දරුවන් කිහිපදෙනෙකු සිය ජීවිතවලින් අකාලයේ සමුගත් ප්‍රවෘත්ති පසුගිය දිනවල විටින් විට වාර්තා විණි. එයින් වැඩි ප්‍රමාණයක දරුවන් මියගොස් තිබුණේ වැඩිහිටියන්ගේ වැරදි සහ ප්‍රශ්නකාරී චර්යාවන් හේතුවෙනි. වැඩිහිටියන් කවර ආකාරයේ ගැටලුවලට මුහුණ දුන්න ද දරුවන්ට ඒවාට මැදි වී මරණයට පත් වන්නට සිදු වීම ඉතාමත් කනගාටුදායක සිදුවීමකි. එමෙන්ම එය සමාජ ගැටලුවක් බවද කිවයුතුය.
බලංගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ අට හැවිරිදි පිරිමි දරුවකුගේ අකල් මරණයක් පසුගිය දා වාර්තා විය. දරුවා මියගොස් තිබුණේ ඔහු නිදාගෙන සිටි නිෙවස රාත්‍රියේදී ගිනි ගැනීම හේතුවෙනි. ගිනි ගැනීම ඇති වූ රාත්‍රියේ නිවෙස තුළ දරුවා තනිවම නිදා සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අඹු සැමි ආරවුලක් හේතුවෙන් දරුවාගේ මව නිවෙසින් බැහැරව ගොස් ඇගේ පෙම්වතා සමඟ සිට ඇත. සිය බිරිය සොයා සැමියා රාත්‍රියේ නිවෙසින් පිටවන්නේ අට හැවිරිදි දරුවා නිෙවසේ තනිවම නිදා සිටින අතරතුරය. සැමියා අලුයම් කාලයේදී නිවෙසට පැමිණෙන විට නිවෙස ගිනි ගනිමින් පැවැති බව සඳහන් වේ. ඒ ගින්නට මැදිව දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලබා සිටි දරුවා රෝහල්ගත කළ ද මරුමුවට පත් වී ඇත. දරුවාගේ පියා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි අයකු බවත්, අයිස් මත්ද්‍රව්‍ය අලෙවියෙහි නියුතුව සිටි අයකු බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ සිද්ධිය, අඹුසැමි ආරවුල් හේතුවෙන් දරුවන් අකාලයේ මියයන අන්දම පෙන්නුම් කෙරෙන එක් අවස්ථාවක් පමණි. මවුපියන්ගේ වැරදි චර්යාවන් නිසා දරුවා කෙරෙහි ඇති සැලකිල්ල බෙහෙවින්ම අඩු මට්ටමක පැවැති බව මේ සිද්ධියෙන් අනාවරණය වේ. එවැනි තත්ත්වයක් ඇතිවීම සඳහා පියාගේ මත්ලෝලී හැසිරීම විශාල වශයෙන් රුකුලක් වන්නට ඇතැයි ද අනුමාන කළ හැකිය. මවගේ වගකීම් විරහිත, නොමනා හැසිරීම ද දරුවාගේ මරණයට හේතු වූ බවක් පෙනී යයි.
ඕපනායක ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී දොළොස් හැවිරිදි දරුවකු පසුගිය දා ජීවිතක්ෂයට පත් විණ. දරුවා මවුපියන් සමඟ හෝටලයට පැමිණ තිබුණේ ය. ඔහු මිතුරන් සමඟ පිහිනමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ. පියා පැද වූ ත්‍රිරෝද රථය පෙරළී මාතලේ – රත්තොට මාර්ගයේදී අවුරුදු එකහමාරක දරුවකු මියගිය පුවතක් ද පසුගිය දිනවල වාර්තා විය. මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි දියණියක් ඇගේ පියා පැදවූ ත්‍රිරෝද රථයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ සිද්ධියක් ගැන ද අසන්නට ලැබුණේය. එම අනතුර සිදුව තිබුණේ ඇල්පිටිය, පිටිගල මාර්ගයේදී ය. ඇය මේ අනතුරට මුහුණ දෙන්නේ ඇගේ මව විදේශගතව සිටි පසුබිමක බව ද සඳහන් වේ.
මතු දැක්වූයේ පසුගිය දිනවලදී දරුවන්ට මරණය අත් කර දුන් අනතුරු කිහිපයක තොරතුරුයි. මෙවැනි අනතුරු නිසා දිවයින පුරා දරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වනවාට සැකයක් නැත. මාධ්‍යයෙන් අනාවරණය නොවන තවත් එවැනි සිද්ධි කොතරම් ඇති ද?
