ලොව්තුරා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේට, මහ රහතන් වහන්සේළා ඇතුළු මහා සංඝරත්නයට විකාලයේ පූජා කළ හැකි පාන වර්ග අටක් පිළිබඳ විනයෙහි සඳහන් වී තිබේ. ඒ ඖෂධ වර්ගවලට අමතරවය.
එම පාන වර්ග අට මෙසේය.
1. අම්බපානය – අඹවලින් සාදාගන්නා පානය
2. ජම්බුපානය – ජම්බු ගෙඩිවලින් සාදාගන්නා පානය
3. චෝචපානය – ඇටි කෙසෙල්වලින් සාදාගන්නා පානය
4. මෝචපානය – වෙනත් කෙසෙල් වර්ගයකින් සාදාගන්නා පානය
5. මධුපානය – අමු මිදිවලින් සාදාගන්නා පානය
6. මුද්දිකපානය – වියළි මිදිවලින් සාදාගන්නා පානය
7. සාලුකපානය – ඕලු ගෙඩිවලින් සාදාගන්නා පානය
8. ඵාරුසකපානය – උගුරැස්ස ගෙඩිවලින් සාදාගන්නා පානය
යනු ඒ පාන වර්ග අටයි.
මීට අමතරව විනයෙහි සඳහන් පරිදි මහා පලතුරුවලින් සැකසූ පානයන් හැර කුඩා පලතුරුවලින් සැකසූ පානයන් විකාලයේ පූජා කිරීම සහ වැළඳීම කැපය.
මෙහි මහා පලතුරු නම් කොස් (වරකා), ගස්ලබු වැනි පලතුරු වර්ගයි.
කුඩා පලතුරු නම් නෙල්ලි, දොඩං, නාරං වැනි පලතුරුයි.
අෂ්ටපාන වර්ගවලින් කුමක් හෝ සම්බුද්ධ පූජාව සඳහා සැකසීමේදී සැලකිලිමත් වියයුතු ප්‍රධානම කරුණ නම් එය ඉතාමත් පිරිසුදුව පිළියෙළ කිරීමයි. උදාහරණයක් ලෙස අඹවලින් සකස් කරනා අම්බපානය ගතහොත් ප්‍රථමයෙන්ම එම අඹ ගෙඩි හොඳින් සෝදා, පොතු ඉවත් කරගත යුතුයි. ඉන්පසු කුඩා කැබලිවලට කපා පලතුරු යුෂ සැකසිය යුතුයි. ඇඹරූ හෝ පොඩිකළ පලතුරු යුෂවල තවදුරටත් කැබලි තිබේදැයි පරීක්ෂා කොට බැලීමට මැනවින් පෙරා ගත යුතුය.
කැබලි සහිත වූ පානයක් භාග්‍යවතුන් වහන්සේට හෝ සංඝරත්නයට පූජා කිරීම විනයානුකූල නොවන්නකි. එබැවින් ඉතා හොඳින් අඹරා පෙරා ගත යුතුය. අවශ්‍ය පරිදි ලුණු ස්වල්පයක්, සීනි, මී පැණි, හකුරු ආදී දෙයක් මිශ්‍ර කිරීමෙහි වරදක් නැත.
ජම්බු ගෙඩිවලින් පානය සැකසීමේදී කෘමි සතුන් ආදීන් සිටීදැයි හොඳින් පරීක්ෂා කොට, ඉවත් කරවා හොඳින් සේදිය යුතුය. ඉන්පසු මැද වූ බීජය අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුය. ඉන්පසුව කැබලි කොට අඹරා ප්‍රණීත පානයක් සකස් කළ හැකිය.
රස පරිදි ලුණු, සීනි එකතු කිරීම යහපති.
ඇටි කෙසෙල් වලින් සකසනු ලබන ‘චෝච පානය’ ද සැකසිය යුත්තේ එහි ඇති බීජ ඉවත් කොට ඉන්පසුවය.
අනෙක් බොහෝ කෙසෙල් වර්ගවල සැලකිය යුතු තරමේ විශාල බීජ නොමැති බැවින් එවැනි කාර්යයක් කළ යුතු නැත. කැබලි ඇත්දැයි පෙරා හොඳින් විමසා බැලිය යුතුය.
අමු මිදිවලින් නම් පහසුවෙන්ම යුෂ පානයක් සැකසිය හැකිය. වියළි මිදිවලින් පානය සැකසීමේදී ඒවා ඇල් දියේ දමා තරමක් පෙඟෙන්නට හැරීම පහසුවකි. ඉන්පසුව බීජ ඉවත්කොට අඹරා පොඩිකර රසවත් යුෂ පානයක් සැකසිය හැකිය. පොතු සහ කැබලි ඉවත් කිරීමට පරීක්ෂාවෙන් පෙරීම සිදු කළ යුතුය.
