Monday, November 17, 2025
Epaper
Home මනෝ උපදේශනඅහිමි වෙන්න කලින් ආදරය කරන්න

අහිමි වෙන්න කලින් ආදරය කරන්න

by Thanushika

‘‘මම කෑගල්ල මහ රෝහලේ 16 වාට්ටුවේ වෛද්‍යවරයකු ⁣ලෙස සේවය කරනවා. බිරියත් වෛද්‍යවරියක්. අපට දරුවන් දෙන්නයි. මිය ගොස් සිටින්නේ වැඩිමහල් පිරිමි දරුවා. දෙවැනියා දුව. දුවත් වෛද්‍ය ශිෂ්‍යාවක්.

පුතා හොඳින් ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා. උසස් පෙළට කළේ ජීව විද්‍යාව. උසස් පෙළ විභාගය සමත් වෙලා 2021 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අවසන් දින කිහිපය ඉගෙනුම ලබමින් සිටියා.

සෑම සිකුරාදාවකම පුතා ගෙදර එනවා. පුතා වෙනදා වගේම සති අන්තයේ ගෙදර ආවා. ඇවිල්ලා විශ්වවිද්‍යාලයට යන්නේ නැතිව ගෙදර හිටියා. පස්සේ මම ඇහුවා “ඇයි පුතේ විශ්වවිද්‍යාලයට යන්නේ නැත්තේ කියලා. ” මට මේවා එපා වෙලා තියෙන්නේ” කිව්වා. “තව ටික කාලයක් නේද යන්න තියෙන්නේ ඒ ටික යන්න” මම කිව්වා.

වෙනදාට වැඩිය පුතාගේ හැසිරීමේ වෙනසක් පසුගිය දින කිහිපය තුළ තිබුණා. වැඩිය කතාබහක් නොමැතිව සිටියා. පස්සේ මම ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක් හමු වෙන්න යමු කියලා පුතාට කිව්වා. බෑ කියලා කිව්වා. පස්සේ මම මානසික රෝග වෛද්‍යවරියක් හමුවෙලා පුතා ගැන කියලා බෙහෙත් ගෙනත් දුන්නා. පුතා බෙහෙත් බිව්වේ නෑ. අපේ ගෙදර බල්ලෙක් හැදුවා. ඒ බල්ලාට පුතයි, දුවයි හරිම ආදරෙයි. බල්ලා මීට මාස එක හමාරකට පමණ ඉහතදී මිය ගියා. බල්ලා මිය ගියාට පස්සේ පුතා හරිම දුකෙන් වේදනාවෙන් හිටියා.

වෙනදා වගේම එදත් අපි එකට උදෑසන ආහාරය ගත්තා. කිසිම වෙනසක් මම පුතාගේ දැක්කෙ නෑ. ඉන්පසු මම කෑගල්ල මහ රෝහලේ රාජකාරි කරන්න ගියා. ඒ අතරතුරේ දී පුතා ඇඳ ඇතිරිල්ලකින් ගෙලවැලලාගෙන තිබුණා.

කෑගල්ල ප්‍රදේශයෙන් ඇසෙන හද දවන මේ සංවේදී කතාව කියන්නේ, ගෙලවැලලාගෙන මිය ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ආසිරි ශානක කුමාර ගෞතමදාස සිසුවාගේ පියා වන වෛද්‍ය සනත් ගෞතමදාසයි. පීතෘ සෙනෙහසින් පපුව පැළෙන්න තරම් දුකක් උහුලන බව ඔහුගේ ඇස් දෙකේ නලියන කඳුළු කැට සාක්ෂි දරයි. ආසිරිගේ මව සිදු වූ දේ අදහාගත නොහැකිව හිස් බැල්මෙන් බලා සිටියි. ඔහුගේ නැගණිය නොනවත්වාම ඉකිබිලඳින්නේ ඇයට සිටි එකම හයිය අද කාටත් හොරා මෙලොව හැර ගොසින් ඇති නිසයි. පවුලක්, ගමක්, රටක්ම හඬවමින් ඔහුගේ අවසන් හුස්ම පොද වා තලයට මුසු කර තිබුණේ අබිරහසක් ද ඉතිරි කරමින්.

ජීවිතය හැර යාමට තරම් ඔහුට තිබුණ ගැටලුව කුමක් ද? එය සමාජ කතිකාවතක් ගොඩනැඟිය යුතු කතාබහක් බවට පත්ව ඇත්තේ මේ විදිහට ජීවිතය හැර ගිය එකම සරසවි සිසුවා ඔහු නොවන බැවිනි. දිගින් දිගටම මේ විදිහට තරුණ දරුවන් සිය දිවි නසා ගන්නේ ඇයි?

