එම්බ්‍රොයිඩරි කලාවේ නවමු ඉසව් සොයා යන ආදරණීය ඔබටයි මේ සාරි නිර්මාණ පෙළ. මේ සාරි මැෂින් එම්බ්‍රොයිඩරි ක්‍රමයට හැඩගැන්වූ ඒවායි.
දැනටමත් ඔබ ළඟ සාරි ගණනාවක්ම ඇති. එහෙත් හැමදාම එකම විදිහට දකින සාරි ඔබටත් එපාවෙලා නේද? මේ අදහස ගෙන එන්නේ අලුත්ම සාරි මෝස්තරයක් නිර්මාණය කර ගැනීම සඳහායි. මෙය කැපී පෙනෙන හොඳ ස්වයං රැකියාවක් වනු නියතයි. එම්බ්‍රොයිඩරි සාරි නිර්මාණයේදී තනි පාට සාරියකට අපූරු මෝස්තරයක් කර ගන්න පුුළුවන්. එලෙස තමන්ම හැඩගැන්වූ සාරියකින් ලැබෙන ආත්ම විශ්වාසයත් වැඩියි. මේවා කාර්යාලයට, සාමාන්‍ය ගමනට බිමනට, උත්සවයකට වගේම විශේෂයෙන්ම මංගල සාරිය දක්වාම නිර්මාණය කර ගත හැකියි. එහිදී සාරියේ ස්වභාවය අනුව සිල්ක් අත්යන්ත්‍ර රෙදි භාවිත කරන්න පුළුවන්. නැතිනම් කපු අත්යන්ත්‍ර රෙදිවල ද එම්බ්‍රොයිඩරි රටා මැවිය හැකියි. මේ එම්බ්‍රොයිඩරි තවත් හැඩ කිරීමට පර්ල්ස්, බීඩ්ස්, සීකුවින්ස් එකතු කර ගන්න පුළුවන්. එම්බ්‍රොයිඩරි නූල ගෝල්ඩ් හෝ සිල්වර් පාටින් යොදාගත හැකියි. සාරියක් නිර්මාණයේදී එම්බ්‍රොයිඩරි මෝස්තරය යෙදිය යුත්තේ පල්ලුවට, සාරි පොටට, නෙරියට, සාරි හැට්ටයට ගැළපෙන පරිදිය. එම තැන් සඳහා මෝස්තරය අඩු වැඩි වශයෙන් විශාල, කුඩා ලෙස යොදා ගත යුතුය. මෙතැනදී ඔබ අඳින්නේ සාරියද, ඔසරියද යන්න ගැන සැලකිලිමත් වීම වැදගත්. නැතිනම් මෝස්තරයේ ලස්සන දිස්වන්නේ නැත.
උපදෙස්
සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනී
අනෝමාජි රාජපක්ෂ
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර