මේ නිවිති, අර ගොටුකොළ, ඊට එහා පැත්තේ කංකුං, අර තියෙන්නේ සාරණ, ඊට මෙහා පැත්තේ මුකුණුවැන්න. පෝච්චිවල තියෙන්නේ වම්බටු, බණ්ඩක්කා වගේ එළවළු. රම්පෙ, කරපිංචා, අමු මිරිස් අපි කඩෙන් ගන්නේම නැහැ. පුළුවන් විදිහට අපි හැමදේම වගා කරගෙනයි තියෙන්නේ. ඒක ඇඟටත් හොඳයි. පොකට් එකටත් ලාභයි. අනික එළවළුවක් වවනවා කියන්නේම හිත නිවන වැඩක්නේ. මේ කියන්නේ පර්චස් 5ක් වැනි නිවෙසක් සහිත ඉඩමක හදපු බඳුන්ගත වගාවක් ගැනයි.
එහෙම බලද්දි එළවළුක් වවන්න මහ ලොකු ඉඩක් ඕෙන වෙන්නෙ නැහැ. දැන් තට්ටු නිවෙස්වල අයට වුණත් විවිධ ක්‍රම හරහා එළවළු වගාවකට යොමු වෙන්න පුළුවන්. ඒ විදිහට අපි ජීවත්වෙන පරිසරය අනුව මේ වගාවේ තත්ත්වයන් වෙනස් කර ගන්න පුළුවන්. පර්චස් හත අටක තමන්ගේ නිවෙසත් සමඟ ගෙවත්තක් පවත්වාගෙන යන කෙනකුට වඩා අක්කර භාගයක පමණ වපසරියක් තිබෙන අයකුගේ ගෙවත්තේ තත්ත්වය වෙනස්.
බඳුන්ගත වගාව
බඳුන්ගත වගාවේදී නිවෙසේ ඉවත දමන විවිධ භාජන යොදා ගන්න පුළුවන්. පොලිතීන් මලු වැනි දෑ ද බඳුන්ගත වගාව වෙනුවෙන් යොදා ගත හැකියි.
මේ භෝග වගා කිරීමේදී වගා මිශ්‍රණය සඳහා පස් කොටස් 1ට කොම්පෝස්ට් පොහොර කොටස් 1ක් ගන්න පුළුවන්. කොම්පෝස්ට් වෙනුවට එළු පොහොර, ගොම පොහොර, කුකුළු පොහොර වගේ පොහොරක් වුණත් යොදා ගන්න පුළුවන්.
සාර්ථක වගා මලු ක්‍රමය
මේ මලුවල වම්බටු, මිරිස්, තක්කාලි වැනි එළවළු වගා කළ හැකියි. මල්ලට කොම්පෝස්ට් මිශ්‍ර පොහොර හා කොහුබත් මිශ්‍රණයක් දමා ගත් විට ජලයේ තෙතමනය රඳා පවති. එක් මල්ලක පැළ දෙක බැගින් වුව ද සිටුවිය හැකි අතර බීට්, කැරට්, නෝකෝල් සහ ලීක්ස් වැනි වර්ග එක මල්ලක පැළ හතරක් බැගින් සිටුවා ගත හැකියි. තට්ටු නිවෙස්වල දී පොලිතීන් මලු වගාවකට යනවානම් තෝරාගන්නා පොලිතින් කවරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. තට්ටු නිවෙස්වල වගාවක දී බොහෝවිට වගාවට කෙළින්ම තද සූර්යාලෝකය පතිත වෙනවා සූර්යාලෝකය ඔක්කොම අවශෝෂණය කරගන්නා නිසා කළු පැහැ පොලිතීන් කවර යොදාගත්තොත් රත් වෙන ප්‍රමාණය වැඩියි. ඒ හින්දා අපිට පුළුවන් ඒකට ඇතුළු පැත්ත කළු පාට, පිට පැත්ත සුදු පාට පොලිතීන් බෑග් යොදාගන්න. පිට පැත්ත සුදු වුණාම සූර්යාලෝකය උරා ගන්නේ නැතුව හරවලා යවන නිසා රත් වීම අඩුයි. ඒ නිසා භෝග හැදෙන්න එය පහසුවක් වෙනවා.
තක්කාලි වැනි භෝගවල කඳ හයිය නැති නිසා ඉක්මනින් ගහ කඩන් වැටෙන්න බලනවා. එයට පිළියමක් ලෙස පැළය සිටුවන අවස්ථාවේදීම කවරයට කෝටුවක් සිටුවලා පැළය කෝටුවට බැඳිය හැකියි. පස්සේ කෝටු සිටුවන්න ගියොත් මුල්වලට හානි සිදු වෙනවා. ඒකෙන් රෝගකාරක ගහට ගිහින් ගහ මැරෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ භෝග සිටුවද්දීම පොඩි ආධාරකයක් සිටුවන්න. එතකොට පැළය වැඩෙනකොට ඒකට ගැටහන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ නිතර පරීක්ෂාවට ලක් කරන්න ඕනේ.
