකියාව ද අනතුරේ දමාගෙන සිටින බවත් සන්ධ්‍යා දැන ගනියි. එහෙත් ඈ අමරනාත්ගේ කිසිම දෙයකට එරෙහිව වචනයක් නොකියයි. සන්ධ්‍යාගේ සමීප යෙහෙළියන් පවසන්නේ සන්ධ්‍යාත්, අමරනාතුත් අතර ඇති විශාල වයස් පරතරය නිසා දෙන්නා පාරවල් දෙකක දෙයාකාර ගමනක යෙදී සිටින බවයි. නිගූ පිළිසිඳ ගැනීම වෙනුවෙන් ඔවුන් එක සයනයක සිටි අවස්ථාවෙන් පසු ඔවුන් අතර එබඳු ආලිංගනයක්වත් සිදු වුණාදැයි සන්ධ්‍යාට මතක නැත.
පුංචිම දවස්වල නිගූ බලා ගැනීමට සන්ධ්‍යා, දුරින් නෑදෑ වන නැන්දා කෙනෙකු තම ගම් පළාතෙන් ගෙන්වා ගනියි. වැඩ ඇරී ගෙදර පැමිණි වේලේ සිට නිගූගෙන් තම දෑස් ඉවත් නොකරන ඈ මෙතෙක් තම ජීවිතයේ නොලද සතුටක් සහ ජීවිතාශාවක් ඔහු වෙතින් උරා ගනියි. නිගූගේ සෑමදෙයක්ම තමාගේම අතින් කළ යුතු යැයි ඈ සිතයි. අමරනාත් කෙරෙහි නොදක්වන ලද තියුණු අවධානයක් ඈ නිගූ කෙරෙහි යොමු කරයි.
බණ්ඩාරගමින් කොළඹ හොරණ පාරට වැටෙන තුරු අම්මාත්, පුතාත් අතර වචනයකුදු හුවමාරු නොවෙයි. දෙදෙනාම පසු වන්නේ හොඳම වචන හොයාගෙන තම තම සිත් මඩි ලෙහා ගැනීමටයි. අවසානයේදී අම්මා නිගූ දෙස නොබලාම කතා කරයි.
“ඔයා පහුගිය ටිකේ මොකද කරේ නිගූ? මං ඔයාව හොයාගෙන එන්න හිටියෙ.. මට තේරෙනවා ඔයාලා දෙන්න මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නෙ කියලා.. කාංචනා ඔයා හිතා හිටපු ගෑනි නෙවෙයි නේද?”
තමා තුළ පසුගිය දිනවල සිදු වෙමින් තිබුණු මහා අඩයාලම තවදුරටත් අම්මාගෙන් වසන් කළ නොහැකි බව නිගූට වැටහෙයි. අම්මා ඉදිරිපිට මේ සියල්ලම ලෙහා දමන්නට කොතැනින් පටන් ගත යුතු දැයි නිගූ කල්පනා කරයි.
තවත් කොටසකින් හමුවෙමු