ඉතිරි පාන වර්ග සැකසීම ද එසේමය. කිසිසේත්ම විකාලයෙහි (ඉර මුදුනෙන් අවරට ගියපසු) පූජා කරනා පානයකට ගස්ලබු වැනි ලොකු පලතුරුවල යුෂ නොගත යුතුය.
එසේම දූරියන්, වරකා, වැල, කටු අනෝදා ආදියත් විනයානුකූලව කැප නොවේ. ඒවා පාන වර්ග ලෙස උදේ කාලයේදී පූජා කිරීමේ ගැටලුවක් නැත.
තේ, කෝපි, කෂාය, ඉඟුරු කොත්තමල්ලි, සුදුලූනු තැම්බූ වතුර පාන වර්ග ගිලන්පස ලෙස විකාලයෙහි පූජා කළ හැකිය.
මීට අමතරව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පස් බෙහෙත් වර්ගවලින් සතරක් වූ ගිතෙල්, වෙඬරු, මී පැණි, උක්සකුරු යන චතුමධුර මිශ්‍ර කොට ඕනෑම මොහොතක ගිලන්පස ලෙස බුදුරජාණන් වහන්සේට සහ සංඝයාට පූජා කළ හැකිය.
සෑම මොහොතකම අෂ්ටපාන වර්ගයක් හෝ වෙනත් ගිලන්පසක් පූජා කිරීමේදී බාහිර පිරිසුදු බවද, අභ්‍යන්තර පිරිසුදු බවද හොඳින් පවත්වාගත යුතුය.
පානය සැකසීමේදී සෑම මොහොතකම බුදුගුණ, දම්ගුණ, සඟගුණ මෙනෙහි කරමින්ම පූජාවෙහි කුසලය තීව්‍ර කරගැනීමට උත්සාහ කළ යුතුය.පූජාව සඳහා යොදාගන්නා භාජන ද ඉතා පවිත්‍ර විය යුතුය. වෙනත් දේවල් සඳහා යොදා ගන්නා භාජන නොවීම ඉතාම යහපත්ය. එය ගෞරවයට බෙහෙවින් සුදුසුය.
සෑම අෂ්ටපාන වර්ගයක්ම පූජා කිරීමේදී ඒ හා සමඟ උණු පැන් බඳුනක් හෝ ඇල් පැන් බඳුනක් හෝ දෙකම හෝ පූජා කිරීම වඩාත් අර්ථවත්ය.
දෙහි, දොඩම්, නෙල්ලි, නාරං ආදී ඇඹුල ඇති දෙයකින් පානයක් සකසන්නේ නම් එක් ගිලන්පසකට ස්වල්ප ප්‍රමාණයක් පමණක් ඒ ඇඹුල් වර්ගය මිශ්‍ර කිරීමට සැලකිලිමත් විය යුතුය.
ඇඹුල් රසය වැඩිවීම පානයෙහි රසය කටුක වීමට හේතුවකි.
මීට අමතරව විශේෂයෙන් දතයුතු කරුණක් තිබේ.
පාන වර්ග යැයි සිතා කැඳ වර්ග, කිරි වර්ග විකාලයේ පූජා කිරීම නොකළ යුතුය. ඒවා විනයානුකූල නොවේ.
සසර වසනාතාක් කල් සා පිපාසාදී දුක්වලින් මිදීමටත්, දාහ පීඩා, උෂ්ණ රෝගවලින් මිදී නීරෝගි වීමටත්, උතුම් සුගති සම්පත් සහ ශරීර වර්ණය ලැබීමටත් අෂ්ටපාන පූජාව බෙහෙවින්ම ඉවහල් වේ.
කුසල් කැමති සැදැහැවතුන් විසින් බුද්ධ ගෞරවය, සංඝ ගෞරවය උපදවා අෂ්ටපාන පූජා කිරීමෙන් සුගති සම්පත් සහ මෝක්ෂ සම්පත් සලසා ගත යුතුය.
තෙරුවන් සරණයි !
පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි
(ආණමඩුව, කොට්ටුකච්චිය සිරි උපාලි ධර්මාශ්‍රමාධිපති, ත්‍රිපිටකාචාර්ය ,
ත්‍රිපිටක විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය,
සද්ධර්ම කීර්ති ශ්‍රී කර්ම වාගාචාර්ය, රාජකීය පණ්ඩිත)
මධුර ප්‍රභාත් ගමගේ