සිතේ තෙරපාගෙන සිටින දෙයක් කා සමඟ හෝ පැවසීමෙන් මහත් සැහැල්ලුවක් සිතට දැනෙයි. නිගූට නම් අම්මා සමඟ එබන්දක් පැවසීමෙන් අත්වන්නේ අන් කිසිවකින් අත්විඳිය නොහැකි සනීපයකි. අම්මා නිගූව තේරුම් ගනියි. කුඩා කල පටන් තමාගේ තුරුලේ සුරතල් වූ දරුවා සිතන පතන ආකාරය ඈ දනියි. කාලය කොතරම් ගෙවී ගියද එය වෙනස් විය නොහැකි යැයි ඈ තරයේම විශ්වාස කරයි.
කාංචනාගේ වෙනස් වීමත්, එයින් තමා අත්විඳින අනන්ත සංතාපයත්, පසුගිය දිනවල ගෙවා දැමූ කටුකතර සිද්ධි ඇසුරෙන් අම්මාට කියන විට අම්මාගේ ඇස් ද කම්මුල් ද කිහිප වරක් තෙමෙයි. එහෙත් කාංචනාගේ වෙනස ඇතැම් සිද්ධිවලින් තමා ද දුටු බව ඈ නොපවසයි. ගෙදර ගොස් සනීපයට නිදා ගැනීමට නොහැකි තරම් තම මානසිකත්වය පහළට කඩා වැටී ඇති බැවින් කොළඹම නැවතී නිදා ගන්නට අවැසි බැවින් මාළඹෙන් නිෙවසක් රෙන්ට් කළ බව පවසද්දී අම්මා බැණවදිනු ඇතැයි ඔහුට සිතෙයි.
” ඔයාට පිස්සුද ළමයො.. මා ගාවට එන්න ඔයාට ඒ හැටි දුරක් ද? ඔයා මතක තියාගන්න ඕෙන අම්ම ඉන්නකල් ඔයා කවදාවත් තනිවෙන්නේ නෑ කියලා.”
අම්මා එසේ කියන විට නිගූට තම පපුව සිරකරන්නාක් වැනි හැඟීමක් උපදියි. අම්මා කෙරෙහි ඔහු තුළ අන් කවර කලෙකවත් ජනිත නොවූ තරම් අවබෝධවත් ආදරයක් ජනිත වෙයි. එහෙත් මේ කතාබහේදී කොතැනකවත් අසෙනි ගැන අම්මා හට කියන්න අවස්ථාවක් නොලැබෙයි. ඒ ගැන කියන්නට තවම කල් මදි යැයි ඔහු සිතයි.
“ඔයාලා අතර මොන ප්‍රශ්න තිබ්බත් දැන් ඔයාලා තීරණ ගන්න ඕෙන ඔයාලා ගැන හිතලා නෙවෙයි. අර චූටි එකී ගැන හිතලා.තේරුණා ද?”
අම්මා එසේ කියන විට වාවා ගත නොහැකි සිත් තැවුලක් ඔහු තුළ ජනිත වෙයි. ඒ වන විටත් ඇස් අගට පුරා ඇති කඳුළ ඉකියකට පෙරළෙනු ඇතැයි නිගූට සිතෙයි.
කහතුඩුවෙන් ගෙවල්පාරට හරවන විට නිගූට කාංචනාගෙන් ඇමතුමක් ලැබෙයි. ඒ මොහොතේ ඇගේ වචනවල ඇත්තේ ව්‍යාජ ළෙන්ගතුකමකැයි ඔහුට සිතෙයි.
” ඔයා කොහෙද? එන්න පරක්කු වෙනවද? මේ ඔයාට කියන්න බැරි වුණා සාලින්දයියලා එහෙමත් ඇවිත් ඉන්නේ. එයාලට බොන්න දෙන්න ඔයා ළඟ මොකුත් තියෙනව ද?”
කාංචනාගේ ඔෆිස් එකේ මිතුරන්ටද මෙබඳු අවස්ථාවක සලකන්නට සිදුවන බව දන්නා බැවින් ඒ සඳහා අවශ්‍ය කළමනා සියල්ල එක් රැස් කරගෙන පැමිණෙයි. සාලින්දයියලාත් ඇවිත් බව කියන විට නිගූට තමා ගැනම ලජ්ජාවක් ද උපදියි. තමා මනස් තාපයෙන් වියරු මායා ලොවක භ්‍රමණය වෙමින් සිටිද්දී කාංචනා කොතරම් සකසුරුවම් ලෙස පවුලේ වගකීම් ඉටු කරමින් සිටින්නී ද වැනි සිතුවිල්ලක් එකවර ඇඳී මැකී යයි. එහෙත් මේ සියල්ලක්ම ඈ ලොවට පෙනෙන්නට කරන මවාපෑමක් යැයි ඔහුට සිතෙයි.
