ප්‍රවීණ කේශලාවණ්‍ය ශිල්පි ලලිත් ධර්මවර්ධන ශ්‍රී ලාංකේය කේශාලංකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි. දෙස් ප්‍රමාණයක විදෙස් සිනමාපට 250කට වැඩිය කේශාලංකාර ශිල්පියා වූයේ ඔහුයි.
කේෂාලංකරණ ක්ෂේත්‍රයට වගේම සිනමාවටත් සුවිසල් මෙහෙවරක් කළ ඔහු පසුගියදා ජීවිතයෙන් සමුගත්තේ එම ක්ෂේත්‍රයන්ට හිස්තැනක් එකතු කරමිනි. ඒ හිස්තැන පිරවීමට නොහැකි තරමට ඔහුගෙන් සිදු වූ සේවය අපමණය.
කලක් රෝගාතූරව සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට 75 වැනි වියේ පසුවිය.
චන්ද්‍රසිරි ප්‍රනාන්දු සහ එලියට් දික්කුඹුර යුවළට දාව වැඩිමහල් දරුවා ලෙසින් වැල්ලවත්තේදී උපන් ලලිත් චන්ද්‍රතිලක ධර්මවර්ධන ප්‍රනාන්දු, ක්ෂේත්‍රයේ පසුකාලීනව ප්‍රකට වන්නේ ඔහුම ව්‍යවහාරිකව සකසාගන්නා “ලලිත් ධර්මවර්ධන” යන නාමයෙනි.
70 දශකයේ මැද භාගයේ මාලිනී ෆොන්සේකාගේ කේශාලංකරණ ශිල්පියා ලෙසින් ක්ෂේත්‍රයට එක්වන ඔහු මුල්වරට සිනමාපටයකට කේශාලංකරණයෙන් එක් වන්නේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ “ඉන්දුට මල් මිටක්” චිත්‍රපටයෙනි.
ඉන්පසුව මාලිනී ෆොන්සේකා සමඟ චිත්‍රපට ගණනාවකටම සම්බන්ධ වීමේ වරම් ලද හෙතෙම මාලිනී ෆොන්සේකා සමඟ දකුණු ඉන්දීය සුපිරි නළු සිවාජි ගනේෂන් එක්ව රංගනය කළ “පයිලට් ප්‍රේම්නාත්” චිත්‍රපටයේ ද කේශාලංකරණ ශිල්පියා ලෙස කටයුතු කරනු ලැබීය.
මේ හරහා ක්ෂේත්‍රයේ තම වෘත්තියමය වටිනාකම තහවුරු කරගත් ලලිත් ධර්මවර්ධනයන් “යළි හමුවෙන්නයි”, “නැවත හමුවෙමු”, “ක්‍රිස්තු චරිතය”, “පූජා”, “බැද්දෙගම”, “අවරගිර”, “ආකාස කුසුම්”, “මචං”, “කුසපබා”, “අබා” වැනි චිත්‍රපට ගණනාවකම කේශාලංකරණ කටයුතු සිදු කළ අතර, “පිටගම්කාරයෝ”, “කඩුල්ල”, “රැජන”, “පුරසක්මන” සහ “අඹු දරුවෝ” වැනි සුවිශේෂී ටෙලිනාට්‍ය නිර්මාණ 14කට පමණ ද කේශාලංකරණයෙන් දායක වී තිබේ.
රුක්මණී දේවියගේ සිට බොහෝමයක් රංගන ශිල්පිනියන්ගේ කේශාලංකරණ ශිල්පියා ලෙස කටයුතු කොට ඇති ලලිත් ධර්මවර්ධන විදෙස් චිත්‍රපට රැසකට ද කේශාලංකරණ ශිල්පියා ලෙස එක් වී තිබේ. දෙස් – විදෙස් පැසසුම් ලැබූ දීපා මෙහෙතාගේ “ෆනී බෝයි” චිත්‍රපටයේ ද කේශාලංකරණය ලලිත් ධර්මවර්ධනයන්ගෙන් වන අතර, එය ඔහුගේ කලා ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. “වෝටර්, මිඩ් නයිට් චිල්ඩ්රන්” වැනි චිත්‍රපට වල කේශාලංකරණ දායකත්වය ද ඔහු විසින් ලබා දීමෙන් නිරන්තර විදෙස් පැසසුම්වලින් ද ඔහු පැසසිණි.
සිනමාවට, පුංචි තිරයට අමරණීය මතකයන් එක්කරමින් දිවියෙන් සමුගත් ඔබට නිවන් සුව!
විදුමිණි