නව යොවුන් වියේ දරුවන් සියදිවි නසා ගැනීමට පොළඹවනු ලබන මානසික තත්ත්වයන් පිළිබඳ මනෝ වෛද්‍ය අමා දිසානායකගේ පැහැදිලි කිරීමකි මේ.

ඉච්ඡාභංගත්වය

මිනිසකු සියදිවි හානි කර ගැනීමට බලපාන ප්‍රධානතම සාධකයක් වනුයේ මානසික පීඩනය නිසා හටගන්නා ඉච්ඡාභංගත්වයයි. ඉච්ඡාභංගත්වය තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වනුයේ දැඩි ආතතියට පත්වීමයි. මෙලෙස සිදුවන මානසික අවපීඩනය නිසා හට ගන්නා චිත්තවේග හේතුවෙන් මිනිසුන් සිය දිවි නසා ගැනීමට පෙළඹෙනවා.

මෑතක සිට විශ්වවිද්‍යාල සිසුන් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් මතුව තිබෙනවා. මෙයට බලපාන සාධක කිහිපයක්ම තිබෙනවා. එක් හේතුවක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යාපනයේ පීඩනය සහ වැඩ ප්‍රමාණය වැඩිවීම. පෙර කාලයේ සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට වඩා වර්තමාන ශිෂ්‍යයාට තම නිවෙස්වල  ගැටලු තිබෙනවා. ආර්ථික පීඩනය, අනාගතය පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය වැනි ප්‍රශ්න රැසකට වත්මන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මුහුණ පා සිටිනවා.

නමුත් මේ කියන සිසුවාගේ සියදිවි නසා ගැනීමට ඒ කිසිම හේතුවක් නොවෙන්නත් පුළුවන්. මොකද ඔහු හැදෙන්නේ වැඩෙන්නේ ඉතාම උසස් හොඳ පරිසරයක. සමාජීය වශයෙන් වෛද්‍යවරු දෙදෙනකුගේ දරුවෙක් හොඳ පරිසරයක හැදෙනවා. ආර්ථික ප්‍රශ්නත් නැහැ. ඒ මවුපියෝ සල්ලි දුන්නට, සැප සම්පත් දුන්නට දරුවාගේ මනස ශක්තිමත් කරන්න බැරි වෙන්න ඇති. වෛද්‍යවරු ඉතාම කාර්යබහුලයි. මවුපියන්ටත් ඔහු ගැන හොයලා බලන්න කාලයක් නැති වෙන්න ඇති. එයා පාඩම් කළා විතරයි වෙන්න ඇති. ක්‍රීඩාවක් කරන්න නැතුව ඇති. ගීතයක් රස විඳින්න නැතුව ඇති. නවකතාවක් කියවන්න නැතුව ඇති. චිත්‍රපටයක් බලන්න නැතුව ඇති. පොතටම වෙන් වුණු දරුවෙක් වීමෙන් දරා ගැනීම කියන දේ ඔහුගෙන් ඉවත්ව යන්න ඇති.

එදා පවුලේ සාමාජිකයන් අතර බැඳීමක් තිබුණා.

එදා වගේ නෙවෙයි අද ඒ බැඳීම අඩුයි. ගෙදර පස්දෙනා කතා බහ කරන්නේ නැහැ. පස්දෙනා කාමර 5ක ෆෝන් ඔබනවා. හිතේ තියෙන දේ කියන්නවත්.. කෙනෙක්ගේ දෙයක් අහන්නවත් වෙලාවක් නැහැ.

ඔහු සියදිවි නසාගන්න සති කිහිපයකට කලින් ඔහුගේ සුරතල් බල්ලා නැති වෙනවා. සමහරවිට හිතේ තියෙන හැමදේම කියන්න හිටිය එකම සඟයා මේ සුරතලා වෙන්න ඇති. ඒකත් ඔහුට දරා ගන්න බැරි වෙන්න ඇති. හැබැයි තමන් ආදරය කරන කෙනෙක් නැති වුණා කියලා තමන්ගේ ජීවිතය නැති කරගන්න පුළුවන් ද?

විෂාදය

ඒ දරුවාට විෂාද රෝගය තිබුණත් දරුවා බෙහෙත් ගැනීම ප්‍රතික්ෂේප කළා කියලා පියා ඒ කතාවෙදි කියනවා. විෂාදය වගේ මානසික රෝගයකින් පෙළුණේ නැත්නම් ළමයෙක්ට සුරතල් සතෙක් අහිමි වීම දරාගන්න බැරි වෙන්නේ නැහැ. ඕ‍ෙනම දෙයක්, ඕ‍ෙනම මොහොතක අහිමි වෙන්න පුළුවන් කියන එක දරුවෙක්ට උගන්වන්න ඕනේ පුංචි කාලෙදිමයි.

