“කහ කියන්නේ සමට ඉතාමත් ගුණදායක දෙයක් . අතීතයේ සිටි රජ කුමාරිකාවන් බහුලව කහ භාවිත කරලා තියෙනවා. තමන් ස්නානයට පෙර සම්පූර්ණ ශරීරයේම කහ ගල්වා පැයකට පමණ පසු ස්නානය සඳහා යොමු වී තිබෙනවා. ඒ වගේම කහ පානය කිරීමට ද යොමුවෙලා තියෙනවා.’’
කහ හෙවත් Turmeric ශ්‍රී ලාංකික අපිට ආගන්තුක දෙයක් නොවේ. වර්තමානයේ තරුණ තරුණියෝ වැඩි වශයෙන් සම පැහැපත් කිරීම සඳහා කහ භාවිත කරති. ඒ සඳහා ඔබ යොදා ගත යුත්තේ කුමන කහ ද? මේ ඒ පිළිබඳ වෛද්‍ය චමිලා නිශාදරී සමඟ සිදුකළ සාකච්ඡාවයි.
වෛද්‍යතුමියනි, කහ භාවිත කිරීම නිසා සමට ලැබෙන ප්‍රතිලාභ ගැන කතා කළොත්?
ඔව්. කහ කියන්නේ සමට ඉතාමත්ම හොඳ දෙයක්. තුවාල ලප කැළැල් ආදිය ඉවත් කරනවා. කහවල තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා අවු රශ්මිය හෝ වෙනත් හේතු නිසා අකලට මියගොස් ඇති සම ඉවත් කරනවා. කෙටියෙන්ම කීවොත් අපේ සම නීරෝගිමත්ව තබා ගැනීමට කහ කියන්නේ ඉතාම ගුණදායක දෙයක්.
සමට විතරක් නොවේ ශරීර සෞඛ්‍යයට ද කහ භාවිතය ප්‍රයෝජනවත් නේද?
ඔව්. මනුෂ්‍ය ශරීරයට ඉතාමත් ගුණදායක දෙයක්. කහ කියන්නේ ඉතා හොඳ විෂබීජ නාශකයක්. කහ භාවිත කිරීමෙන් අපගේ ශරීරය පිරිසුදු කර ගැනීමට හැකියාව ලැබෙනවා සේම නීරෝගි ශරීරයකට වැදගත් වෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා ඒ වගේම ආහාර රුචිය වර්ධනය කිරීමටත් කහ ඉතාමත් ගුණ දෙයක්.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව විවිධ රෝග සුව කිරීම සඳහා කහ භාවිත කරනවද?
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කහ ඉතාමත් ගුණදායක ඖෂධයක් ලෙස භාවිත කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් විවිධ ආසාත්මිකතාවලදී අමු පොල් කොළයක් රත් කරලා ඉන් නැඟෙන දුමට කහකුඩු දමා දුම් අැල්ලීම සිදු කරනවා. ඒ වගේම නොනවතින ඉක්කාව සඳහා වේළුණු කහ පුලුස්සා එය එකවරම නිවා දමා එහි දුම ආඝ්‍රාණය කිරීම මගින් සුව කරගන්න හැකියාව තියෙනවා. එමෙන්ම චර්ම පිළිකා ආදියට බාහිර ආලේපයක් ලෙස සහ කසාය සඳහා කහ කුඩු මිශ්‍ර කිරීම ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ කැපී පෙනෙනවා. වර්තමානයේ මිනිසුන්ගේ ආහාර පාලනයක් නොමැතිකම නිසා ස්ථූලතාව සහ අධිබර කියන්නේ බරපතළ ප්‍රශ්නයක්. මෙකී ස්ථූලතාවය සහ අධිබර පාලනය කිරීමට ද කහ වටිනා ඖෂධයක්.
අපේ රටේ තියෙන අනෙක් බරපතළ ප්‍රශ්නය තමයි දියවැඩියාව. වර්තමානයේ ලොකු කුඩා භේදයකින් තොරව හැමෝටම දියවැඩියා රෝගය තියෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ සිදුකරන කහ භාවිත ඖෂධ නිසා ඉතා සාර්ථක ලෙස දියවැඩියාව පාලනය කිරීමටද හැකියාව ලැබිලා තියෙනවා.
සමට ගැළපෙන ආකාරයට කහ භාවිත කරන්නේ කොහොමද?
බාහිර වශයෙන් කහ ආලේප කරනවිට කහ සමඟ මිශ්‍ර කරන අනෙකුත් ද්‍රව්‍ය පිළිබඳ ඉතාමත් සැලකිලිමත් වීම වැදගත්. ඒකට හේතුව තමයි මිනිසුන්ගේ හම එකිනෙකාට වෙනස්. ඒ නිසා සමට ගැළපෙන ආකාරයට අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. තෙල් සහිත සමක් තියෙන අයෙකුට යෝගට් සමග කහ මිශ්‍ර කිරීම සුදුසු වන්නේ නෑ. ඒ නිසා තෙල් සහිත සමට ගැළපෙන ආකාරයට මිශ්‍රණය සාදාගත යුතුය. කෝමාරිකා, නැවුම් කිරි, මීපැණි, අලිගැට පේර, රෝස වතුර ආදිය කහ සමඟ මිශ්‍ර කිරීම මඟින් සමට ආලේප කිරීමේ මිශ්‍රණ සාදා ගන්න පුළුවන්.
රූපලාවණ්‍ය කටයුතු සඳහා කහ භාවිතය අතීතයේ සිට පැමිණි ඔබ අපි අහලා තියෙනවා.