පලතුරු වගාව
මේ සඳහා අපිට පැණි දොඩම්, ජමනාරං, වෙරළු වගේ බද්ධ පලතුරු පැළ යොදාගන්න පුළුවන්. මේවා සිටුවීම සඳහා ප්ලාස්ටික් හෝ සිමෙන්ති වැනි භාජනයක් තෝරා ගන්න. බැරල් භාග වුණත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. පැළය සිටුවන විට පස් මට්ටමයි, මුල් මට්ටමයි එක සමාන වෙන්න ඕනේ. කඳෙන් භාගයක් විතර වැහෙනකම් පස් යෙදීමෙන් කඳ තැම්බීමකට ලක් වී පැළය මැරෙන්න පුළුවන්. ඒ නිසා මුල් මට්ටම විතරක් වැහෙන්න පස් මිශ්‍රණය දමා ගන්න. සමහර අය කවරයට පස් ටිකක් දාලා භෝගය සිටුවලා, භෝගය වැඩෙද්දී දවසින් දවස පස් ටික ටික එකතු කරනවා. ඒකත් හොඳ දෙයක් නෙවෙයි.
වගා කුලුනු
පොහොර මලු දෙකක් එකතු කරලා එය එකක් විදිහට සකස් කරගන්න. දැන් මේ උරයට විෂ්කම්භය සෙ.මී 10ක් පමණ සහිත මීටර් දෙකහමාරක් පමණ වූ උණ ලීයක් ඇතුළු කරන්න. ප්ලාස්ටික් බටයක් වුවත් මේ සඳහා යොදා ගත හැකියි. මේ උණ ලීයේ අවසාන පුරුක පමණක් ඉතිරි වන සේ සිදුරු කරන්න. උණ ලීය මීටර් භාගයක් පමණ පොළොව යටට වළලා ගන්න. එම උණ ලීයෙන් සෙ.මී 30ක් පමණ පොහොර බෑගයට වඩා උසින් තිබීම අවශ්‍ය වෙනවා. මුලින්ම එම වළ ගඩොල් කැබලි, වැලි සහ පස්වලින් පුරවන්න. පිටතට පෙනෙන්නේ පොහොර උරය පමණි. පසුව කොම්පෝස්ට්, මතුපිට පස් සහ සියුම් වැලි කොටස්, ගඩොල් කැබලි අවශ්‍ය පරිදි සකස් කරගෙන තබා ගන්න. දැන් පොහොර මල්ල යටටම සෙ.මී 15 ක් පමණ උසට ගඩොල් කැට අතුරා ගන්න. එයින් පසුව පොහොර මිශ්‍රණයෙන් මල්ල පුරවාගෙන වතුර දැමීමට උණ බටය යොදා ගන්න පුළුවන්. පොහොර උරය වටේට හිල් සකස් කරගෙන විවිධ වර්ගයේ පලා (ගොටුකොළ, කංකුං) සිටුවා ගන්න පුළුවන්.
භෝග තෝරා ගැනීමේදී කුඩා ඉඩකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි භෝග වඩාත් වැදගත් වේ. නිවිති, බටු, මෑ, තක්කාලි, මිරිස් ආදිය මෙහි ලා සැලකිය හැකියි.
කරවිල, පතෝල, දඹල වැනි භෝග ගෙවතු වගාවේදී තෝරා ගැනීමෙන් ඔබට ගෙවත්ත පහසුවෙන් කළමනාකරණය කර ගත හැකියි.
විශාල ගෙවත්තක් නම් වැටක් සේ අවහිර වෙන පරිදි මායිමට එරබදු, කතුරුමුරුංගා, කරල් මුරුංගා වැනි ශාක සිටුවිය හැකිය. නමුත් ඉඩකඩ සීමිත නම් ඔබගේ මනාපය අනුව භෝගයට අවශ්‍ය ආලෝකය, සෙවණ වැනි සාධක සලකා බලමින් තිබෙන ඉඩ වපසරියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ පහසුව සලසා ගන්න.
තට්ටු නිවාසවලදී බැල්කනියේ තිරස් අතට ලණු ඇදලා නිවිති, දඹල වගේ භෝග වගාකර ගන්න පුළුවන්. පොල් කටුවල රතුලූනු සිටුවාගන්නත් අපිට පුළුවන්. පොල් කටුවල සිදුරු සහිත පොල්කටු අරගෙන ඒවාට පස් මාධ්‍ය එකතු කරලා රතුලූනූ ගෙඩි කිහිපයක් පැළ කරගන්න. දින කිහිපයක් යද්දි ලූනූ කොළ මතු වෙනවා. පොල් කටු කිහිපයකම මේ විදිහට ලූනූ සිටුවලා මාසයක් පමණ යද්දි ලූනූ කොළ බත්පතට එක්කර ගන්න පුළුවන්.
කරපිංචා, රම්පේ වැනි භෝග වැඩි කරදරයක් නැතුව පුළුවන් පෝච්චිවල වවා ගන්න පුළුවන්. වතුර ටිකක් දැම්මම සරුවට වවා ගන්න පුළුවන්.
ඉතින් ගෙවත්තේ මේ විදිහට පුංචි වගාවක් කළොත් කිසි වේලක්වත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ.
වගා සම්බන්ධයෙන් හෝ අලුතෙන් දැන ගත යුතු බෝග වගා ගැන අපට ලියන්න.
උපදෙස්
සුභද්‍රා නිල්මිණි
කෘෂිකර්ම උපදේශක
රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය,
කුරුවිට
විදුමිණි දිසාකරුණා