Thursday, August 28, 2025
Epaper
Home විශේෂාංගඅප්පච්චී

අප්පච්චී

by Thanushika

ආදරණීය පුතා,

මම අද ධනාත්මක චින්තනය ගැන තියෙන පොතක පිටු කිහිපයක් බැලුවා. ඒකෙ තියෙන්නෙ බයිබලයේ තියෙන ධනාත්මක අදහස්. ඇත්තටම ඒකෙ තියෙන්නෙ දෙවියන් වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේ තමන් ළඟ සිටිනවා කියන ධනාත්මක විශ්වාසයෙන් වැඩ කරන්න. අසනීපයක් ගැන වුණත් එහෙම හිතලා කටයුතු කරන්න යහපතක් වෙනවා කියලා. ඒ වගේම කනස්සල්ල ගැනත් තිබුණා. තමන් ‘අද සනීප නෑ වගේ ’ කියලා හිතමින් ඉන්නවා නම් අසනීප වෙනවා. හිත අසනීප වුණාම ගත අසනීප වෙනවා කියලා.

ඇත්තටම අපිට අපේ ධර්ම ග්‍රන්ථවලින් ජීවිතයට මොනතරම් ධනාත්මක ඒවා ගන්න පුළුවන්ද කියන එක මට හිතෙන්න ගත්තේ ඒක බැලුවාට පස්සේ. ආගම්වල උගන්වන්නේ පස් පව් කරන්න එපා කියලා විතරක් නෙවෙයි. ජීවිතය කොහොමද සාර්ථක තැනකට පත් කරගන්නේ කියලත් උගන්වනවා. ‘සාරං ච සාරතෝ ඤත්වා – අසාරං ච අසාරතො තෙ සාරං අධිගච්ඡන්ති – සම්මා සංකප්පගෝචරා” කියලා ධම්මපදයේ යමක වග්ගයේ ගාථාවක් තිබිලා මම කියෙව්වා. ඒකෙන් කියන්නේ “සරු දේ සරු හැටියටත්, නිසරු දේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවරැදි කල්පනාවල යෙදෙන්නෝ සරු දෙයක්ම ලබති”කියලයි.

ඇත්තටම මේ ගාථා පාඨයෙන් අපිට කොතරම් නම් ජීවිතයට ආදර්ශයන් ගන්න පුළුවන්ද. ඔයා දන්නවා සමහර යාළුවෝ ඉන්නවා විවිධ විෂමාචාරවලට පුරුදු වෙච්ච. අපිට ඔවුන් යහමඟට ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් බලු වලිගය උණ පුරුකෙ දැම්මත් ඇදේ අරින්න බෑ වගේ ඒවා අත් අරින්නෙ නැති අය ඉන්නවා. ඒ අය ඇසුරු කිරීමෙන් අපිට මොනවද ලැබෙන්නේ. නිසරු අවවාද, උපදෙස්, ආදර්ශ විතරයි. එහෙම නම් අපි ඒ අයගෙන් ඈත්වෙන්න ඕනේ. මම තව තැ‍ෙනක දැක්කා ‘හැන්ද මාළුපිනි වෑංජනවල රස දන්නේ නෑ’ කියලා. ඇත්තනෙ අපි මොනතරම් රසමසවුළු ඒ හැන්දෙන් බෙදා ගත්තා වුණත් හැන්ද දන්නවාද ඒවායෙ රස ගුණ. නෑනේ, කවදාවත් දැන ගන්නෙ නෑ. අන්න ඒ වගේ තමා පුතා අනුවණ මිනිස්සු කොයිතරම් දැනුම තියෙන සත් ජනයාව ආශ්‍රය කළත් කවදාවත් ගොඩ එන්නෙ නෑ. නමුත් මොළයක් තියෙන කෙනා එහෙම නෙ‍ෙවයි පණ්ඩිතයන්ගෙන් අවවාද අනුශාසනා ලබාගෙන ජීවිත ගමනට හොඳ අදහස් ගන්නවා. ඒවායින් ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නේ උගතුන් ඇසුරු කරන්න කියන එක.

මම ඒකෙන් අදහස් කළේ පුතේ අපි ඇසුරු කරන්න ඕනේ සත්ගුණවත් මිනිස්සු. දැනුම් තේරුම් ඇති මිනිස්සු. අන් අයට කරුණාව දක්වන යහපත ප්‍රාර්ථනා කරන මිනිස්සු. ඒ අයගෙන් අපිට ලැබෙන්නේ ධනාත්මක දේවල්. ඒ මිනිස්සු වෛරය, ඉරිසියාව, කුහකකම නැති මිනිස්සු.

ඔයාට මම තවත් දෙයක් කියන්නද. අපි හිතමුකො අපිට අපේ රස්සාවෙ හරි, අපේ ජීවිතයේ මොනවා හරි දෙයක් ලබා ගන්න බාධාවක් තියෙනවා කියලා. අන්න ඒ වෙලාවට කරන්න ඕනෙ දෙයක් තමා අපේ ආගම්වලට අනුව බාරහාර වෙන එක, යාඥා කරන එක බෝධිපූජා තියන එක. එතකොට අපේ ගමනට බාධාවක් කරන හෝ අපිට ඒ උසස්වීම් හරි දීමනා හරි දේපළ හරි මොනවා හෝ ලැබෙන්නේ නැත්නම් ඒක වැළකෙන්නේ යම් කෙනෙක් හන්දා නම් කරන්න ඕනේ, අපේ ආගමට අනුව වෙලාවක් තෝරාගෙන ‘මට ඇතිවෙන්නා වූ එම බාධක ඉවත් වේවා.

එකී බාධක ඇති කරන්නාටද යහපතක් වේවා. ඒ අයගේ සිත මා කෙරෙහි අනුකම්පා සහගත වේවා. මගේ ගමනට ආශීර්වාදයක් වී මගේ සිතුම් පැතුම් ඉස්ඨකර දෙත්වා’ කියලා දවසට තෙවරක් ප්‍රාර්ථනා කිරීමයි. අන්න එතකොට අර බාධාවන් ඉවත් වෙලා හිතට ධනාත්මක සිතුවිලි එක් වෙලා යම් දි‍ෙනක ජයග්‍රහණ හිමිවෙනවා.

විශ්වාසා පරමා ඥාති කියලා හොඳ දේ විශ්වාස කරන්න.

උපාලි බණ්ඩාර වීරසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?