Friday, October 3, 2025
Epaper
Home Hairඑයාට ගැළපුණා කියලා ඔයාට ගැළපෙන්නේ නැහැ

එයාට ගැළපුණා කියලා ඔයාට ගැළපෙන්නේ නැහැ

by Thanushika

දැකුම්කලු කෙස් කලඹක් කියන්නෙම සොඳුරු රූ සපුවක අනිවාර්ය අංගයක්. කාන්තා – පිරිමි භේදයකින් තොරව දෙපාර්ශ්වයටම එය අතිශයින්ම වැදගත් වන අතර පුද්ගලයකුගේ පෞරුෂය මෙන්ම ආකර්ෂණය වැඩිදියුණු කිරීමෙහිලා හිසකෙස් ඉහළ කාර්යභාරයක් ඉටු කරලයි.

නමුත් වර්තමානයේ බොහෝදෙනකු අකලට හිසකෙස් සුදු වීම නිසා කනස්සල්ලට පත්වන අතර, එවැනි අවස්ථාවක තම හිසකේ වර්ණ ගන්වා ගැනීමට පසුබට නොවෙති. මෙහිදී කෙනකු කේශාලංකරණ ශිල්පියකු වෙතින් හෝ රූපලාවණ්‍යාගාරයකට ගොඩ වැදී හිසකෙස් වර්ණගන්වා ගත්තද අතමිට වැඩි මුදලක් නොගැවසෙන විටෙක නි‍ෙවසේදී තමා විසින් තම හිසකෙස් වර්ණගන්වා ගැනීමට පෙලඹේ. බොහෝ විට විවිධ රසායනික සංයෝජනයන් මේ සඳහා භාවිත කරන බැවින් එය වඩාත් නිවැරදිව මෙන්ම පරෙස්සමට කළ යුතු ක්‍රියාවකි. එබැවින් නි‍ෙවසේ දී හිසකෙස් වර්ණගන්වන්නේ නම් ඔබ දැන සිටිය යුතුම කරුණු කිහිපයකට අද අපි අවධානය යොමු කරමු.

ඩයිකිරීම එහෙමත් නැතිනම් වර්ණගැන්වීම කියලා කියන්නේ කුමක් ද?

තමන් උපතින් ලද හිසකෙස්වල වර්ණය වෙනස් කරන්නට වාගේම අකලට හෝ වයසට සුදු වූ හිසකෙස් කළු හෝ වෙනත් වර්ණයකින් වර්ණගැන්වීම හිසකෙස් වර්ණගැන්වීම ලෙස හැඳින්විය හැකියි. මෙහිදී රසායන ද්‍රව්‍ය අඩංගු විවිධ වර්ණ එහෙමත් නැතිනම් ඩයි වර්ග වෙ‍ෙළඳපොළේ දැකිය හැකි අතර, මිනිස් සිරුරට අහිතකර නොවන නිෂ්පාදනයක් තෝරා ගැනීම ඉතාම වැදගත්.

තමාට ගැළපෙන වර්ණයක් තෝරා ගන්නේ කොහොම ද?

බොහෝ විට සුදු පැහැති හිසකෙස් වර්ණගැන්වීම සඳහා කළු පැහැති වර්ණය තෝරා ගැනෙන අතර විලාසිතාවක් ලෙස හිසකෙස් වර්ණ ගන්වන්නේ නම් දුඹුරු, රතු, නිල් වැනි වර්ණ තෝරා ගැනේ.

මෙහිදී ඔබේ පෙනුම, වයස, සමාජ තරාතිරම, රැකියාවේ ස්වභාවය වැනි දෑ ගැන පවා අවධානය යොමු කොට ගැළපෙන වර්ණයක් තෝරාගත යුතුවේ. විශේෂයෙන්ම සුදු හිසකෙස් වර්ණගැන්වීමක් ඔබට නි‍ෙවසේදී කළ හැකි වුවත් විලාසිතාවක් ලෙස වර්ණගන්වන්නට නම් කේශාලංකරණ ශිල්පියකුගේ සහාය සහ උපදෙස් අත්‍යවශ්‍ය බව මතක තබාගන්න.

හෙනා සත්කාරය යනු හිසකෙස් වර්ණගැන්වීමක් නොවේ ද?

හෙනා සත්කාරයකදී සිදුවන්නේ හිසකෙස් මතුපිටින් කෝටින් එකක් එහෙමත් නැතිනම් කෙස් ගස ආවරණය වීමකි. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණ වන්නේ හෙනා සත්කාරයක් කළ හිසකෙස් සඳහා වර්ණගැන්වීමක් කිරීමට බොහෝ අපහසු බවයි. මන්ද හෙනාවල ඇති තද කහට ගතිය කෙස් ගසෙහි මතුපිට ආවරණය කරනා බැවින් අනතුරුව සිදු කරන වර්ණගැන්වීම් හිසකෙස් සඳහා රඳා නොපවතී. වර්ණ කිරීමට අපහසු අසාත්මික සහිත පුද්ගලයින් බොහෝ වෙලාවට මෙම හෙනා සත්කාරය තෝරාගන්නා අතර, හෙනා පවුඩර් සමඟ තද තේ කහට, බීට්රූට් යුෂ වැනි දෑ මිශ්‍ර කරමින් එහි වර්ණය සකසා ගැනේ.

