Thursday, August 28, 2025
Epaper
Home විශේෂාංගරටකට නැතිවම බැරි පුනර්ජනනීය බලශක්තිය

රටකට නැතිවම බැරි පුනර්ජනනීය බලශක්තිය

by Thanushika

සමකය ආසන්නයේ පිහිටි ඝර්ම කලාපීය රටක් ලෙස සූර්ය, සුළඟ, ජල ආදී වශයෙන් ඉහළ පුනර්ජනනීය බලශක්ති විභවයක් ලැබීමට තරම් අපේ රට භාග්‍යවන්ත වී ඇත.

පුනර්ජනනීය බලශක්තිය යනු පුනර්ජනනීය සම්පත්වලින් එකතු කරන ශක්තියකි. ඒවා ස්වාභාවිකවම සූර්යාලෝකය, සුළඟ, වැසි, වඩදිය, බාදිය, තරංග සහ භූගත තාපය ලෙස මූලිකවම දැක්විය හැකියි. මේවා බලශක්තීන් ලෙස හඳුන්වනු ලබන්නේ මේවායින් තවත් බොහෝ දේ නිපදවන නිසායි.

ජල විදුලි බලාගාර

මේ වන විට ජලාශ ආශ්‍රිතව බොහොමයක් ජල විදුලි බලාගාර නිපදවා ඇති නිසා එම මූලාශ්‍රය දැන් නැති වෙමින් පවතී. මින් අදහස් කෙරෙන්නේ ජල විදුලිය නිපදවීම නවත්වා ඇති බවක් නොවේ. විශාල විදුලි බලාගාර නිපදවීම අවසන් වී ඇති නමුත් සාමාන්‍ය ජල විදුලි බලාගාර නිපදවීමට අවස්ථාව තිබේ.

සුළං බල විදුලි බලාගාර

එහෙත් පුනර්ජනනීය බලශක්තියක් ලෙස සුළං බලය තව බොහොමයක් ඉදිරියට ගෙන යෑමට අවස්ථාව තිබේ. සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට තිබේ.

ඒ සඳහා සුදුසු ඉඩම්

ශ්‍රී ලංකාවේ ඉඩම් සම්පත් සීමා සහිත වීමත් එමෙන්ම සුවිශේෂී ජෛව විවිධත්වයක් පැවතීමත් නිසා පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ප්‍රධාන සීමාකාරී සාධකය වන්නේ ඒ සඳහා සුදුසු ඉඩම් ප්‍රදේශ හඳුනා ගැනීමයි. පසුගිය දශක කිහිපය තුළදී පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීමට භූ තොරතුරු දත්ත බහුලව භාවිත කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති සියලුම ඉඩම් සුළං ජෛව ස්කන්ධ හෝ සූර්ය බල සංවර්ධනය සඳහා පරිහරණය කළ හැකි ඒවාද යන්න වර්ගීකරණය කර තිබේ. මෙහිදී ලඳු ඉඩම්, මුඩුබිම් සහ වැලි සහිත ප්‍රදේශ යන ආකාරයේ ඒවා සුදුසු ඉඩම් ලෙස සැලකේ.

මාර්ග පද්ධතිය

අන්තර්ජාතික සම්මතවලට අනුව සුළං බලාගාර මහා මාර්ගවල සිට අවම වශයෙන් මීටර් 100ක් දුරින් විය යුතු වේ. තවද සූර්ය බලය සඳහා මීටර් 250ක ආරක්ෂක ප්‍රදේශයක් අවශ්‍ය වේ. ඊට අමතරව සියලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද සඳහා දුම්රිය මාර්ගවල සිට මීටර් 50ක ආරක්ෂක ප්‍රදේශයක් වෙන් කරන ලදී.

ජලාශ්‍රිත ප්‍රදේශ

ගංගා, දිය පාරවල්, වැව් ආදී සියලුම ආකාරයේ ජලාශ්‍ර ප්‍රදේශ සඳහා ආරක්ෂක ප්‍රදේශ රජය මඟින් හඳුන්වා දී ඇති අතර ඒවා තුළ සියලුම ආකාරයේ ඉදිකිරීම් සීමා කර ඇත. ඕනෑම පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදයක් සංවර්ධනය සඳහා, ජලාශ්‍රිත ප්‍රදේශ සඳහා මීටර් 40ක ආරක්‍ෂක කලාප ඇතුළත් කරන ලදී.