ඔව්. අතීතයේ සිටි රජ කුමාරිකාවන් බහුලව කහ භාවිත කරලා තියෙනවා. තමන් ස්නානයට පෙර සම්පූර්ණ ශරීරයේම කහ ගල්වා පැයකට පමණ පසු ස්නානය සඳහා යොමුවී තිබෙනවා. ඒ වගේම කහ පානය කිරීමට ද යොමුවෙලා තියෙනවා. වර්තමානයේ විතරක් නෙමෙයි අතීතයේ ඉඳන්ම මිනිස්සු කහවල ඇති ගුණ පිළිබඳ දැනගෙන ඉඳලා තියෙනවා කියලා ඒවායින් පෙනෙනවා.
වෛද්‍යතුමියනි, ස්වභාවික කහ සහ කෘත්‍රිම කහ අතර වෙනස හඳුනාගන්නේ කෙසේද?
අපි බොහෝ විට හිතන්නේ කහ ඉතාමත් දීප්තිමත් වර්ණයකින් තියෙන්න ඕනෙ කියලා. එතැන තමයි අපි වරද්දගන්න පළවෙනිම තැන. ඇත්ත වශයෙන්ම කහවල විශාල දීප්තියක් දක්නට ලැබෙන්නේ නෑ. නමුත් වර්තමානයේ මිනිස්සු පෙලඹෙන්නේ වෙළඳපොළට ගිහින් දීප්තියෙන් වැඩිම කහ මිලදී ගැනීමට. ඒ දීප්තිය ස්වභාවික කහවල තියෙන දීප්තිය නෙවෙයි. ඊයම්, විවිධ වර්ණක වැනි විෂ රසායනික මිශ්‍ර කිරීම හින්දා තමයි වෙළෙඳපොළේ කහවල දීප්තිය වැඩිවෙලා තියෙන්නේ.
ඒ වගේම වෙළඳපොළේ තියෙන කහ ගොඩක් මිල අධිකයි. මේ නිසා ප්‍රමාණාත්මකව වර්ධනය කරන්න විවිධ පිටි වර්ග, හුනු කුඩු ආදිය මිශ්‍ර කරනවා. එයින් තිබෙන ස්වභාවික ගතිය අඩුවෙනවා. ස්වභාවික කහවල ඇති ස්වභාවිකත්වය ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා, මේ කහ ලේසියෙන් අපට හඳුනා ගන්න පුළුවන්.
ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස කහ භාවිතය සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද ?
කහ භාවිත කිරීම අපට නිවෙසේදීම පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක්. නිවෙස්වල තියෙන බ්ලෙන්ඩර්, මික්ෂර් වගේ ඉලෙක්ට්‍රොනික උපකරණවලට දාලා සතියකට වරක් වගේ කහ සාදා ගන්න පුළුවන්. නිවෙස්වල ශීතකරණ භාවිත කරන හින්දා නරක්වීමකින් තොරව කහ පාවිච්චි කරන්නත් පුළුවන්. හැකි හැම වෙලාවකම තමන් විසින් සාදාගත් කහ පමණක් භාවිත කිරීමට වගබලා ගැනීම අවශ්‍ය වෙනවා. දීර්ඝ කාලීනව වෙළෙඳපොළෙන් ලබා ගන්නා කහ භාවිත කිරීම නිසා ශරීරයට විෂ වීමේ ප්‍රවණතාවය වැඩියි. ඒවායේ අඩංගු වර්ණක, විවිධ රසායනික ද්‍රව්‍ය, විවිධ අපද්‍රව්‍ය මෙයට හේතු විදිහට ගන්න පුළුවන්. තමාට නොහැකිම අවස්ථාවකදී හොඳ සන්නාමයක් යටතේ තියෙන නිෂ්පාදන පමණක් භාවිත කරන්න කියලා ඉල්ලා සිටිනවා. කහ මඟින් කප සහ වාත සමනය කරනවා. පිත්තාශ ගල් වගේ රෝගී තත්ත්වයන් තියෙන පුද්ගලයන්ට අභ්‍යන්තරික ලෙස භාවිත කිරීම සුදුසු වන්නේ නැහැ.
වර්තමානයේ වතුර සමඟ මිශ්‍ර කර බීමට තරුණ තරුණියන් තුළ රැල්ලක් ආකාරයට දැකගත හැකි වෙනවා. එසේ භාවිත කරන තරුණ තරුණියන් හට වෛද්‍යවරියක ලෙස ඔබ ලබාදෙන උපදෙස් මොනවාද?
ඔව්. ඇත්ත වශයෙන්ම වර්තමානයේ කහ භාවිතය ට්‍රෙන්ඩ් එකක් බවට පත්වෙලා තියෙනවා. පළමුවෙන්ම කළ යුතු දේ වන්නේ දීප්තිමත් කහවලට රැවටෙන්නට යන්න එපා. නිවෙසේ කුඩු කරන ලද කහ පමණක්ම බීමට වග බලා ගැනීම ඉතාමත් යහපත්. වෙළෙඳපොළේ විවිධ සන්නාම යටතේ ඇති කෘත්‍රිම කහ වර්ග භාවිත කිරීම තුළින් විවිධ අහිතකර බලපෑම් ඇතිවීමට තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ස්වභාවික කහ හෝ කාබනික සහතිකයක් සහිත කහ පමණක් ලබාගන්න.
උපදෙස්:
ප්‍රධාන වෛද්‍ය නිලධාරී
චමිලා නිශාදරී
ආයු ලංකා අායුර්වේද රෝහල
BAMS (Hons) University of Colombo