මෙතෙක් කතාව
නිගූ නේත්‍ර ද සිල්වා වෙළෙඳ ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙක් සේම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ද වෙයි. තම සරසවි පෙම්වතිය වන කාංචනා විවාහ කරගෙන සාරා නම් කුඩා දියණිය ද ලබා සිටින ඔහුගේ දිවි ගමන අනපේක්ෂිත කුණාටුවකට මුහුණ දෙයි. කාංචනා වෙනත් සම්බන්ධයක පැටලී සිටින බව දැනගන්නා නිගූ තමා වෙත ළං වූ පැරණි සිසුවියක වන අසෙනි සමඟ පෙමින් බැඳෙයි. කාංචනා නිගූව ප්‍රතික්ෂේප කිරීමට හේතුව වන්නේ ඔහු අම්මාගේ ග්‍රහණය තුළ තවමත් සිර වී සිටීම බව කාංචනා හඟවයි. ඒ අතර තමාගේ සිත ආපසු නිගූ වෙත පැමිණෙන තුරු ඉවසා සිටින ලෙස කාංචනා පවසයි. එහෙත් නිගූ මේ දෙගිඩියාවේ ජීවත්වන්නට අකමැති වෙයි. ඔහු අසෙනිගෙන් පතන්නේ යළිත් අම්මා කෙනෙකුගේ බඳු ආදරයකි. නිගූ තමා මුහුණ දී සිටින අවුල සමීප මිතුරකු වන සාලින්ද සමඟ පවසයි. කාංචනා දැන් නිගූව නොසලකා සිටින බැවින් නිගූව තේරුම් ගෙන ආදරය කරන කෙනකුගේ ආදරය ලබමින් ජීවත් වන්නැයි සාලින්ද පවසයි. මේ අතර තම වේදනාකාරී විවාහ දිවියේ රිදවුම්වලින් මඟ හැර සිටින්නට ඔහු මාලබේ ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගනියි. සාරාගේ උපන් දිනය දා අම්මා සමඟ නිවෙසට පැමිණ උපන් දින සාදයේ මිතුරන් අතර සිටින නිගූට, කාංචනා විසින් සාරදා නම් යුවතියක් හඳුන්වා දෙයි. සාරදා නිගූගේ කලාත්මක ජීවිතය කෙරෙහි දැඩිව ආසක්තව සිටින යුවතියකි.
අද එතැන් සිට…
සාදය හමාරව සියල්ලන් නික්ම ගිය පසු කාංචනා අස්පස් කිරීම අරඹයි. නිගූ ඉස්තෝප්පුවේ ස්ටූල් මත වූ වීදුරු සහ දීසි ගෙනැවිත් සින්ක් එකට ගොඩ ගසයි. ඈ ඒ වනවිටත් පිඟන් සියල්ල සෝදා අවසන් කර තිබෙයි. හිස් බෝතල් කිහිපයක් රැගෙන ගොස් කුස්සියේ මුල්ලක තබන විට කාංචනා නිගූ සමඟ කතා කරන්නට සැරසෙයි.
” සාරදා ඔයාට හරි කැමැතියි වගේ නේද? එයා හොඳ කෙල්ල. කැලණියෙ ආර්ට්ස් ඩිග්‍රියක් තියෙන්නෙ.. පොත් එහෙම කියවනවා හරියට.”
සැලසුම් අංශයේ සාරදා යනුවෙන් හඳුන්වා දුන් යුවතිය සාදය මැද නිගූ සමඟ දොඩමළු වන්නට උත්සාහ කළ අයුරු සිහිවෙයි. ඒ මොහොතේදී ඈ අලුතින්ම තිරගත වන චිත්‍රපට කිහිපයක් පිළිබඳ නිගූ සමඟ කතා කරන්නට සැරසෙයි. ඇතැම් චිත්‍රපටියක් තමා නරඹා ඇති වෙනත් චිත්‍රපටියක් සමඟ ඇති සමාන අසමානතා සංසන්දනය කරමින් කතා කරන විට ඈ නම් හරිම පණ්ඩිත එකියකැයි ඔහුට සිතෙයි.
“අපි පස්සෙ ඒ ගැන දිගට කතා කරමු” යි කියා නිගූ ඇගෙන් බැහැර වන්නේ තමාද ඈ කතා කළ විෂයයට කැමැති බැවිනි. ඈ කතා කරන විට ඇගේ ඇස් දිලිසෙයි. ඈ කතා කරන තාලයට සවන’ග පැලඳි ජුම්කා යුගලය ලඹ දෙයි. ඇතැම් කාන්තාවන් කලාව, දේශපාලනය ආදී හරබර මාතෘකා කතා කරන විට ඔවුන්ගේ ලලනායනය මැකී යනු නිගූ දැක තිබෙයි. එහෙත් සාරදා තම චාරු ලලනායනයද මැකී යන්නට නොදෙමින් හරබර දේ ගැන කතා කරන්නට පුළුවන් යුවතියකැයි නිගූට සිතෙයි.
