සොඳුරු දර්ශනවලට අපූර්ව ලෙසින් ජීවය දෙන රිබන් බිත්ති සැරසිලි නෙතු ආකර්ෂණය කරයි. ඇඳුම් පැලඳුම්, කුෂන් කවර, කොට්ට, මේස රෙදි ආදිය අලංකාර කරගැනීම සඳහා ද මෙවැනි විවිධ නිර්මාණාත්මක ක්‍රම භාවිත කරයි. ඒ අතරින් රිබන් එම්බ්‍රොයිඩරි කලාව සුවිශේෂී එකක් ලෙස දැක්විය හැකියි.
ඉතින් ඔබ අතින්ම නිර්මාණය කරපු රිබන් එම්බ්‍රොයිඩරි සැරසිල්ලකින් නිවෙසේ විසිත්ත කාමරය හැඩකර ගන්න හැකිනම් කෙතරම් අගනේද. ඔබේ නිර්මාණශීලී හැකියාව නිවෙසට එන අමුත්තන්ට ප්‍රදර්ශනය කරන්නටත් එය කදිම අවස්ථාවක් වේවි.
බලන්න, මේ අපූරු කුෂන් කවරය දිහා. දම්, සුදු සහ කහ වර්ණයන්ගෙන් එම්බ්‍රොයිඩරි වූ ලස්සන මල් සැරසිල්ලක්. වැඩිදෙයක් නැතත් මේ සැරසිල්ලෙන් කුෂන් කවරයට අමුතු කලඑළියක් ලැබිලා. මේ වගේ ලස්සනට කුෂන් කවරයක් මසා ඔබේ විසිත්ත කාමරයට කලඑළියක් ගෙනදෙන්න ඔබටත් හැකියි.
මේ නිර්මාණය සඳහා අවශ්‍ය වන්නේ සීමිත ද්‍රව්‍ය කිහිපයක් පමණි. ලිනන් රෙදි, ටැප්රැස්ටි ඉදිකටුවක්, එම්බ්‍රොයිඩරි ෆ්‍රේම් එකක් (Embroidery Hoop), අඟල් 1/2 සහ 1/4 රිබන් අවශ්‍යයි. මෙහිදී අපි යොදාගෙන තියෙන්නේ දම්, සුදු, කහ සහ කොළ යන වර්ණ රිබන්. නමුත් ඔබේ කැමැත්ත පරිදි වර්ණ වෙනස් කර ගත හැකියි. මේ මල් තවත් අලංකාර කර ගැනීමට පබළු කිහිපයක් ද සිපර් කොටසක්, ලයිටරයක් සහ කතුරක් අවශ්‍යයි.
මෙම කුෂන් කවරය අඟල් 15′ x 15′ සකසා ගත් නිර්මාණයකි. ඔබට අවශ්‍ය ලෙස මෙහි ප්‍රමාණය සකසා ගත හැකියි. මේ සඳහා යොදාගෙන ඇත්තේ ලිනන් රෙදි වර්ගයි. පළමුව මිනුම්වලට මැහුම් වාසිය එකතු කර රෙදි කොටස කපාගන්න.
අනතුරුව ෆැබ්රික් චෝක් ( Fabric Chalk) ආධාරයෙන් මැද රවුමක් ඇඳගන්න. ඔබට කොටු ආකාරයට වුවද මෙසේ ඇඳගත හැකිය. ඉන්පසු මල් සහ පත්‍ර යොදන ස්ථාන රෙදි කොටසේ ලකුණු කරගන්න.
අනතුරුව එම්බ්‍රොයිඩරි රාමුව රෙදි කොටසට තබා සකසා ගන්න. මල් මසා ගැනීමට අඟලක රිබන් එක යොදාගන්න. රිබන් එකේ පෙති කොටස මසා ගැනීමට ටැප්රැස්ටි ඉදිකටුවට රිබන් එක දවටා අවශ්‍ය තැනින් රිබන් එක උඩට මතු කරගන්න. ඉන්පසුව පෙත්තේ තමන්ට අවශ්‍ය දුර අනුව ඉදිකටුව නැවත රෙදි කොටසට ගසා මල් පෙත්ත මසා ගන්න (Straight Petal). මේ අන්දමට අනෙක් මල් ද මසා ගන්න.
මල සම්පූර්ණ කර ගැනීමෙන් අනතුරුව මැදට කුඩා පබළු එකින් එක ගෙන මසා ගන්න. පත්‍ර සඳහා අඟල් 1/2, 3/4 රිබන් යොදාගන්න. පත්‍රය මැසීමේ දී ඉදිකටුව සහිත රිබන් එක රෙදි කොටසින් ඉහළට ගෙන, ඉදිකටුව නැවත රිබන් එකටම ගසා පහළට ඇදගන්න. මේ අයුරින් සයිස් කිහිපයකින් යුත් රිබන් පත්‍ර තැනින් තැන මල වටා මසා ගන්න. අවසානයේ දී කුෂන් කවරයට සිපර් එකක් අල්ලාගෙන සම්පූර්ණ කරගන්න.
නිර්මාණශීලි අත්කම් සඳහා තරුණී අපෙන් ඉඩක්.
උපදෙස්
අත්කම් නිර්මාණ ශිල්පිනී
රවීනා සෙව්වන්දි
විදුමිණි දිසාකරුණා