අධික දුක

විෂාදය කියන්නේ සුලබව තිබෙන මානසික රෝගයක්. මේ විෂාදය ඕනෑම කෙනෙක් තුළ අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. විෂාදයේ ප්‍රධානම ලක්ෂණය වන්නේ එම පුද්ගලයා තුළ පවතින අධික දුකයි. දුක යනු සියලුදෙනාටම දැනෙන තාවකාලික දෙයක්. නමුත් විෂාදය නිසා ඇතිවන දුක දීර්ඝ කාලයක් පවතිනවා. යම්කිසි පුද්ගලයෙකුගේ දීර්ඝ කාලීනව පවතින නොවෙනස් චිත්තවේගීමය තත්ත්වය විෂාදයේ ප්‍රධාන ලක්ෂණයයි. පවුලේ අයට බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ ඉක්මන් වෙනස් වීම් නිසා මෙය හඳුනා ගන්න පුළුවන්. ඔවුනට අවශ්‍ය වෙන්නේ අනෙකාගේ අවධානය, ආදරය සහ ඇහුම්කම්දීමයි. ඒවා ලැබෙන තැන ඔවුන් ජීවිතයට නැවත ආදරය කිරීමට පටන් ගනියි.

හුදෙකලාබව

මිනිස්සු ජීවත් වෙන්නේ ලොකු සමාජයක් ඇතුළේ වුණාට ඒ සමාජය තුළ මිනිසා හුදෙකලා වෙනවා. අපි හිතනවා නගරයක මිනිස්සු හුදෙකලා වෙන්නේ නැහැ කියලා. ඇත්තම කතාව තමයි නගරයක මිනිස්සු තමයි වැඩි වශයෙන්ම හුදෙකලා වෙන්නේ. නගරයක මිනිස්සු තරගයට දුවනවා මිසක් අනෙක් කෙනා ගැන හොයන්න බලන්න හිතන්න වෙලාවක් ඇත්තේම නැහැ.

හොඳ මිදි, නරක් වුණු මිදි සහ තැළිච්ච මිදි වගේ වෙනස් එකතුවක් තමයි පාසලක ඉන්නේ. හැම ළමයෙක්ගෙම පෞරුෂය එක වගේ නැහැ. සමාජ පසුබිම එක වගේ නැහැ. දරා ගැනීමේ හැකියාව එක වගේ නැහැ. එතකොට එහෙම හුදෙකලා වෙන ළමයි දිහා සන්සුන්ව බලන්න පුළුවන් වෙන්න ඕනේ. එයාලව අඳුරගන්න වැඩිහිටියන්ට ඉවෙන් පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ගේ වෙනසක් දැක්කම ඒක නොසලකා ඉන්න එපා.

සබඳතා අහිමි වීම

සමාජයීය වශයෙන් මේ හුදෙකලා වෙන ළමයින්ගේ ජීවිතවලට වග කියන්න වැඩිහිටියෝ විදිහට අපිට වගකීමක් තියෙනවා. තමා වටේ ඉන්න කෙනෙක් “මට දැන් මැරෙන්න හිතෙනවා” කියලා කිව්වොත් ඒක සැහැල්ලුවට ගන්න එපා. එයාට ප්‍රශ්නයක් නිසානේ ජීවිතයෙන් පැනලා යන්න හදන්නේ. සමහර වෙලාවට එයාලගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බැරි වෙයි. හැබැයි මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්න පුළුවන් වෙයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ කෙනෙක් නම් ඒකෙන් මුදා ගන්න පුළුවන්. සම්බන්ධතාවක් නිසා හඬන වැළපෙන කෙනෙක් නම් මේ අවසාන ගැහැනිය හෝ මිනිසා නෙවෙයි කියලා එයාට උදවු කරන්න පුළුවන්. ඔයා වටේ අපි ඉන්නවා කියන්න පුළුවන්. මිනිස්සු අපේ ජීවිතවලට යනවා එනවා. එහෙම ගියා කියලා අපි ජීවිත නැති කරගන්න ඕනේ නැහැ. එයාලා අපිට අත්දැකීම් සහ පාඩමක් කියලා දුන්නා කියලා හිතන්න. ඒ දේවල්වලින් අපි අනාගතය හදාගන්න ඕනේ.

දියුණු රටවල මිනිස්සු සියදිවි නසාගන්නේ ආර්ථික ප්‍රශ්න නිසා නෙවෙයි, හුදෙකලාව නිසයි. ඒ හුදෙකලාව නැති කරගන්න සමාජයීය ක්‍රියාකාරකම් ගොඩාක් කරන්න ඕනේ. අපේ රටේ අවාසනාවට එහෙම දේවල් නැහැ. ඉතින් අපේ රටේ විදිහට නම් කරන්න තියෙන හොඳම දේ තමයි අහිමි වෙන්න කළින් අනිත් කෙනාට ආදරය කරන එක.

උපදෙස් ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?