Wednesday, August 20, 2025
Epaper
Home විශේෂාංග පාසලත් – නි‍ෙවසත් අතර දෝලනය වන දරුවකු ගැන කියන ළමුතු අමයා

 පාසලත් – නි‍ෙවසත් අතර දෝලනය වන දරුවකු ගැන කියන ළමුතු අමයා

by Thanushika

උපතේ සිට මුල් අවුරුදු අට දක්වා පමණ කාලය පූර්ව ළමාවිය ලෙසයි අර්ථකථනය වෙන්නේ. මේ කාලය දරුවකු තම භාරකරුවන් හෝ වැඩිහිටියන් සමඟ ගෙවා දැමීමේ ප්‍රවණතාවය ඉහළයි. 2001 ලෝකයේ වෙසෙන දරුවන්ගේ තත්ත්වය පිළිබඳ යුනිසෙෆ් වාර්තාව අනුව, දරුවෙකුගේ කායික, මානසික, චිත්තවේගික, සමාජීය විභවතාවන් පූර්ණ වෙනසකට ලක් කෙරෙන පෞරුෂ සංවර්ධනයේ අඩිතාලම දමන වයසක් ලෙස මෙම කාලච්ජේදය හඳුන්වනු ලබනවා.

මෙම වයසේ පසුවෙන දරුවකු පිළිබඳවයි ළමුතු අමයා හි කියැවෙන්නේ.
පූර්ව ළමාවියේ සත්කාරය පවුලෙන් ආරම්භ වී ක්‍රමයෙන් පාසල කරා විහිද යයි. ඒ අනුව මේ ද්විත්ව ආයතනම දරුවෙකුගේ පූර්ණ සංවර්ධන ක්‍රියාවලියෙහි ලා ප්‍රමුඛය. විශේෂයෙන් බුද්ධිමය සංවර්ධනය උදෙසා ලබාදෙන අත්දැකීම් හා තේරුම් ගැනීම් මෙන්ම සෑම දරුවකුම එක හා සමාන නොවන බව වටහා ගැනීම් දරුවන් විෂයයෙහි අගනේය.

ළමුතු අමයාගේ නම අහස් ය. අහස් හිතන ආකාරය, ක්‍රියාත්මක වන ආකාරය අනුව කතාව ගලාගෙන යයි. එක වසරේ සිට පාසලත්, නි‍ෙවසත් අතර දෝලනය වන අහස්ගේ අන්දරය එහි කියවෙයි. එය ළමා කතාවක් යැයි මුලින් හිතේ. නමුත් එය සාවද්‍යය. එය සම්පූර්ණයෙන්ම මනෝ විද්‍යාත්මක නවකතාවකි. ගුරුවරුන්ට අත්පොතකි. මවුපියන්ට මාර්ගෝපදේශයකි. සමස්තයක් ලෙස විභාග කරතබාගත්, අධ්‍යාපනය යනු හුදෙක් දැනුම පමණක් යැයි පටු චින්තාවන් උදෙසා පහරකි. සුරත් ද මැල් මෙකී කතාව ලියන්නට භාවිත භාෂාව සරලය. නැවුම්ය. එමෙන්ම හාස්‍යජනකය. එය උත්ප්‍රාසය මුසුය. බාධා විරහිතය. එතුළ දරුවා කතා කරන ආකාරය වැඩිහිටි මොළ විනිවිද දකින්නේය.”තමන් නිදන පිබිදෙන වෙලාව තීරණය කළ හැකි වැඩිහිටියන් යනු කොයිතරම් ප්‍රීතිමත් මනුස්ස පිරිසක් ද? එහෙම හිතලා හැමදාම උදේට මට ඇති වුණේ පුදුම ඉරිසියාවක්.’’ මෙය හුදු වාක්‍යයක් ලෙස සලකා බැහැර කළ නොහැකි ප්‍රකාශයකි. ලොව සියලු සතුන් අතර අසරණම ළමා සතා දරුවාය. වයස අවුරුදු 18 වන තෙක්ම දරුවා මවුපිය භාරයේය. පරායත්තය. තම ආහාර අයිතියේ සිට අධ්‍යාපනය, ආදරය, රැකවරණය ආදී සියල්ල වෙනුවෙන් වැඩිහිටියන් මත යැපිය යුතුය. “ලොකු අයගේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.” මෙසේ ලියන දරුවා සිය දිනපොතේ තමා වැඩිහිටියෙකු වුවොත් අමතක වෙයි කියා සිතෙන දේවල් සටහන් කරයි. එම සටහන මෙසේ ය.

“ගණන් බැරි වුණා කියලා ළමයින්ට සැර කරන්න නරකයි. විභාගේ දවසට ළමයි ඉස්කෝලේ යවන්න නරකයි. ළමයින්ට ඇති තරම් සෙල්ලම් කරන්න දෙන්න ඕන. ළමයි ආස කෑම විතරක් කන්න දෙන්න ඕන.” මෙය අවංක මෙන්ම මනෝ විද්‍යානුකූල ප්‍රකාශයකි. සෑම පුද්ගලයෙකුගේම මූලික අවශ්‍යතා අතර ආහාර, නින්ද ප්‍රමුඛය. එකී අවශ්‍යතා තෘප්තවීම තුළ ආදරය, ආරක්ෂාව පිළිබඳ දෙවැනි මට්ටමේ හැඟීම් ඇතිවේ. ඉගෙනුම පිළිබඳ අවශ්‍යතාව ඇතිවන්නේ ඉන් අනතුරුවයි. ඉගෙනුම ද සිදුවිය යුත්තේ දරුවා රුචි පරිදිය. එක් එක් ළමයා ඉගෙන ගන්නා ආකාරය එකිනෙකට වෙනස් අතර ඒ සඳහා විවිධත්වයෙන් යුත් ප්‍රවේශ භාවිත කිරීමට තරම් අධ්‍යාපනය දියුණු නොවීම සර්ව ගැටලුවකි.

එවන් පසුබිමක සිට ළමුතු අමයා අපේ අධ්‍යාපන ක්‍රමය සියුම් ලෙස හාස්‍යයයට ලක්කරන ආකාරය හඳුනා ගත හැකිය. අධ්‍යාපනය යනු විනෝදයෙන් තොර යාන්ත්‍රික ක්‍රියාවලියක් සහ එය සාමාන්‍ය ජීවන ශෛලීන්ගෙන් ඈත් වූ අමුතුවෙන් පටවන ක්‍රියාවක් බවට පත්කරගෙන ඇති ආකාරය “විනෝදයත් නැති අධ්‍යාපනිකත් නැති චාරිකා” නමැති පරිච්ඡේදය හරහා අපූරුවට දිගහැර ඇත.”අධ්‍යාපනයෙන් ළමයි විනෝද වෙයි කියලා බයට ගුරුවරු පුළුවන් තරම් නීරස විදිහට තමයි ඉගැන්නුවේ.” මේ ඊට නිදසුන් දෙන එක් වැකියකි. ශික්ෂණය යනු විනය ලෙස වරනැඟීමේ පලය ලෙස ගුරුවරු ද ශිෂ්‍ය‍යෝ ද එකවර පීඩාවට පත්වන අයුරු උත්ප්‍රාසය මුසු පෙළගැස්මක් ලෙස ද දරුවකුගේ ජීවන ලාලාසාවන් පොතට නොව ඉන් බැහැර මානව ජීවිත නිරීක්ෂණය, ගවේෂණය දක්වා විහිදෙන අයුරුත් එය අධ්‍යාපනයේ කුමන මානයකින් මිනුම් කළ හැකිද යන ප්‍රශ්නයත් ළමුතු අමයා හරහා විවරණයට ලක්කරනු බව පෙනේ.

මේ අනුව අප බහුතරය සිතන පරිදි ඉගෙනුම යනු හුදෙක් විභාග ජය ගැනුම නොවන බව අහස් සිය කතාවෙන් නොකියා කියයි. ලාංකේය අධ්‍යාපනය තුළ තවමත් මතක ශක්තිය හෙවත් බුද්ධිය මැනීමේ ප්‍රාථමික ක්‍රමය වෙත දෙනු ලබන අවධානය වැඩිය. නමුත් බුද්ධියේ සැබෑ නිර්ණායකය වනුයේ නිර්මාපීබවයි. නැතිනම් නිර්මාණශීලිත්වයයි. කතාව අවසානයේ ළමුතු අමයා ලාංකේය අධ්‍යාපනයට මෙන්ම එකී ක්‍රියාදාමයේ වැඩකරුවෝ වන අධ්‍යාපන පරිපාලකයන්ට හා පසුගමන් යන මවුපියන්ට දෙන මුඛ්‍ය පණිවිඩය එයයි.

රසිකා මුහන්දිරම්ගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?