පසුගිය දිනක අන්තර්ජාලය පුරා එහා මෙහා වූ වීඩියෝවක් දැකීමෙන් මසිත සලිත විය. ඒ, ජනප්‍රිය නිළියක පඩිපෙළකින් පෙරළී විසි වී ගොස් බිමට පතිත වන ආකාරයයි. මගේ මතකය නිවැරදි නම් ඇය ඒ මොහොතේ අත්වාරුවක් නොමැති පියගැටපෙෙළහි පඩි බසිමින් සිටියේ ජංගම දුරකතනය දෙස බලමිනි.
අත්වාරුවක් නැති ඒ පඩිපෙළ කෙතරම් අනාරක්ෂිත ද? එවැනි පඩිපෙළක පඩි බැසීමේදී කෙතරම් පියවි සිහියෙන්, පරිස්සමින් හා විමසිල්ලෙන් එහි නිරත විය යුතුද? එහෙත් සිදුවූයේ කුමක්ද? තැනක් නොතැනක් නැතිව ජංගම දුරකතනය පාවිච්චි කිරීම වර්තමාන පරපුරේ නරකම පුරුද්දකි. මේ අනතුරට පමණක් නොව, වර්තමානයේ බොහෝ අනතුරුවලට අනාරක්ෂිත ලෙස ජංගම දුරකතන භාවිතය ප්‍රධාන හේතුවක් වී තිබේ.
තැනක් නොතැනක්.. වෙලාවක් අවේලාවක් නොමැතිව ජංගම දුරකතනයට ඇබ්බැහි වීම නිසා තරුණ, මහලු, වැඩිහිටි පමණක් නොව කුඩා දරුවන් පවා බොහෝ අකරතැබ්බවලට මුහුණ දෙනු අප කොතෙකුත් දැක අසා ඇත. කොතරම් මාධ්‍යවලින් මේ පිළිබඳව දැනුම්වත් කළ ද, සමාජය පාඩමක් ඉගෙන ගන්නා හැටියක් නම් දකින්නට නැත.
ජංගම දුරකතනය පාවිච්චියේ ඇති වරප්‍රසාද බොහෝය. ලොව ඕනෑම තැනක සිදුවූ දෙයක් සැණින්, එසැණින් දැක බලා ගැනීමේ හැකියාව, එනම් තොරතුරු සංසරණය මෙහි ඇති ලොකුම වාසියයි. ජංගම දුරකතනය ලොව එහා කොනේ සිට මෙහා කොන දක්වා සියලු දෙනා එක මිටට බැඳ තබන හුයයි. එහෙත් අද එය බොහෝ දෙනා පාවිච්චි කරන්නේ වඳුරාට දැළි පිහිය ලැබුණු විට හැසිරෙන ආකාරයෙනි. වරද ඇත්තේ ජංගම දුරකතනයෙහි නොව පාවිච්චි කරන අපේය. ජංගම දුරකතනයෙන් ගත හැකි අනේකවිධ ප්‍රයෝජන පසෙක තබා අප ඊට ඇබ්බැහි වීම මෙහි ඇති භයානක තත්ත්වයයි. විවේක මොහොතක ජංගම දුරකතනයෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කිරීම වරදක් ලෙසින් මේ ඔස්සේ කිසිසේත් පැවසීමට අපි අදහස් නොකරමු. එහෙත් ඊට ඕනෑවට වඩා ඇබ්බැහි වීම කරදර රාශියකට අත වැනීමකි.
ඉගෙන ගන්නා දරුවන් සිටින මවුපියන්ට මේ ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. අතදරුවන් පවා අද මේ උවදුරට ගොදුරු වී තිබීම ඛේදවාචකයකි. ජංගම දුරකතනයට ඔබ වහල් වෙනවා වෙනුවට එය ඔබේ වහලකු කරගත හැකිනම් ඔබ ජය ගනු නියතය. එසේ නොවුණහොත් තමන්ට තමන්ව ද අහිමි වන දිනය එතරම් ඈතක නොවනු ඇත.