නිගූත්, අම්මාත් නිවෙසට ළඟා වන විට නිෙවස ආසන්නයේ තමා දන්නා හඳුනන මෝටර් රථ කිහිපයක් නවතා තිබෙයි. පසුපසින්ම ඇත්තේ සාලින්දයියාගේ රථය බව නිගූ දනියි. පැමිණි පිළිවෙළින් නවතා තිබෙන බව වටහා ගන්නා නිගූ සාලින්දයියාගේ රථය පිටුපසින් තම රථය නවතා සාරාට රැගෙන ආ තෑගි නොගෙනම බැස අම්මා සමඟ ගේට්ටුවෙන් ඇතුළු වෙයි.
“මගෙ සුදු අත්තම්මා.., ඔයා ආවද මාව බලන්න..” යි කියමින් ගෙට ගොඩ වෙනවාත් සමඟ සාරා දිවැවිත් අම්මාගේ ඇඟේ දැවටෙයි.
ගෙට ගොඩවැදුණු පළමු නිමේෂයේදීම නිගූට තමාගේ නිෙවස තුළම තමා පිටස්තරයකු වී ඇතැයි ඔහුට හැඟෙයි.
සාලින්දයියාත්, වින්ද්‍යාත්, කාංචනාගේ පාසල් මිතුරියක වූ ශශිකලා සහ සුදන්තත් දන්නා හඳුනන මුහුණු අතර වෙයි.
” අහ් ඔය එන්නෙ නළුවා.. බලපංකො ගෘහමූලිකයා එන වෙලාව” සාලින්ද කට කැඩුණු කතා කියන්නට සැරසෙයි.
” හරි හරි කෝ ඉතින් තාම කේක් එක කැපුවෙ නෑනේ..”
කාංචනා හදිසියෙන් එහෙ මෙහෙ යමින් සංග්‍රහ කටයුතු සූදානම් කරන අතර නිගූ වෙත පැමිණ, ඔහු නොදැන සිටි මිතුරු මිතුරියන් කිහිප දෙනෙක් ඔහුට හඳුන්වා දෙයි. ඉස්තෝප්පුවේ වාඩි වී සිටි කිහිප දෙනෙක් තමා ළඟට එන්නටත් පෙර නැඟිට මහත් ගෞරවය මුසු ළෙන්ගතුකමකින් නිගූ සමඟ දොඩමළු වෙයි. නිගූ මෙහෙයවන රූපවාහිනී වැඩසටහනක් ගැන සඳහන් කර තමුන් එය නොවරදවාම බලන බව එක් යුවතියක් පවසයි. ඈ කවුරුදැයි නිගූ නොදනියි. කාංචනා වහා පැමිණ ඈ කවුරුන්දැයි හඳුන්වා දෙයි.
“මේ මං ඔයාට කියපු අර සැලසුම්
අංශයට ආපු සාරදා.. මතකයි නේද?”
කාංචනා එසේ කියන විට නිගූ ඇයට තම සුරත දිගු කරයි. ඇගේ සිහින් දිගු ඇඟිලි නිගූගේ අත්ල මත තෙරපෙයි. පැමිණ සිටින අනෙක් යුවතියන් සියල්ලටම වඩා ඇගේ වෙනසක් ඇතැයි නිගූට සිතෙයි. ඈ ඇඳ සිටින කෙටි ගවුමත්, කන දෙපසට වන්නට රන්වනින් සායම් කළ කෙහෙරොද කිහිපයත් ඈ කෙරෙහි කා තුළ වුවද වසඟයක් ඇති කරයි. ඇගේ ගවුමට හිරවුණු පුළුල් නිතඹත්, සිහිනිඟත් ඉස්ගෙඩියෙකුගේ වැනි හැඩයක් ඇගේ සිරුරින් මතු කරයි.
ඉටිපන්දම් දල්වා කේක් කපා, කේක් කවා අවසන සාරා ඈ හා සම වියැති දරුවන් සමඟ සෙල්ලමට වැටෙයි. ඉස්තෝප්පුවේ මධු බඳුන් පිරෙයි. කටගැස්ම අවුලුපත් මේසවලට ළඟා වෙයි. හඳුනා ගැනීම්, දැන හැඳුනුම්කම් මතක් කිරීම්, මතුපිට තලයේ දේශපාලන සංවාද සමඟ සාදය තරුණ වෙයි. කාංචනා මිතුරන් ද නෑයන් ද අතරට යමින් සාද කතාලතාවට එක් වෙයි. නිගූ සාලින්ද අසලට වී සිටිය ද විටින් විට අනෙක් අය සමීපයට ද ගොස් ඔවුන්ගේ සාදකතාලතාව ලියලවයි. සැලසුම් අංශයේ සාරදා යැයි හඳුන්වා දුන් යුවතිය කාංචනාගේ ද පෙලඹවීමෙන් නිගූ වෙතම පැමිණ සංලාපයට සැරසෙයි.
” ඔයාව දකින්න ආසාවෙන් හිටියෙ.. මං ඔයාගේ වැඩසටහන් හැම එකක්ම වගේ බලනවා… පස්සෙනෙ දැන ගත්තෙ මැඩම්ගෙ හස්බන්ඩ් කියලා”
සාලින්ද නිගූගේ කකුලට රහසින් අනියි.
තවත් කොටසකින් හමුවෙමු