Wednesday, August 20, 2025
Epaper
Home විශේෂාංගවායුගෝලයේ අපිරිසුදු බව වළකාලන්නට මෙන්න ක්‍රම සහ විධි

වායුගෝලයේ අපිරිසුදු බව වළකාලන්නට මෙන්න ක්‍රම සහ විධි

by Thanushika

වායුගෝලය අපිරිසුදු වීමත් සමඟින් දේශගුණික විපර්යාසයන් ඇතිවෙයි. එය මිනිසා රෝගී කරවීමට ද හේතුවක් වෙයි. ඒ සමඟින් මෙලොව වාසය කරන්නන් දිනෙන් දින පිරිහෙන්නට පටන් ගනියි. ලොව දියුණු රටවල් මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

කාබන්ඩයොක්සයිඩ් ඇතුළුව වෙනත් හරිතාගාර වායූන් (Green house gas) වායුගෝලයට මුදා හැරීමත් සමඟින් පරිසරයට අහිතකර බලපෑම් ඇති කරයි. බොහෝවිට මෙය සිදු කරන්නේ ගල් අඟුරු, තෙල්, ගෑස් වැනි පොසිල ඉන්ධන දහනයෙන්, නිෂ්පාදනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය සහ වන විනාශය නිසායි. එහි බලපෑම නිසා පෘථිවි වායුගෝලය ගෝලීය උණුසුමකට ලක්වී දේශගුණික විපර්යාසයන්වලට දායක වෙයි.

විදුලිබල ජනනය

තාප බලාගාර ක්‍රියාත්මක කොට විදුලිය ජනනය කරද්දී ඒ සඳහා යොදා ගන්නේ ගල් අඟුල් සහ ඛනිජ තෙල් ය. මෙහිදී සිදුවන දහන ක්‍රියාවලියේදී කාබන්ඩයොක්සයිඩ් ප්‍රධාන වායුවක් ලෙස වායුගෝලයට මුසුවේ. ඒ සමඟින් වායුගෝලයේ ඇති උෂ්ණත්වය දිනෙන් දින වැඩි වේ.

ලංකාවේ, කාබන් පරිසරයට මුදා හැරීමත් සමඟින් (Carbon Emmision) වසරකට කාබන් මෙට්‍රික් ටොන් 20ක් පමණ එකතු වේ. මෙයින් සියයට 50ක් පමණ එකතු වන්නේ ප්‍රවාහනය හරහා යි. සියයට 40ක් පමණ එකතු වන්නේ විදුලි ජනනය හරහාය. කර්මාන්ත සහ අනෙකුත් ක්‍රියාවලීන් නිසා ඉතිරි සියයට 10 වායුගෝලයට මුදා හැරේ.

ඕනෑම දහන ක්‍රියාවලියකදී කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුදා හැරේ.

විදුලිබල ජනනයේදී සාමාන්‍යයෙන් තාප බලාගාරවල කිලෝවොට් 1ක ඒකකයක් ජනනය කරද්දී කිලෝ ග්‍රෑම් 1ක පමණ ප්‍රමාණයක් කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට මුදා හැරේ. තාප බලාගාර සහ මහා පරිමාණයේ විදුලි බලාගාර, සූර්ය බලාගාර, සුළං බලාගාර මේ සියල්ලේම එකතුවෙන් සැදුම්ලත් එක් සමස්ත විදුලි පද්ධතියක් තුළ කිලෝ වොට් 1ක ජනනය කිරීමක් වන අතර එහිදී කිලෝග්‍රෑම් 7.1 කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායූන් වායු ගෝලයට මුසුවේ.

විදුලි පද්ධතියේ දී වායු විමෝචන සාධකය හෙවත් වායු ගෝලයට නිකුත්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය (Grid Emission Factor) ඉහත පරිදි ගණනය කෙරේ.

දේශගුණික ගැටලු ඇති කරන සාධක අඩු කිරීම සඳහා හොඳම පියවරක් වන්නේ පුනර්ජනනීය බලශක්තියයි.

කාබන් අඩු කිරීම යන සංකල්පය යටතේ Decarbonization යන්න ක්‍රියාත්මක වේ.

දියුණු රටවල් වායුගෝලයට කාබන් එකතු වීම අවම කිරීම සඳහා විවිධ ක්‍රමවේද ක්‍රියාත්මක කරයි. ප්‍රවාහනය විශාල කාබන් ප්‍රමාණයක් වායුගෝලයට එකතුවන ක්ෂේත්‍රයක් නිසා විද්යුත් වාහන භාවිතය කෙරෙහි අවධානය යොමු විණි. එය ප්‍රවාහනය නිසා වායුගෝලයට කාබන් එකතු වීම අඩු කිරීම සඳහා වන කදිම විකල්පයකි.

එසේම දියුණු රටවල් තවත් වෙනස්ම ක්‍රමවේදයක් ඔස්සේ වායුගෝලයට කාබන් එකතු වීම අඩු කරයි. එහිදී සිදු කරන්නේ වායු ගෝලයේ ඇති කාබන් ඉවත් කර ඒවා පොළොව යට තැන්පත් කිරීමයි. මේවා දිගුකාලීනව මුදා නොහරී.

වායුගෝලයට මුදාහරින කාබන් අඩු කිරීමට, බලශක්තිය කළමනාකරණය කරගැනීමට ගන්නා මූල්‍ය ප්‍රතිපාදනයක් ලෙස කාබන් පුනර්ජනනීය බලශක්ති කාර්යක්ෂමතාව (Carbon Renewable Energy Efficiency) ප්‍රවර්ධනය කෙරේ. වායු ගෝලයට එකතු වන කාබන්වලට මූල්‍ය වටිනාකමක් දීම අනුව රටවල් අතර ගනුදෙනුවක් සිදුවේ.

පුනර්ජනනීය බලශක්තියේදී දූෂණය වන සංඝටක ඉවත් වෙයි. එය පිවිතුරු බල ශක්තිය යැයි කියන්නේ ඒ නිසායි.

2015 පැරිස් සම්මුතිය

මේ සඳහා පසුබිම සකස් වූයේ 2015 පැරිස් සම්මුතිය අනුවයි. ශ්‍රී ලංකාවත් එම සම්මුතිය සඳහා අත්සන් කර තිබේ. මෙම සම්මුතියේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, ලොව නොයෙකුත් රටවල් තමන් විසින් සැලසුම් කර කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීම අඩු කරන ප්‍රමාණය නොහොත් ජාතික වශයෙන් කාබන් මුදා හැරීම අඩු කිරීමට අලුතින් ගන්නා පියවරයන් ලොවට ප්‍රකාශ කිරීමයි. මෙය කොන්දේසි සහිත සහ කොන්දේසි විරහිත වශයෙන් කොටස් දෙකකට වෙන් කොට තිබේ. කොන්දේසි විරහිත කාණ්ඩයේදී ඒ රට ලෝකයේ අනෙක් රටවල සහයෝගය ලැබුණත් නැතත් අනිවාර්යයෙන්ම ඊට අවශ්‍ය කාර්යයන් ඉටුකරයි. කොන්දේසි සහිත කොටසේදී රටක් ලෙස යම්කිසි කොන්දේසියක් යටතේ අනෙක් රටවලට සහයෝගය ලබාදිය යුතුයි. මෙහිදී මූල්‍ය සහයෝගය, තාක්ෂණික සහයෝගය සපයා දියයුතුයි.

 

උපදෙස්:

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

(ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණ)

ඉංජිනේරු චමිල ජයසේකර

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?