සාරදා ගැන තමා සිතූ දේ නිගූ කාංචනාට නොපවසයි. එහෙත් කිසිම ඊර්ෂ්‍යාවක් නැතිව කාංචනා වෙනත් ගැහැනියකගේ හොඳ කියන්නේ කලාතුරකිනි. ආදරය කරන්නට පටන් ගත් මුල් කාලයේ වෙනත් යෙහෙළියකගේ හෝ බැචියකගේ හොඳ ගතිගුණයක්, රූ සපුවෙහි විශේෂතාවක් සඳහන් කළහොත් එබඳු කතාබහක් කෙළවර වන්නේ නිගූ ඔවුන්ටම පාවා දී, “යන එකනෙ ඇත්තෙ ඒකිත් එක්කම” යනුවෙන් ද පවසමිනි. එබැවින් කාංචනා තුළ සිදු වී ඇති මේ හදිසි වෙනස නිගූට තේරුම් ගැනීමට අපහසුයි. එබැවින් එබඳු කතාබහක් කොයි අතට පෙරළේදැයි නොදන්නා බැවින් ඔහු කරබා ගනියි.
සාරා තම ආත්තම්මාට තුරුලුව සුවසේ නිදයි. නින්ද යන්නට පෙර ඈ නිසැකවම ආත්තම්මාගෙන් කතන්දරයක් අසයි. දැන් මිත්තණියට ද දියණියට ද නින්ද ගොස් තිබෙයි. නිගූ සාලයට පැමිණ සෝෆාව මත ඇල වෙයි. පැයකට පමණ පෙර තිබුණු ඝෝෂාව සන්සිඳි නිහඬතාවෙහි නිෙවසම ගිලී තිබෙයි. නිගූට පාළුවක් දැනෙයි. වෙනදා නිෙවසෙහි පවත්වන මෙවැනි සාදයක දී නිගූ හොඳටම වෙරි වෙයි. අද එසේ නොවූයේ මන්දැයි කාංචනා සිතයි. නිගූ එසේ වෙරි වන්නේ ඔහුගේ සිත සංතෝෂයෙන් සහ සැහැල්ලුවෙන් පිරී තිබෙන විෙටක බව කාංචනා හොඳින් දනියි. එවැනි දිනවල නිගූ සින්දු කියමින් විකාර නටයි. හිතේ එබඳු සැනසිල්ලක් නැති විෙටක කොතෙක් බිව්වද නිගූ වෙරි නොවෙයි. අවසන් වන්නේ කල්පනාව නැති වී තම සිරුරම ඔහුට අවසඟ වීමෙනි. කාංචනාට වුවමනා වූයේ මේ සාදයේදී ඔහු සතුටින්දැයි බැලීමටයි. සාරදා ඔහුට සමීප කරවීමෙන් ද ඈ උත්සාහ කළේ ඒ බව දැන ගැනීමටයි.
සාරදා අවිවාහකයි. ඈ සරසවි පෙම් බැඳුමකින් විඩාපත්ව දැන් තනිකඩව සිටියි. පොත් කියවමින්, කවි ලියමින්, චිත්‍රපටි බලමින් ඈ කාලය ගෙවයි. සාදය හමාර වී ආපසු යන්නට සැරසී නිගූව හග් කරමින් ඈ කියා සිටි දේ ඔහුගේ මතකයට පිවිසෙයි.
“ගොඩක් දවස් මං ඔයාට රික්වෙස්ට් කරලා.. ඒත් තාම ඔයා බලලාවත් නැද්ද කොහෙද? මං ඔයාගේ ඒවා බලන්නෙ යාළුවන්ගේ ඒවයින්.. මොකද්ද අනේ දැන්වත් ඕක ඇක්සෙප්ට් කරන්නකො.”
ඒ මොහොතේ සිනහවකින් පමණක් ඇගේ සීතල චෝදනාව භාරගත් නිගූ ඇගේ ෆේස්බුක් ප්‍රොෆයිලය සොයාගෙන ඇයව රෙස්පොන්ඩ් කරයි. ඇගේ වෝලය මත ඈ ලියා ඇති දේ විපරම් කරයි. සාරදා සරච්චන්ද්‍ර නමින් ඈ ලියා ඇති කවි කියවා බලන ඔහුට හැඟී යන්නේ නිසඟ කවි ශක්තියක් ද ඇයට ඇති බවයි.
“දැන්
ඉස්සර වගේ
කවි ලියන්නැද්දැයි
ඔබ අසයි.
ලියන හැම කවියකම
විගස ඔබ අවුදින්
වැතිර ගන්නා විට
කවි ලියන්නේ
කොතැන ද?”
කාංචනා මතුමහලට නැඟෙනු සෝෆාවේ වැතිර සිටින නිගූට දැනෙයි. ඔහු ජංගමයෙන් ඇස නොමුදයි. සාරදා ගැන පැවසූ දෙයට ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමෙන් පසු ඈ කරබා ගනියි. ඈ තමා වෙත පැමිණ “නිදන්නට යමු” යි පවසා කැඳවාගෙන යනු ඇතැයි යන සිතුවිල්ල දැන් නිගූ තුළ ජනිත නොවෙයි. එහෙත් අඩුම තරමේ “ඔයා කොහෙද නිදාගන්නෙ?” යනුවෙන් හෝ ඇසුවා නම් සනීපයි. එහෙත් එබන්දක් ඇසීමට තරම්වත් කාංචනා තුළ නිගූ කෙරෙහි ළෙන්ගතුකමක් ඉතිරි වී නැත. නිගූට දුක හිතෙයි. ආත්මානුකම්පාවක් හැඟෙයි. අසෙනිට කතා කළ යුතු යැයි සිතෙයි. එහෙත් මේ තරම් රෑ බෝවී තමා කතා කරන්නේ කා සමඟ දැයි කාංචනා සැක සිතනු ඇත. අම්මාත්, සාරාත් නිදා සිටින ඇඳේ පසෙකින් නිදා ගත යුතු යැයි සිතෙයි.
තවත් කොටසකින් හමුවෙමු