නාගරික ස්ථාන

නාගරික ස්ථාන සහ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රකාශිත ප්‍රදේශ ඉතා ජනාකීර්ණ නිසා එම ප්‍රදේශවල පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා අවසර නොලැබේ.

පාවෙන සූර්ය විදුලි බල සංවර්ධනය

ස්වභාවික ජලාශ්‍ර ප්‍රදේශවල මෙන්ම මහා පරිමාණ ජල විදුලි බලාගාරවල ජලාශවලද පාවෙන සූර්ය විදුලි බලාගාර සංවර්ධනය සඳහා විභව්‍යතාව හඳුනා ගැනේ.

දැනට වයඹ වෙරළ ආශ්‍රිතව පුත්තලම, කල්පිටිය, මන්නාරම, පුනරීන් ආදී ප්‍රදේශවල සුළං විදුලි බලාගාර නිපදවා තිබේ. නිරිතදිග මෝසම සහ ඊසානදිග මෝසම යන දෙකම ඉලක්ක කරමින් මේ ප්‍රදේශවල ඉදිකළ සුළං විදුලි බලාගාර බොහොමයක් ඉලක්ක පසු කර තිබේ.

කල්පිටිය ප්‍රදේශයට යන විට සුළං විදුලි බලාගාර ඇත්තේ මෙගාවොට් 10ට වඩා කුඩා ප්‍රමාණයේ ඒවායි. නමුත් මන්නාරම ප්‍රදේශයට යන විට මෙගාවොට් 100ක සුළං විදුලි බලාගාරයක් ඉදිකර තිබේ. ඊට අමතරව මෙගාවොට් 200ක විභවයක් ඒ ආශ්‍රිතව සොයාගෙන තිබේ.

සිලාවතුර ප්‍රදේශයේ, මරිච්චි, කට්ටු ප්‍රදේශයේ තවත් මෙගාවොට් 1000ක විදුලිබල මණ්ඩලයෙන් අලුත් ව්‍යාපෘතියක් ලෙස ඒමට නියමිතව තිබේ. සුනිත්‍ය බලශක්ති අධිකාරිය පුනරීන් ප්‍රදේශයේ තවත් මෙගාවොට් 200ක විභවයක් හඳුනාගෙන තිබේ. සුළං විදුලි බලාගාර සඳහා හොඳම ප්‍රදේශයක් ලෙස මන්නාරම ප්‍රදේශය හඳුනාගෙන තිබේ.

අලි වැට ආශ්‍රිතව කරන ව්‍යාපෘති

අලි වැටට සමාන්තරව හඳුනාගත් බිම් ප්‍රදේශයන් තෝරා ගෙන සූර්ය බල ව්‍යාපෘති සිදුවේ. සූර්ය බල ව්‍යාපෘතිය ආරක්ෂා කිරීම සඳහාත් වැටක් අවශ්‍ය වන නිසා අලි වැට ආශ්‍රිතව සිදු කිරීමෙන් අමතර මුදලක් වැය නොවේ. ඒ අනුව අලි වැටට මීටර 100ක් පමණ දුරින් සූර්ය බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇත.

මෙසේ හඳුනාගත් ප්‍රදේශවල මෙම ව්‍යාපෘති සියල්ල ක්‍රියාත්මක වද්දී රැහැන් පද්ධතියද රට මැදට ගෙන ඒම කාර්යක්ෂමව සිදුවිය යුතුයි. රැහැන් පද්ධතිය දියුණු කිරීමට තවත් වසර 4ක් 5ක් ගතවනු ඇත.

2030 වසර වන විට සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති කරා යෑමට සුළං බලයෙන් අවශ්‍ය විදුලිය සැපයීමේ ව්‍යාපෘති දැනට සකස් කර අවසන්ය.

උපදෙස් :

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ

අධ්‍යක්ෂ

බී. ඩබ්ලිව්. ඒ. බුලත්ගම

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?