Wednesday, August 20, 2025
Epaper
Home කවි හිමිදිරියහිමිදිරිය

හිමිදිරිය

by Thanushika

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට යොමු කරන්න.

අද හිමිදිරියට කවි තෝරන ඔහු වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

පේරාදෙණිය විශ්වවිලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනාගෙන ඇති ඔහු මේ වන විට කාව්‍ය සංග්‍රහ හයක්, කාව්‍ය විචාර කෘති දෙකක් සහ හයිකු පරිවර්තන කාව්‍ය සංග්‍රහයක් නිකුත් කොට ඇත. වෘත්තියෙන් ගුරුවරයකු වන වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ කෘති ජාතික මට්ටමේ සම්මාන සඳහා නිර්දේශ වී ඇත .

හොඳම කවිය

සටන

පියාපත් සඟවාගෙන
නිල් අඹරේ කුරුල්ලෝ
පියඹා එන්න
බිනර කළුවරට හොරෙන්

සුළං දොර ඇරන් ඇවිදින්
මකුළු නගරයකි ලෝකය
මූට්ටු කළ හිත් වියමන්
රටාව අතරින් පීරා

අකුරු විසිර ගොස්
කොම්බු ඇදව ගොස්
හඬට අත වනයි ලෝකය
නැවතී කුඹගසක්

දකින්නට ඉඩ දෙන්න
නෑඹුලේ පිනිබිඳු අහුලන්න
වසන්තයේ දොරකඩට ඇවිදින්
දෙතොල් පෙති සලා

සුළඟ සැහැසි ලෙස
කුරිරු දුක්බර හඬින්
වලප්නා හැටි බලන්න
සඳේ ආවාට තැනින් තැන තිබුණාට

වෙඩි උණ්ඩ තැනින් තැන
රණබිමේ බිඳුණාට
ලේ දහර කෑගසා
ගලාගෙන ඇදුණාට
මිහිඹ මුවමඬල
අත්වලින් වැසුවාට
ණයට ගත් ජීවිතය මහ බරක්

මියදෙන්නේ නෑ
රණබිමෙහි අලුත් ලේ
තැනින් තැන ගලන්නේ
සෙවණැලි බිඳන්
සුසුම් හඬ ඇසෙන්නේ

පොඩි එවුන් කිරි සුවඳ
සොයා ඉව කරන්නේ
අලුත් ලොව වෙඩි උණ්ඩ
අතරින්ම වඩින්නේ
යුගන්ධර පර්වතය මැදින්
සඳ එබෙන්නේ
මකුළු හුය යදමින් වියන්නේ

කුළෙන් කුළ දොළින් දොළ
සිසිලසයි ගලන්නේ
මළ පරඬලා පත්
නින්නාද දෙවන්නේ
කල්පාන්තය මැදින්
ගිරි මෙවුලා වඩින්නේ

චන්ද්‍රිකා පුෂ්පරාණි


උපුටාගත් කවිය

සහස් කඳු තරණ මංපෙත්

ලියවැල් මල්
එතිය යුතු ම ද
රුකක බඳ වට
නොවැටි සිටුමට
ලියවැලක අත

නැඟිය යුතු ම ද
රුකක ඉණිමඟ
ගගන සිඹුමට
ලියවැලක පත

පොළොව මතුපිට
තනිව ඇවිදින
ලියවැලක ගැබ
මල් පිපෙන දින

රුකක එති ලිය
මල සිඹින දන
බිම පිපුණු මල
පාගනුයෙ කිම

කෞශල්‍යා ජයලත්


මුල් චිත්‍රය

පැන්සලෙන් ඇඳි රටා ඇතුළත
පින්සලෙන් වර්ණය යොදා
මතු කළෙමි සිතුවමක ගුණ රුව
හිතේ තෙරපෙන හැඩ යොදා

නගර වැසියෝ පෝළිමේ විත්
විවිධ රසයන් එහි උලුප්පා
විචාරය රැඳි විචේචනයන්
දහස් ගණනින් ලියා තිබුණා

එකින් එක කියවලා බැලුවම
හිනාවක් හා බියක් එනවා
මගේ චිත්‍රය මටම එරෙහිව
සිටිනවා දත් දෙතිස විරවා

තනේ ඉරුවම කිරි තිබුණෙ නෑ
දැනුණෙ ලුණු රස විතරමයි
ඇන්ද චිත්‍රයෙ එය දැම්මෙ නෑ
නොදැන කළ වරදක් නොවේ මැ යි

පපු කැනැත්තෙන් බෙදූ සෙනෙහස
අගය කෙරුමට වදන් එන්නෑ
එය රඳන්නට සිතුවමේ අග
වර්ණයක් මට හමුවුණේ නෑ

අනුර වික්‍රම ආරච්චි

උඳුගොඩ


සතුට

වහාම ක්‍රියාත්මක වන පරිදි
අතීතය භූමිදාන කළෙමි
නැවත නැඟිටීමක් නම් නොවේ

පැතුම් බුද්ධික ලියනගේ


තාත්තාගේ සාදය

උපන් තෙක් දැකපු නැති නෑදෑයො දැකලා
කඳ බැඳන් ගෙන ආව පොට්ටනිය ලිහලා
තැනින් තැන රස බෙදයි කැකිරි ටික පළලා
අම්මටත් වැඩිය දේ දැන සිටියෙ විමලා

බුෆේ එක අඩු නැතුව සුවඳ දෙයි බෙදලා
මඟුල් අසිරිය ගෙනෙයි සෙනඟ ඇත පිරිලා
පිඟානක් හඬ තළයි මිල ගණන් කියලා
අපට දුක අම්මගේ දකුණු අත බිඳිලා

තාත්තා වැඩිපුරම ගත්තෙ එක පානයයි
එදා එය නොතිබුණේ එයා ගන්නැති නිසයි
ලොකුම අඩුවක් ඒක නොරිස්සුම් රාශියයි
අඩුව සපුරා ගන්න මුදල් සම්මාදමයි

සියලු දේ සැලසුමට අඩු නැතුව සපයා
ගුණ අගුණ ගැයුම් ගැන කිසිවක්ම නොකියා
සමච්චල් හිනාවක් එන සැමට සපයා
තාත්තා දෑත් බැඳ නිහඬවම සිටියා

අජිත් මුණසිංහ

හාලිඇළ


මල් මීදුම්

ඈතකින් එන මල් සුවඳින් කම්පිතව
තුරු වැලඳ ලිය වැල්
හෙළන සුසුම් හඬ
තනි යහනට වැද මා නිදි බිඳින විට
ලොවේ කොතැනක හෝ
ඔබත් අවදියෙන් බැව් දනිමි

ඔබත් මමත්
එකවර නිහඬ වූ
ඒ සොඳුරු මොහොතක
යටගිය දවස
ඔබෙ සුසුමින්
ඒ මල් සුසුවඳ උපන් බැව්
දැන් ලොවට කියා කුමන පලද

නිරෝෂ ප්‍රනාන්දු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?