කුඩා දරුවන්ට අමතරව ගැටවර වියේ පසුවන අපේ රටේ දරුවන්ද අනතුරුදායක තත්ත්වවල පසුවන බව කියාපාන සිද්ධි කිහිපයක්ම පසුගිය දිනවලදී වාර්තා විණ. ඒ අතරින් වැඩිදෙනකුගේ අවධානයට ලක් වූයේ හෝමාගම ප්‍රදේශයේ ප්‍රකට පාසලක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ දියණියක සිය දිවි තොර කර ගැනීමය. ඇය සිය දිවි නසාගෙන තිබුණේ පාසලේ විභාගවලින් අඩු ලකුණු ලබා ගැනීම හේතුවෙන්, ගුරුවරුන්ගෙන් එල්ල වූ පීඩනය දරා ගැනීමට නොහැකිවය. ඇය පාසලේ ගුරුවරුන්ගේ දඬුවම්වලට පවා ලක් වෙමින් සිටි බව ද වාර්තා විණ. පැපොල රෝගය වැලඳී අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දහ නව හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ද පසුගිය දා මරුට බිලි විය. ඒ, ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම මවුපියන් ප්‍රතික්ෂේප කර තිබීම නිසා රෝගය උත්සන්න වීමෙනි. වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම වෙනුවට මවුපියන් රෝගී දරුවා නිෙවසේ රඳවාගෙන බලි තොවිල් ආදිය සිදු කර ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ය. දරුවා මියගොස් තිබුණේ පැපොල රෝගය උත්සන්න වීමෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් යැයි තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා තීරණය කර තිබිණ. මෙසේ මියගොස් තිබුණේ මිනිපේ, ගලමුදුන නම් ඉතා දුෂ්කර ප්‍රදේශයක ජීවත් වූ පවුලක දරුවෙකි.
ඉහත දැක්වූයේ පසුගිය දිනවල වාර්තා වූ, බාලවයස්කරුවන්ගේ මරණ කිහිපයක් පිළිබඳ ඉතා කෙටි විස්තරයකි. මේ තොරතුරු ඉතා පරෙස්සමෙන් සැලකිල්ලට ගන්නා විට අපට පෙනීයන කරුණු රැසක් තිබේ. ඒ අතර ප්‍රධානම කරුණ නම්, වැඩිහිටියන් දරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල මඳ බව ය. එය හුදෙක් මවුපියන් අතින් පමණක් සිදුවන වරදක්ම නොවේ. පාසල් ගුරුවරු ද අවසාන වශයෙන් මහ සමාජයේ ජීවත්වන සෑම වැඩිහිටියකු ම ද ඊට වගකිව යුතුව ඇත. දරුවා සම්බන්ධයෙන් මූලිකව කටයුතු කරන්නේ මවුපියන් ය. ඔවුන්ගේ නොසැලකිල්ල සහ අසම්මත හැසිරීම් මේ මරණවලට වැඩි වශයෙන් හේතු වී ඇති බවට තර්කයක් නැත.
මවුපියන් හැරුණු විට දරුවාගේ ජීවිතය, පෞරුෂය හැඩ ගැස්වීම සඳහා විශාල කාර්යයක් සිදු කරන්නේ ගුරුවරුන් ය. ප්‍රතිඵල පාදක කරගත් අධ්‍යාපන රටාව හේතුවෙන් ගුරුවරුන් අතින් එකී කාර්යය දරුවන් වෙනුවෙන් නොපිරිහෙළා සිදු කෙරෙන්නේ ද යන්න ගැටලුකාරී ය. අනෙක් අතට දරුවාට ගැටෙන්නට සුදුසු තරමේ සමාජයක් නිර්මාණය වී තිබේ ද යන්න ගැනත් අප සිතිය යුතුව ඇත. සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන් සමඟ දරුවාට නිතර ගැටෙන්නට සිදුවන අවස්ථා තිබේ. පාසල ආසන්නයේ වෙෙළඳුන්, පාසල් වෑන් රථයේ රියැදුරා, පෞද්ගලික පන්තිවල ගුරුවරුන් ඒ අතර ප්‍රධානය. ඔවුන් දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, දරුවන් අනාගත ලෝකය බව සිතාගෙන වගකීමෙන් ද යන්න සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන් විමසා බලන්නට සිදුව තිබේ. ඒ නිසා දරුවන් රැක ගැනීමේ භාරධූර වගකීම වෙත සියලු පාර්ශ්වවල අවධානය ඉතා ඉක්මනින් සහ දැඩිව යොමු වීම කාලීන අවශ්‍යතාවක් වී ඇත.
මංජුලා විජයරත්න