විසිනව වැනි දින සටහන
2016 අගෝස්තු 12, බ්‍රහස්පතින්දා
පෙරේදා නෑනණ්ඩි ළමයි දෙන්න තනියෙන් දාලා රෝන්දෙ ගිය එක ගැන තිස්ස වචනයක්වත් නොකිව්ව එකට මට තිස්තුන් කෝටියක් යක්කු ආවේස වෙලයි හිටියේ. ඒත් මේ ටිකේම මට වැඩ වැඩි වුණ හින්දා මගෙ යක්කුන්ගෙන් තිස්සට කිසි බාධාවක් වුණේ නෑ. ඇයි ඉතින් ඊයේත් පාන්දරින්ම ගෙදර සුමේ කරලා තඹුත්තේගම ගිහින් රෑට රෑ වෙලා ගෙදර ඇවිත් උයලා කාලා නිදාගත්ත මිසක ඔය කතා ඇදගන්ඩ වෙලාවක් තිබුණෙ නෑනෙ. අද නම් උදේට උයන ගමන් හොඳම තැනකින් මං කතාව ඇදගත්තා.
” මං රස්සාවෙන් අස්වෙලා ගෙදර නවතිනවා.”
” මොකක් ?”
තිස්ස පොල් ගෑවිල්ල පැත්තක තියලා මා දිහා බැලුවෙ හරියට මං මිනියක් මරන්ඩ පිහියක් ඉල්ලුවා වගෙයි.
“ඇයි මං කිව්වෙ. පෙරේදා මං ගෙදර එද්දි දුව පුටු ඇන්ද උඩ නැඟලා ඉන්න ගමන් තව උඩත් පනිනවා. රයිස් කුකර් එක බිම වැටිච්ච වෙලාවෙ බැරි වෙලාවත් ප්ලග් එක එහෙම ගහලා තිබිලා කරන්ට් වැදුණා නම් මොන දෙයියන්ට කියන්ඩද ? තව ඉතින් මං එන්ඩ කලින් දෙන්න මොන මොන ජල්ලි ඇල්ලුවද කියලා කවුද දන්නෙ. දෙයියො බලලද කොහෙද එදා මං කලින් ආවේ. ”
“ආහ්…ඕකද මේ? අපේ පුතාගෙ වයසෙදි මම නම් බඩු ගේන්ඩ කඩෙත් ගියා.”
තිස්ස නිකම් ඇදල පැදල කිවුවෙ ඇබිත්තම් දෙයක් මං මහමෙරක් කරගෙන ඉන්නවා වාගෙ කිසි සැලකිල්ලක් නැතුවයි. එයාගෙ හිතේ තව ළමයින්ව කඩෙත් යවන්ඩ. ඇත්තමයි තමන්ගෙ ළමයි ගැනවත් මේ මිනිහට වගේ වගක් නෑනෙ.
‘ළමයින්ගෙ ආරක්ෂාව ගැන හිතන්ඩ ඕනෑ අම්මලා විතරක් නම් තාත්ත කියලා මිනිහෙක් ඉන්නෙ අහවල් කෙංගෙඩියකටද?‘ මට එහෙම අහන්ඩ ඕනෙ වුණාට ඇහුවෙ නෑ. හිතන ඔක්කෝම කටින් පිට කරන්ඩත් බැරි හින්දා ටිකක් සැර බාල කරලා නොකියම බැරි වචන ටිකෙන් විතරක් දමල ගැහුවා.
“ඔයා කතා කරන්නෙ ඒක නොසලකා ඉන්ඩ තරම් පොඩි දෙයක් ගාණට දාලනෙ. ඔයාගෙ අක්ක මොන මඟුලෙ ගියත් මට නම් කමක් නෑ. හැබැයි එයාට අපි දෙන්නගෙන් කාට හරි කලින් කියන්ඩ තිබුණා. එහෙම නම් මම හාෆ් ඩේ දාලා හරි එනවනෙ. මෙහෙම ළමයි නන්නත්තාරෙ දාලා යනවද ළමයෙකුට අබමල් රේණුවකවත් ආදරයක් තියෙන මනුස්සයෙක්. ”
“ආ…දැන් එතකොට මෙච්චර කල් ළමයි බලාගත්තෙ පොඩි අක්ක නෙමේ. අක්ක නොහිටිය නම් හරි ළමයි බලා ගන්ඩ බෑ කිව්ව නම් හරි ඔයාට රස්සාවෙන් අස්වෙන්ඩ වෙන්නෙ පුතා ඉපදුණ කාලෙමයි. අවුරුදු කීයක් නම් ඒ ගෑනි අපි වෙනුවෙන් දර දිය ඇද්දද ? ඔයා වාගෙ කෙළෙහි ගුණයක් නැති ගෑනියෙක් නම් මං ජීවිතේටම දැකල නෑ.”
“ආහ් එහෙමද ? දැන් මම තමා නරක ගෑනි. අනේ ඔයාගෙ මහ ලොකු අක්කණ්ඩි. මෙච්චරකලුත් එයා කොහොම ළමයි ගැන බැලුවද කියලා කවුද දන්නෙ ? එදත් මම කලින් ආවයින්නෙ දැනගත්තෙ බලාගත්ත පරිස්සම. හරි දැන් ඔයා කියන විදිහට බලාගත්තයි කියමුකො. කළේට වතුර පුරෝපු මිනිහම කළේ හිල් කළොත් ඒ වතුර පිරවිල්ලෙන් වැඩක් නෑ තිස්ස. ළමයින්ට මොනව හරි වුණා නම් අක්කගෙ ළමයි බැලිල්ලත් එච්චර තමා. ”
තිස්ස මං දිහා බලපු බැලිල්ලෙ හැටියට මං හිතුවෙ පොල් බෑයෙන්ම මට දමලා ගහයි කියලයි. මට ගහන්ඩ බැරිකමට වෙන්ඩැති මාව හිරමණේ දාලා ගානවා වගේ බරස් බරස් ගාලා අල්ලපු ගෙදෙට්ට ඇහෙන්ඩ තරම් හයියෙන් පොල් බෑවෙ කුරුට්ට ගාලා දඩාස් ගාලා පොල් කට්ටෙන් මේසෙටත් දමල ගහලා යන්ඩ ගියෙ. එයාට ඒ හෑටි ඩෝං ගියෙ මං නෑනණ්ඩිට දොස් කිවුවට නෙමේ. රස්සාවෙන් අස්වෙයි කියන බයටයි. බොරුවට කටින් මාව බය කරන්ඩ ආවට මොකද මං රස්සාවෙන් අස් වුණොත් තනියම පවුලෙ බර කරටගන්ඩ තරම් හයිය හිතක් තිස්සට තියේ නම් මක් කරන්ඩ බැරිද ?