වෙ‍ෙළඳපොළේ විවිධ හිසකේ වර්ණක දක්නට ලැබෙන මුත් අපි තෝරා ගත යුත්තේ කුමක් ද?

වර්ණක කියන්නේ යම් රසායනික සංයෝග සහිතව සකස් කරන ලද්දක් බැවින් ඒවා කොණ්ඩයට සහ හිසට බලපෑමක් සිදු කළ හැකියි. එබැවින් හිසකෙස් සඳහා අවම හානියක් සහිත ඇමෝනියා ෆ්‍රී වර්ණක තෝරාගැනීමට ඔබ වග බලාගන්න. ඔබ තරුණ වයසක පසුවන්නේ නම් මේ වර්ණ කිරීම් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුත්තේ එමඟින් වයසට පෙර ඔබගේ හිසකෙස් අකලට හැලී යාමට ඉඩ ඇති බැවිනි.

වෙ‍ෙළඳපොළේ විවිධ නිෂ්පාදිත නාමයන්ගෙන් යුතු මේ වර්ණ අතරින් ඔබට වඩාත් ගැළපෙන නිෂ්පාදනය තෝරාගෙන එහි සඳහන් කර ඇති පරිදි ආලේපනය සකසා ගැනීමට වගබලා ගන්න. මන්ද ඇතැම් නිෂ්පාදන ජලයෙන් දිය කළ යුතු අතර, තවත් ඒවායේ අඩංගු ක්‍රීම් නිසි පරිදි මිශ්‍ර කරගත යුතු වෙයි. මේ නිසා එම නිෂ්පාදනවල අඩංගු උපදෙස් නිසි ලෙස පිළිපැදීමට වගබලා ගන්න.

ආලේපනය හිසකෙස් මත තවරා කොතරම් වේලාවක් තැබිය යුතු ද?

එය ද නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට වෙනස් වෙයි. එහි සඳහන් කාල වේලාව අනුව ආලේපය හිස කෙස් මත තැබිය යුතු අතර බොහෝ වේලාවට අවමය විනාඩි විස්සක්වත් තැබිය යුතු වෙයි. එමෙන්ම උපරිමය විනාඩි 45ක් විය යුතුයි. ඊට වැඩි කාලයක් මේ ආලේපන හිසකෙස් මත නොතබන්න. ඇතැම් විට ඔබ මේ ආලේපනය තවරා වෙනත් වැඩක යෙදෙන්නේ නම් නියමිත වේලාවට එලාම් එක තබා හිස සේදීම කරන්නට අමතක කරන්න එපා.

වර්ණක ඉවත් කරන්නේ කොහොමද?

නියමිත වේලාවෙන් පසුව පළමුව පිරිසුදු ජලයෙන් සෝදා හැර අනතුරුව ෂැම්පු යොදා හොඳින් සෝදන්න. මේ සඳහා අධික ශීතල හෝ උණුසුම් ජලය භාවිත නොකළ යුතු අතර සබන් වෙනුවට ෂැම්පු භාවිත කරන්න. මන්ද මේ වර්ණක ඔබේ හිසකෙස්වලින් හොඳින්ම ඉවත් විය යුතු බැවිනි. ඉන්පසුව අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් යෙදීමටත් වගබලා ගන්න. හිස සේදීමේදී ඇස්, කන්, මුඛය ආදියට නොවැටෙන සේ පරිස්සමට ඉවත් කළ යුතු අතර, ඒවා ශරීරයේ තැවරීම ඉතා අහිතකර බව සිතන්න. තව කෙනෙකුගේ සහාය ලබාගෙන හිස පිටුපසට කර සෝදා හරින්නට හැකිනම් එය වඩාත් ප්‍රවේශම්සහගතය.

සාමාන්‍යයෙන් හිසකෙස් වර්ණගන්වා සති දෙකක් වැනි කාලයක් එය රැඳී පවතියි. නමුත් ඔබ භාවිත කරන ෂැම්පු මෙන්ම ඔබේ හිසකෙස්වල ස්වභාවය අනුව ද මෙය වෙනස් විය හැකියි. එබැවින් වර්ණකය නැවත භාවිත කිරීම පිළිබඳ නිශ්චිතව සඳහන් කළ නොහැකි අතර එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අවශ්‍යතාව මත වෙනස් වේවි.

ඔබේ සිතැඟි පරිදි රුචිකත්වය මත මේ වර්ණගැන්වීම කළ හැකි වුවද මේ සියල්ලටම ප්‍රථම ඔබ එක් පරීක්ෂණයකින් සමත් විය යුතුම වේ. ඒ ඔබ භාවිත කරන්නට බලාපොරොත්තු වන නිෂ්පාදනය පිළිබඳ කරන අසාත්මිකතා පරීක්ෂණයයි. සාදාගත් මිශ්‍රණය කන පිටුපස තවරා පැය විසි හතරක් නොසෝදා තැබිය යුතු අතර එහිදී යම් කැසීමක්, පලු දැමීමක්, රතු වීමක්, ඉදිමීමක් දක්නට නොලැබෙන්නේ නම් එය ඔබට අසාත්මික නොවේවි. එබැවින් ඔබ කිසිවිටෙකත් අසාත්මිකතා පරීක්ෂණයක් නොකර හිසකෙස් වර්ණකයක් තෝරා නොගන්න.

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය සහ කේශාලංකරණ ශිල්පිනි

නිලූකා කොඩිකාර

චම්පා වරුසප්පෙරුම

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?