නන්නාඳුනන සිත් දෙකක්, ශරීරවල් දෙකක්, චරිත දෙකක් සැරයටියෙන් යනෙන තුරා නැතිනම් අවසන් හුස්ම තෙක් එකමුතුව ජීවත් කරවීමට නීත්‍යනුකූලව සිදුකරන බන්ධනය විවාහයයි. සරලව කියනවානම් කසාදය නම් වේ.
දෙදෙනාගේ අදහස් උදහස්වල ගැළපීම, නොගැළපීම මත එම බන්ධනය වින බන්ධනයක් විය හැකිය. අපායක් හෝ සුරලොවක් විය හැකිය.
“ඉස්සරනම් අනේ එයා එහෙම නැහැ. මාව නැතිවම බැහැ. දැන් තමයි බේබද්දෙක් වගේ බීගෙන රණ්ඩු කරන්නේ” බැඳලා ටික කාලෙකින් ගැහැනු කියන කතා. විවාහ ජීවිතය දෙදරා යෑමෙන් වැඩිපුරම බලපෑමට ලක්වන්නේ ස්ත්රීන්ය. ඒ නිසාමයි තරුණී අප කාන්තා පත්තරයක වගකීම පෙරදැරි කරගෙන මේ ලිපිය ඔබට ඉදිරිපත් කරන්නට සිතුවේ. කාන්තාවකගේ පළමු විවාහය අසාර්ථක වුවහොත් ජීවිතය යම් තරමකට හෝ අසාර්ථක විය හැකියි. තරුණියක හෝ තරුණයකු විවාහ වන්නේ මැරෙනකම් එකට ජීවත් වීමටය. එසේ හමුවන විවාහ ජීවිත අතළොස්සකි. එබැවින් විවාහයකට පෙර ඉතාමත් කල්පනාකාරී විය යුතුය.
විවාහයකට අදහස් විතරක් ගැළපුණාට මදි. ශාස්ත්‍රානුකූලව විවාහ අපේක්ෂිතයන්ගේ ජන්ම කේන්දර දෙක ද ගැළපිය යුතුය. ඒ නිසයි ඍෂිවරුන් විසින් පොරොන්දම් බැලීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ. එයින් විසි පොරොන්දමට ජ්‍යෝතිෂ ශාස්ත්රයේ හිමි වන්නේ අද්විතීය තැනකි. දත්, ඇහි බැම, නළල් තලය, බෙල්ල, උදරය, කම්මුල, දෙපා, හස්ත රේඛා, රෝම, නියපොතු, ලිංගික අවයව ආදියෙන් සුබ අසුබ ලක්ෂණ ගැළපීමේ දේහ ලක්ෂණ ශාස්ත්‍රයන්ද අනාදිමත් කාලයක සිට පැවතෙන්නෙකි. පැරණි ශාස්ත්‍ර ගරු නොකරන බටහිර රටවල දික්කසාද බහුල වශයෙන් සිදුවේ. මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සුරූපී ඩයනා දික්කසාද කර කැමිලාව විවාහ කර ගැනීම ලොව ප්‍රකට වෙන්වීමකි. අපරදිග රටවල දික්කසාදය සාමාන්‍යකරණය වී ඇත. ඉන්දියාව, ලංකාව වැනි පෙරදිග රාජ්‍යයන්හි දික්කසාද වන්නේ කලාතුරකිනි. නමුත් වර්තමානයේදී එම තත්ත්වය සීග්‍රයෙන් වෙනස්වී ඇත.
එය එසේ නොවන්නට වගබලා ගැනීමයි කළ යුතු නුවණැතිම දේ.
විවාහය සඳහා කුල කතක් තෝරාගන්නා අන්දම සුභාෂිත රත්නයේ මෙසේ විස්තර වේ. එම කන්‍යාව සහකරුගේ කුලයට සමවිය යුතුය. විවාහ අපේක්ෂිත යුවතියගේ මවුපියන් ජීවමානව සිටිය යුතුය. එම කන්‍යාව පුරුෂයාට වඩා වසර තුනක්වත් වයසින් බාල විය යුතුය. සදාචාරවත් පවුල් පසුබිමක ස්ත්‍රියක් විය යුතුය. යහපත් කුල ඇත්තියක විය යුතුය. ඥාති සමූහයක් සිටිය යුතුය. රූපශ්‍රීයෙන්, ගුණයහපත්කමින් අනූන විය යුතුය. දත්, නිය, කන්පෙති, ඇස්, හිසකේ, පියයුරු නොඅඩුව නොවැඩි ලෙස මනාව පිහිටා තැනැත්තියක විය යුතුය. ලෙඩ රෝග අඩු, නීරෝගි ශරීරයක් ඇති කතක් විය යුතුය. ප්‍රමාණවත් අධ්‍යාපනයක්, උගත්කමක් ලබා තිබිය යුතුය. මෙකී කරුණු කාරණා සපුරන ලද යුවතියන් අද කාලයේ සොයා ගැනීම කිසාගෝතමිය නොමඟ ගෙයකින් අබ අහුරක් සෙව්වා සේය. එබැවින් බුද්ධිමත්ව, දූරදර්ශීව විවාහ සහකරු, සහකාරිය සොයා ගැනීම කළ යුතුය.
විසි පොරොන්දම මෙසේය
1. නක්ෂත්ර පොරොන්දම
2. ගණ පොරොන්දම
3. මහේන්ද්‍ර පොරොන්දම
4. ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
5. යෝනි පොරොන්දම
6. රාශි පොරොන්දම
7. රාශ්‍යාධිපති පොරොන්දම
8. වශ්‍ය පොරොන්දම
9. රජ්ජු පොරොන්දම
10. වේධ පොරොන්දම
11. වෘක්ෂ පොරොන්දම
12. ආයු පොරොන්දම
13. පක්ෂි පොරොන්දම
14. භුත පොරොන්දම
15. ගෝත්‍ර පොරොන්දම
16. වර්ණ පොරොන්දම
17. ලිංග පොරොන්දම
18. නාඩි පොරොන්දම
19. දින පොරොන්දම
20. ග්‍රහ පොරොන්දම
විවාහයකට එළඹෙන මනාලියගේ සහ මනාලයාගේ හඳහන් අතර ගැළපීම නිශ්චය කිරීමේ ක්‍රියාදාම කිහිපයක්ම තිබේ. මෙම සසඳා බැලීම සිදුකරනුයේ දෙදෙනාගේම අදහස් උදහස් සමඟ ඔවුන්ගේ ශාරීරික හා මානසික තත්ත්වයන් එකම ආකාරයේ ද, ලිංගික ජීවිතය ගැළපේ ද සහ එක් අයෙක් අනෙකාගේ වාසනාවට හිතකර වේද? නැද්ද? ආදී වශයෙන් තීරණ ගැනීම සඳහාය.
මෙහිදී
01.ස්ත්රීයගේත් පුරුෂයාගේත් කේන්දර දෙකෙහි අන්‍යෝන්‍ය වශයෙන් රාශීන් පිහිටීම
02. පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ කේන්දර දෙකෙහි රාශි අධිපතීන්ගේ අන්‍යෝන්‍ය සබඳතාව
03. දෙදෙනාගේම ලග්නාධිපතීන්ගේ අන්‍යෝන්‍ය සබඳතාව
04. පුරුෂයාගේ හා ස්ත්‍රියගේ ‘ඝණ’ අතර සබඳතාවන්
05. දෙදෙනාගේ ලිංගේන්ද්‍රයන් ගැළපීම
06. දෙදෙනා අතර අන්‍යෝන්‍ය වශයෙන් නම්‍යශීලී බව
කොහොම නමුත් පොරොන්දම් යන වචනය ඇසෙන විටම අපට සිහිවෙන්නේ විවාහයයි. ඒ පොරොන්දම් ශාස්ත්‍රයෙන් ඉටු කරගන්නා එක් ප්‍රධාන කටයුත්තක් නිසයි.
මේ කාරණාවේදී යම් අයකුට උපන් වේලාව සොයා ගැනීමට අපහසු නම් එම අයට තත්කාල කේන්දරය සාදා ගැනීමට ජ්‍යෝතිෂයෙන් ප්‍රයෝජන ගත හැකියි.
තවද විවාහ අපේක්ෂිත දෙදෙනාගේ කේන්දරවල ජන්ම ලග්නයෙන්, සඳුගෙන් හා සිකුරු ග්‍රහයාගෙන් හත, අට, දෙක යන කේන්ද්රස්ථානයන්ගේ පාප ග්‍රහයන්ගේ පීඩිත බව පදනම් කර ගනිමින් ගුණෙදාස් සෙවීම ග්‍රහ පොරොන්දම නම් වේ.
විවාහය නම් ජීවිතයේ නැවත ඉපදීමකි. එකී විවාහ ජීවිතය අර්ථවත්ව ගෙන යෑම සඳහා තම තමන්ගේ අදහස්, උදහස්, සිතැඟියාවන් මෙන්ම ශාස්ත්‍රානුකූල ක්‍රමවේදයන් ද අනුගමනය කරන්නේ නම් ඉතාමත් යහපත් වේ.
ඔබටත් යම්කිසි ජ්‍යෝතිෂය ගැටලුවක් ඇත්නම් තරුණී අපට ලියා එවන්න.
උපදෙස්:- ජ්‍යොතිෂවේදි
පී. සිරිධම්ම ස්වාමීන් වහන්සේ
(ඉසුරු ජෝතිෂ සේවාව, දෙහිවල)
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර