ආදරණීය පුතා,
“අයියෝ පුතා ඔය රොටිය කන්න පුළුවන් ද. ඒක කරවෙලානෙ. වෙන එකක් හදන්න කියන්න..”රාත්‍රී කෑම මේසයට වාඩි වුණු අම්මා පුතාට කියනවා. පුතාගේ බිරිය අර අම්මාගේ ලේලි තාම කුස්සියේ සැමියාටත්, නැන්දම්මාටත් අවශ්‍ය දේවල් හදනවා.
“කෑගහන්න එපා අම්මේ..එයාට ඇහෙයි..මොකද වෙනදත් රොටී ඔහොම තමා..” පුතා වටපිට බලමින් කියන්නේ බිරියට ඇහෙයි කියලා. අම්මාගේ මූණ හරි නෑ ඒ වුණාට.
“ඔහොම බෑ දෙයක් හරියට කරන්න බැරිනම් මොකටද..කියන්න කියන්න වෙන එකක් හදන්න කියලා..”අම්මට ඕනෙ පුතා බිරියට අණ කරනවා බලන්න.
ඒත් පුතා කැමැති නෑ එහෙම කියන්න. අනික රොටිය ටිකක් තැන් තැන්වලින් කළුවෙනවා හදද්දි. ඒක පෙන්වන පුතා කියනවා වෙනදත් මම කාලා තියෙනවා අම්මා හදපු ඒවා. අනික අම්මේ, අම්මට අපේ තාත්තා එහෙම කියලා තියෙනවද. එහෙම කිව්වොත් අම්මට දුකක් හිතෙන්නේ නැද්ද කියලා පුතා අහනවා. ලේලි එනවා ඒ වෙලාවෙ.
“කියන්න කියන්න ..”අම්මා බලකරනවා.
“ඇයි අම්මෙ මොනවද ඕනේ..ඒයි ඔයාට මොනවද ඕනේ..?” බිරිය අහනවා.
“අද මට උණු වතුර ටිකක් දෙන්න මාලා..” සැමියා කියනවා.
“හරි මං ගේන්නම්.. ඔයාලට දැන් රොටී ඇති ද හොදි ඇති ද..”
“ඇති ඇති..” ඒ සැමියා. “හරි එහෙම නම් මම කුස්සිය අස්කරලා මගේ කෑම එකත් අරන් එන්නම්..” බිරිය යනවා.
“අම්මේ මාලා කොච්චර මහන්සි වෙනව ද.. උදේ නැඟිට්ට වෙලාවේ ඉඳන් අපි දෙන්නගෙ තේ එක.. උදේ කෑම එක.. දවල්ට දෙන කෑම එක.. අම්මගෙ බේත් ටික..ඊට පස්සේ කුස්සිය අස්කරන එක…, වළං පිඟන් හෝදන එක..ඊට පස්සේ රෙදි හෝදන්න ඕනේ, වේළන්න ඕනේ..ඒවා වේළෙදේදි ගෙට ගන්න ඕනේ..හදිස්සියේ වැස්සොත් කියලා ඒ ගැන හිතන්න ඕනේ..ඊට පස්සේ අම්මගෙ තේ එක, අම්මගෙයි මගෙයි රෑ කෑම..අම්මගෙ බේත්..බලන්න කොච්චර මහන්සි වෙනව ද කියලා..මම කොහොමද අම්මේ මේ එක රොටියක් හින්දා එයාට රිදවන්නේ. මට මේක කන්න පුළුවන්..’‘පුතා කියනවා.
“ඔන්න ඇති යාන්තම්…’මහන්සිය පෙන්වමින් කෑම එක මේසය උඩ තියමින් “අද කෑම කොහොමද ඒයි..” මාලා අහනවා.
“අද රසයි දුව.”අම්මා හිනාවේගෙන කියනවා. පුතා පුදුම වෙලා බැලුවේ අම්මා දිහා.
“අද මම වෙනස් විදිහට හොදි හැදුවෙ..” මාලා කිව්වේ හිතේ සතුට දෝරෙ ගලන්න අරිමින්.
පුතාට අම්මා ගැනත් සතුටුයි බිරිය ගැනත් සතුටුයි.
ඇත්තටම පුතේ මම මේ කියන්න ගියේ විශේෂයෙන් මවුපියන් සමඟ එකට ජීවත් වෙන පුතාලාට. මම දන්න බොහෝ අම්මලා බලන්නේ පුතාට ලේලි අතින් විශේෂයෙන් දේවල් වෙනවා දකින්න. ඒ අර මගේ පුතානෙ එයාට මං කළා වගේම ලේලිත් කරන්න ඕනේ කියලා හිතන හින්දා.
ඒත් පුතාලා දැනගන්න ඕනේ අම්මයි, බිරියයි දෙන්නම සතුටින් තියන්න වචන පාවිච්චි කරන්න. කරුණාවන්තකම තමයි පුතේ ඒකට ඕනේ. ඒ වගේ බිරියකට දක්වන ගරුත්වය. කේන්ති එන වෙලාවලුත් තියෙනවා ඒක පස්සෙ කියන්නම්.
උපාලි බණ්ඩාර වීරසේකර