Tuesday, September 2, 2025
Epaper
Home කවි හිමිදිරියහිමිදිරිය

හිමිදිරිය

by Thanushika

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට යොමු කරන්න.

අද හිමිදිරියට කවි තෝරන ඔහු ජයන්ත කහටපිටිය

දීර්ඝ කාලයක් පුරාවට පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙසින් මෙන්ම සාහිත්‍ය හා සිනමා විචාරකයකු වශයෙන් ද කටයුතු කරන හෙතෙම දක්ෂ කවියෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ ‘විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය”යි.
දෙවැන්න ‘ශේෂ වන සේ සිනහව මකා දැමිය හැකිද රේඛාව”. ඊට අමතරව යොවුන් සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය කෘති ගණනාවක් ද රචනා කර ඇති ජයන්ත මහතාගේ නවතම යොවුන් නවකතාව “සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්” කෘතියයි.

හොඳම කවිය

කවක් උපදින හැටි

සඳ ළැමැද සිදුරු වී
උල්පත් පිරී යයි දෝරෙ ගලා
කොඳ කැකුළු පෙති විදයි තිගැස්සී
මඳ පවන සිසිලදී හමන විට
පිළිබඳ මතකයන් අවදිවේ…

රැහැයියෙක් හඬන විට
හද රැහැන් තත් බිඳ
නිහඬ බව බිඳී ගොස්
මතකයේ අඳුරු වීදියක
කණමැදිරි පහනක් දැල්වේ

රෑ කුරුල්ලෙක් ගයන තනුවකට
ඔබෙ තොල් ළිහී ගිළිහුණු වදනක්
ගීයකට පෙරළේ
මතකයක් මුසුවේ
දුර ඈත බව දැනී
තනිකමක් ඉපදේ

සඳ රැස් හෙවණැලි අඳිද්දී
වවුල් රංචුවක් මෙන් ඇවිස්සී
සිතිවිලි තටු ගසයි
පබළු සේ ජීවිත මාලයට
පද බැඳී ඔබ ගැන කවියක් ලියවේ

ශ්‍යාමලී දඹදෙනිය

ශ්‍යාමලීගෙ “කවක් උපදින හැටි” නම් මේ කාව්‍ය නිර්මාණය කවිය යනු සෞන්දර්ය වස්තුවක් කියන අදහස කුළුගන්වන්නක්.

මේ තේමාවට කවි දහස් ගණනක් ලියවී ඇති බවට සැකයක් නෑ. මේ කිවිඳිය පවසන්නෙ තවත් කවි දහස් ගණනක් නිර්මාණය කරන්න තරම් ප්‍රේමය නිසා අප තුළ ඇතිවන විවිධ මනෝභාවයන් පොහොසත් බවයි. කවිය තුළින් ඇය, ප්‍රේමයෙන් උපදින තනිකම විඳීමට, අප අපූරු භාවමය තටාකයක් වෙත කැඳවා යයි.

“සඳ ළැමැද සිදුරු වී
උල්පත් පිරී යයි දෝරෙ ගලා” වාගෙ නව්‍යතාවයකින් යුතු රූපකාර්ථ බහුල භාෂාවක් ඇය සතු බව පෙනේ. නව තේමා ඔස්සේ තවත් අපූරු කාව්‍ය නිර්මාණ කරන්න ඇයට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


සකුරා මල් සුවඳ

අතීතයේ ගිනිදළු මැද
කෙතරම් රිදුණද ඔබෙ හද
නීරස ජීවන කතරේ
නොසැලී ඔබ පිය නැගූ සැටි…

ආත්මීය ශක්තිය මත
ඔබ හෙළි කළ ඒ මංපෙත
සිහිනෙන් ගෑ සුවඳක් නොව
මළවුන්ගේ අවුරුදු දා…
මළවුන් අතරින් නොමියෙන
නොරිකෝ සං…මගෙ සකිසඳ
හැමදාමත් හදවත තුළ
සකුරා මල් සුවඳක්මය

පී.එල්. ජානක විශ්වජිත්
රත්ගම


තවම ඔබ මනමේ කුමාරිය

කුමරිය
ඔබ
‘මනමේ කුමරිය‘
එතෙක්
මෙතුවක්
දනන් තුඩඟෙහි
රැඳුනයුරු
‘මනමේ කුමරුන් – කුමරිය‘

නොකිව් – නොකියන
නොලිවු – නොලියන
කිසිවකුදු
කිසිදින
‘වැදි රජෙකු රැජනක‘

ඔබ සමඟ එන කල
දිනා ආවෙමි
මහා විජිතය මා සතු
ප්‍රේමයෙන් මනරංජිත
කවුරුන්ද බිඳ හලෝ
සුබැඳි එක් සිත
දෙසිත් කොට

කෙලෙසින් ද නැඟුණේ
මේ දුර
දෙසිතක

හෙළා කගපත
ගෙල මත
දිවි තොරවන්ට පෙරම
මටම මා අහිමිව

චමින්ද රොෂාන්


අම්මා

වෙහෙස නිවන
පවන ඔබයි
පවස නිවන
සිලිල ඔබයි

සවන පිනන
වැයුම ඔබයි

නයන පිනන
දසුන ඔබයි
ලොව සියලුම
දේට වඩා
අම්මා මට
ලොවක් වටියි

කේ.ඩබ්ලිව්. සිරිසේන
මාලබේ


ආරාධිත කවිය

ස්ත්‍රී දම්ම සාරථී ?

අත් පා වීසි කරමින්
හින්දි සිනමා චණ්ඩියකු බඳු
කිසිවෙකුත් නොතකනා විලසින්
ආ ගමනටයි ප්‍රථමයෙන්
මගේ සිත බැඳුණේ සොඳුර….

ඉතා සන්සුන් ඉරියව්
පොළොවටත් නොදැනෙනා සක්මන්
බොහෝ ප්‍රිය මා සිත තුළ
මේ කුමන වෙනසක් ද ඔබ කළ?

ලෙස පැනයකට පිළිතුරු
එල්ල කරනා තියුණු පිහි තුඩු
වෙතින් ගැළවී සිනාසීම ද
මා හදේ ආශාව විසිතුරු?

කිිසිම කිසි ගැළපුමක් නොතිබුණු
අපේ එක්වීමෙන් පුදුම වුණු
නෑ සියන් මිතුරන් නොඅසනා
පැනයකිය නිති මසිත මතුවුණු

” පරාජය කර හැඟුම් නොදැමුණු
ඔබව දමනය කර දැමිය යුතු…”
යටි සිතෙහි යට තිබූ අදහස
මා මෙහෙය වන්නේ ද නිරතුරු?

වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි


ඔබ පැමිණෙන තුරා

පාලම්පාරු ඈතට මෑතට යන්නේ
දෑතේ වාරු දරනා සිත හිනැහෙන්නේ
සඳ දිය වැටී ගඟ දියරැලි බබළන්නේ
කවදද නැවත ඔබ ගම්දොර වෙත එන්නේ

බැද්දේ දෙනියෙ පිපි වනමල් සුවඳ ලබා
එක පෙම් සිහිනයක් ඉඟි බිඟි කරයි නුරා
සහසක් පැතුම් තුනු සිරසේ මත්තෙ දරා
ඔබ එනතුරු මඟ බලනෙමි දෑස අයා

මාපිය උදහසේ තේජස ඉවත හෙළා
බැල්මේ මඳහසේ මා සිත නතර වෙලා
ආදර ගීතයේ මිහිරට ලෝල වෙලා
සුමඟුල් නැකතෙ උරුමය හද පුබුදු කළා

විඳිමින් සුවඳ මල් වදුලේ තුරු අතරේ
අසමින් ගැයූ බඹරිඳුනගෙ ගී පොකුරේ
ලැබුමට සෙනෙහෙ ඔබේ පිවිතුරු හද අඹරේ
ඔබ එනතුරු මඟ බලනෙමි මා මිහිරේ

මනෝන්දිකා විජේගුණවර්ධන
පානදුර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?