තරුණී නව ආරකින් ඔබේ නිවෙස සුපහන් කරන්නට කැඳවා ගෙන එන්නට මේ සතියේ සිට මඟ බලමි. නූතන කාන්තාව ඉදිරියේ ඇති අභියෝග මෙන්ම ශක්‍යතා පිළිබඳව ද ඒ මාර්ග දෙකෙහිම වන ප්‍රවණතා පිළිබඳවද අපි ඔබ සමඟ මින් මතු සතිපතා බෙදා ගන්නෙමු.
කාන්තාව යනු නිවෙසක ආලෝකයයි. මිණිපහනයි. ඇය දිදුලන්නේ යම් සේ ද, ඒ දිලිසීමේ පරිමාව කොතෙක් ද යන්න විසින් නිවෙසට ආලෝකය, ශක්තිය උත්පාදනය වෙයි. ඇය මානසිකව හා ශාරීරිකව කොතරම් ශක්තිසම්පන්න වේ ද එය නිවෙසකට ලැබිය හැකි මහත් ම වූ ආයෝජනයයි. එබැවින් තරුණී අපේ අරමුණ ශක්තිමත් කාන්තාවක් ලෙස ඔබේ පැවැත්ම, අධ්‍යාපනය, වෘත්තීයවේදීත්වය හා සමස්තයක් ලෙස ගත් කල පෞරුෂය වර්ධනය කිරීමයි. ඔබ ගෘහිණියක් වේවා, ඔබ වෘත්තීයවේදිනියක් වේවා; ඔබේ ශක්තිය හා ආලෝකය විසින් මේ මුළු මහත් පොළෝතලය පිබිදෙනු දැකීම අපේ අරමුණයි.
පීඩනය, පවුල් බලපෑම්, හා සමාජ ගැටුම් මැදින් කාන්තාවගේ අභ්‍යන්තර ගමන ශක්තිමත් හා බලවත් වීම අත්‍යවශ්‍යය. ඒ සඳහා අවැසි කරන භෞතික හා ආධ්‍යාත්මික හර පද්ධතීන් සේම ශක්තීන් සඳහා මඟ පෙන්වීම කාන්තා ලොව පෙරගමන්කරු ලෙස තරුණීහි වගකීම ලෙස අපි දකිමු. මේ ඒ ලොව වෙත පියමනින්නට ඔබ වෙත පෙළ ගැසෙන ගමන් මඟක ආරම්භයයි.
ශක්තිමත් හා සුපහන් කාන්තාවක් ලෙස පවුලෙන් පටන් ගන්නා ඔබ ලොවම ආදරයේ නැණ ගුණ මහිමයෙන් ආලෝකවත් කරනු දැකීම අපේ ඒකායන සතුටයි. අද පටන් රුවෙන්, ගුණෙන් හා දැනුමෙන් පිරි ආලෝකයේ ශක්තිය රැගෙන ඔබ ලොවට පියමනින බව අපේ විශ්වාසයයි.