Wednesday, August 20, 2025
Epaper
Home විශේෂාංගරටට ආදරය කරන මිනිසුන්ට ආදරය කරන ඇය  අනූෂා ගෝකුල..

රටට ආදරය කරන මිනිසුන්ට ආදරය කරන ඇය  අනූෂා ගෝකුල..

ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය

by Thanushika

“මගේ රාජකාරි දර්ශනය වනුයේ ‘ආදරය හා රැකබලා ගැනීමයි‘. අසීමාන්තික අවධානය, අසීමාන්තික ආදරය, අසීමාන්තික ඇගයීම යන කුළුණු තුන මත සේවය කිරීම මගේ ප්‍රතිපත්තියයි.“

මේ පාඨය රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරිනියක විසින් තමාගේ සහෝදර සේවකයන්ට තම කාර්යයන් පැහැදිලි කිරීමේ ලිපියක සඳහන් වූවකි. මෙතරම් ආදරණීය මිනිසුන් අප අතර සිටිනවාද කියා ඔබට සිතෙන්නට පුළුවන්. එහෙත් මෙය සැබෑවක් බව මම ඔබට කියමි. ඇය, ආදරණීය දියණියක, ආදරණීය බිරියක, ආදරණීය මවක යන පෞද්ගලික භූමිකාවන් මෙන්ම ආදරණීය රාජ්‍ය සේවිකාවක, සමාජ සේවිකාවක යන භූමිකාවලට ද සාර්ථකව පණ පොවන්නියකි. ගැහැනියක සතු ආදරණීය බව මෙන්ම බහු කාර්යයන්වල යෙදීමේ හැකියාව, බුද්ධිමත් බව යන සියලු ගුණාංගයන්ගෙන් පිරි ඇය, එනිසාවෙන්ම රටේ ඉහළ තනතුරු බොහොමයක්ම හෙබවීමට තරම් වාසනාවන්ත වූවාය. අනුෂා ගෝකුල ඉතාමත් නිරහංකාර, සුහදශීලී තැනැත්තියකි.

පසුගිය දා ඌව පළාත් ප්‍රධාන ලේකම්වරිය ලෙස පත්වීම් ලැබූ ඇය සමඟින් ඇගේ සාර්ථක ගමන් මඟ පිළිබඳ කතාබහ කළෙමු.

සෑම දරුවකුටම අනාගතය ගැන සිහින තිබෙනවා. ඔබේ සිහිනය ගැන කතා කරමු ද?

මගේ කුඩා කාලේ පටන්ම මට තිබුණේ විසිරුණු සිතුවිලි. ඒ අතර වෛද්‍යවරියක්, ලේඛිකාවක්, ගුරුවරියක්, මාධ්‍යවල වැඩ කරන්න වගේ විවිධ කාලවල විවිධ ආකාරයෙන් විසිරුණු සිතුවිලි සමුදායක් තිබුණා. මගේ මවුපියන් ගුරුවරු වීම නිසා මම ගුරුවරියක් වෙන්න කුඩා අවධියේ සිටම ආසා කළා. ඒ වගේම තාත්තා ගොඩක් දේවල් ලියන කියන කෙනෙක් නිසා මම ලේඛන කලාවටත් පෙම් බැන්දා. මවුපියන්ගේ වෘත්තිය නිසා අපි මැදවච්චිය, පූනෑව, අනුරාධපුරය වගේ ප්‍රදේශවල තමයි ඒ කාලේ වැඩියෙන්ම හිටියේ.. මේ නිසා තාත්තා රජරට සේවයේ වැඩ කළා. ඒ ආභාසය නිසා මටත් මාධ්‍යවල වැඩ කිරීමට ආසාවක් හිතේ තිබුණා. ඉන්පසුව අධ්‍යාපනය ලබන කාලේ වෛද්‍යවරියක් වෙන්න ආසා කළා. පසුකාලයේ දී පර්යේෂිකාවක් වෙන්නත් පුදුම ආසාවක් ඇති වුණා. මේ වගේ විසිරුණු ආසාවල් තිබුණත් පුදුමය කියන්නේ ආපස්සට හැරිලා බලනකොට මම මේ බොහෝ භූමිකාවන්වල කටයුතු කිරීමට තරම් වාසනාවන්ත වෙලා තියෙනවා.

රාජ්‍ය සේවයේ මෙතෙක් ලැබුණු අත්දැකීම් එක්ක පසුගියදා ලැබුණු අලුත් තනතුර හෙබවීමට අදහස් කරන්නේ කොහොමද?

අපි මුලින්ම අවුරුද්දක පමණ කාලයක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පුහුණුව ලැබුවා. 2001-2004 වන තෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අංශයේ සහකාර අධ්‍යක්ෂවරියක් ලෙස වැඩ කළා. ඉන්පසුව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස කටයුතු කළා. ග්‍රාම සංවර්ධන පර්යේෂණ පුහුණු ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ වැඩබලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමටත් අවස්ථාව ලැබුණා. ඉන්පසුව මම ආයතන ප්‍රධානියෙක් ලෙස මුල්වරට කටයුතු කරන්නේ බස්නාහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුවේ.

