මවුපියන් විසින් තම දරුවන්ගේ වගකීම පැහැර හැර ඔවුන්ව අත්හැර දමන අවස්ථා අප දැක ඇත. එසේ සිදුවීමට සමාජීය, ආර්ථික හේතු සාධක කොතෙකුත් තිබුණ ද එයින් දරුවන්ගේ සමස්ත ලෝකයම අඳුරු වී යා හැකියි.
මාගේ නීතිඥ ජීවිතය තුළ මවුපියන් විසින් හැර දමා ගිය දරුවන් නොමඟ යාම සහ ඔවුන්ගේ ජීවිත විනාශ වී ඇති ආකාරය කොතෙකුත් දැක ඇත. එමෙන්ම පවුලේ කිසිදු හව්හරණක් නොමැතිව හෝ භාරකාරත්වය දැරීමට කෙනෙකු ඉදිරිපත් නොවීම නිසා ළමා නිවාසගත වන දරුවන් රජයේ රැකවරණ ලබමින් අධ්‍යාපනය හදාරා ඉතා සාර්ථක ලෙස ජීවිතය සකස් කර ගන්නා අවස්ථාව ද දැක ඇත.
එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රඥප්තියේ පැහැදිලිව දක්වා ඇත්තේ දරුවකු හදාවඩා ගැනීම සහ වර්ධනය සම්බන්ධයෙන් මවුපියන් දෙදෙනාටම පොදු වගකීමක් ඇති බව රජය පිළිගත යුතු අතර ඒ සඳහා අවශ්‍ය ආධාර සැපයීම රාජ්‍යය කළ යුතු බවයි. සංවර්ධිත රටවල දරුවකු යම් නිශ්චිත වයසක් දක්වා වර්ධනය වනතුරු රජයෙන් යම් ගෙවීමක් සිදු කරන්නේ මේ නිසාය. එමෙන්ම මවක ගැබිනි බවට පත් වූ පසු ඇයට පවතින පවුල් ප්‍රශ්න ආර්ථික තත්ත්වය පිළිබඳ නිරන්තර සොයා බැලීම රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදු වේ. ලංකාවේ පවුල් සෞඛ්‍ය නිලධාරින්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ එවැනි සේවයක් වන නමුත් ඔවුන් සතුව පවතින පහසුකම් සීමා සහිත වීම හේතුවෙන් ඉටුකෙරෙන කාර්යයන් සීමාසහිත වී ඇත.
කෙසේ වුවද ළමයාගේ පවුල් පරිසරය තාවකාලිකව හෝ ස්ථිරව අහිමි වූ විට රජය විසින් විශේෂ ආරක්ෂාව හා ආධාර සැපයීම කළ යුතු වේ. ලංකාවේ මවුපියන් අහිමි වූ බොහෝ දරුවන් ජීවත් වන්නේ තම ආච්චී, සීයා සමඟය. ආච්චි සීයාට, පවතින සමාජය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති වීම, දරුවන්ගේ අවශ්‍යතා, මානසික තත්ත්වය වටහා ගත නොහැකි වීම හේතුවෙන් දරුවන් නිසි මඟට යොමු කළ නොහැකි වේ. මේ හේතුව නිසා දරුවන් විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වන අවස්ථා මෙන්ම වයසට පෙර ලිංගික සම්බන්ධතාවන්ට යොමු වීමේ ප්‍රවණතාවක් ද දක්නට ඇත.
සාමාන්‍යයෙන් දරුවකු වයස අවුරුදු 14ක් වත් වනතුරු රජය විසින් දරුවාගේ පවුල් පසුබිම නිරීක්ෂණය කිරීම ඉතා වැදගත් වේ. එවිට යම් දරුවකුට නිසි රැකවරණය නොලැබෙන, ප්‍රමාණවත් මඟ පෙන්වීමක් නොලැබෙන බව පෙනී යන අවස්ථාවක දී එම දරුවා රජයේ රැකවරණය භාරයට ගෙන අවශ්‍ය ආධාර රැකවරණය සැපයීම සිදු කළ හැකියි. නමුත් මේ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් මෙන්ම යටිතල පහසුකම් ප්‍රමාණයක් අවශ්‍ය වේ. රජයේ පවතින ආරක්ෂණ නිවාස ප්‍රමාණය වැඩි කිරීම, මනා පුහුණු කාර්යමණ්ඩලයක් පරිපාලනය සඳහා යෙදවීම, ළමා නිවාසවල පහසුකම් හා සම්පත් වැඩි කිරීම ආදී බොහෝ දෑ රජය විසින් ක්‍රියාත්මක කළ යුතු වේ.
මෙසේ රැකවරණය අහිමි දරුවන් රැකගැනීම රජයේ වගකීමක් වනුයේ දරුවන් අනාගත සම්පතක් වන හෙයින් සහ සියලු පුරවැසියන්ගේ වගකීම, විශේෂයෙන් දරුවන්ගේ වගකීම රජය විසින් දැරිය යුතු නිසාය.