ඉන්පසුව සමාජසේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙසින් පත්වුණේ එතෙක් පත් වූ ළාබාලම අධ්‍යක්ෂවරිය වෙමිනුයි. ඉන්පසුව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස වසර 5ක් කටයුතු කරනවා. ළාබාලතම සංස්කෘතික අධ්‍යක්ෂ හා සංස්කෘතික අමාත්‍යාංශයේ පළමු කාන්තා අධ්‍යක්ෂවරිය වීමට හැකිවුණා. ඉන්පසුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති වීමට හැකි වුණා. එහිදීත් චිත්‍රපට සංස්ථාවේ පළමු කාන්තා සභාපතිනිය ලෙස එහි සනිටුහන් වෙනවා. ඉන්පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස පත්වුණා. එහි ඉතාම කෙටි කාලයක් සේවය කිරීමෙන් අනතුරුව මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල් ලෙස කටයුතු කළා. ඉන්පසුව ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන අතර බස්නාහිර පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – පිරිස් පුහුණු ලෙස කටයුතු කිරීමට ආරාධනාවක් ලැබෙනවා. එතැනින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන, සංස්කෘතික, කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළා. එසේ කටයුතු කරමින් සිටින විට තමයි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස අලුත් තනතුර ලැබුණේ…

මගේ 25 වසරක සේවා කාලය තුළ පළමුවරට තමයි කොළඹින් පිට සේවය කිරීමට අවස්ථාවක් ලැබුණේ.

කොළඹින් පිට පළමුවරට සේවය කරන්න ලැබුණු අවස්ථාවේ ඒ වෙනුවෙන් කරන්න බොහෝ සැලසුම් ඔබේ සිතේ පෙළගැසී තිබෙනවා ඇති..

ඔව්, පළාත් සභාවක් කියන්නේ ප්‍රධාන අංශ 5ක් යටතේ ක්‍රියාත්මක වෙන ආයතනයක්. එම අමාත්‍යාංශ පහ යටතේ ක්‍රියාත්මක වෙන ආයතන, දෙපාර්තමේන්තු තිබෙනවා. එහි ප්‍රධාන විෂයයන් ගත්විට මධ්‍යම රජයට අයත් බොහෝ අමාත්‍යාංශ ආරක්ෂක, අධිකරණ වැනි අමාත්‍යාංශ සුළු ප්‍රමාණයක් හැර බොහෝ අමාත්‍යාංශ ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව පළාත් පාලන විෂය විශාල විෂයයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ නිසා පළාතක් තවත් එක් රාජ්‍යයක් ලෙස සැලකිය හැකි පමණටම විශාල පරාසයක විහිදී යන විෂයයන් ප්‍රමාණයක් මෙහි පවතිනවා.

වසර 25ක් පුරා මම රාජ්‍ය සේවයෙන් ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන මෙහි වඩා හොඳ සේවාවක් ලබා දීමට කටයුතු කරනවා. තනතුරු පුරප්පාඩු තිබුණත් ඉතාම හොඳ තරුණ නිලධාරීන් පිරිසක් මේ පළාත් සභාවේ සේවය කරනවා. ඔවුන් ඉතාම ශක්තිමත් වගේම නිර්මාණශීලීව කටයුතු කරන බව දකින්න පුළුවන්.

ඌව පළාත බොහෝ සම්පත් තිබෙන සම්පත් අතින් පොහොසත් පළාතක්. සිවුවැනි විශාලම පළාත වන මෙහි ව්‍යාපෘති කිරීම සඳහා අවශ්‍ය ඉඩම් මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය සම්පත් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වන හොඳ පසක් මෙන්ම දේශගුණයක් පවතිනවා. සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් බැහැරව නව තාක්ෂණය යොදාගෙන කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීමට වගේම කලාව, සංස්කෘතිය හරහා පළාත ගොඩනැගීමටත් මම අදහස් කරගෙන සිටිනවා.

මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම මඟින් ආදරය, කරුණාව වැනි මිනිස් ගුණාංග වැඩිදියුණු කිරීමටත් මම අදහස් කරනවා. මගේ හා අනෙකුත් නිලධාරීන්ගේ කැපකිරීම් මතින් ඌව ජනතාවට හොඳ සේවාවක් සිදුකර ඌව පළාත රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා කරන දායකත්වය වැඩිදියුණු කිරීම තමයි අපේක්ෂා කරන්නේ.

*කාන්තාවක් ලෙස පවුලේ වගකීම්වලින් බැහැර නොවී, සියලු කටයුතු සම සේ සිදු කළ ආකාරය ගැනත් දැන ගන්න කැමැතියි..

මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. දියණිය වෛද්‍යවරියක්. දෙවැනි පුතා විදේශගත වෙලා ඉන්නේ. බාලම පුතා කෘත්‍රිම බුද්ධිය හා දත්ත විද්‍යාවේ විද්‍යාඥවරයෙක් ලෙස ලංකාවේ තිබෙන විදේශ ආයතනයක සේවය කරනවා. ඔවුන් තුන්දෙනා දැන් ලොකු වුණත් කුඩා අවධියේ සිටම මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මගේ මහත්තයා ආනයන අපනයන ව්‍යාපාරයක් සිදු කරනවා. ඔහු මාව දැඩිව විශ්වාස කරනවා වගේම මම කරන සේවාවන් ඔහුටත් සතුටක් වුණා. දරුවන් වගේම මහත්තයත් ඉතාම අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම නිසා මට රැකියාවත් සමඟ පවුලේ කටයුතු සමබරව කිරීමට හැකියාව ලැබුණා.

මගේ මවුපියන් මට බොහෝ උදවු උපකාර කළා. ඒවගේම එතෙක් මෙතෙක් නිවෙසේ සේවය කළ සේවා සහායිකාවන් පවා මට අවංකව කටයුතු කළ නිසා මගේ රැකියාවට කාලය යොදවන්න මට හැකි වුණා. ඒ වගේම මගේ ඥාතීන්, මගේ අසල්වැසියන් පවා යම් යම් අවස්ථාවලදී මට කළ උදවු උපකාර නිසා නිවෙසේ කටයුතුවලින් හිත නිදහස්ව රැකියාව කිරීමට මට අවස්ථාව සැලසුණා. මේ හැමදෙනාම මම සිහි කරන්නේ ඉතාමත් ආදරයෙන්.

අයන්ති උඩුගම්පල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?