ජීවිතය කියන්නෙම රඟමඬලක්. එක එක කාල පරිච්ඡේදයන්හිදී අපි එහි කොටස් රඟන්නෙමු. ඇය දිරිය මවක්. ජීවන රඟමඬලේ විවිධ භූමිකා පසුකරමින් සැදෑ සමය සැහැල්ලුවෙන් ගෙවන සැබෑම වීර්යවන්ත ගැහැනියක්.
නිලංගනී මල්ලිකා පීරිස් කලාවට ළෙන්ගතු ආදරණීය පවුලක වැඩිමහල් දියණියයි. අද වන විට දරු මුනුබුරු මිනිබිරියන්ගේ ආදරය නොඅඩුව ලබමින් කලා කටයුතුවල නිරතවන්නියකි.
‘මගේ නම මංගලිකා වුණාට. මගේ ජිවිතේ මල් යහනාවක් නම් නොවේ.‘ එලෙස අැය කීවේ තරමක් දුක් මුසු ස්වරූපයකිනි.
එහෙත් බැලු බැල්මට ඇය තුළ දුක, කඳුළ, සාංකාව ගෑවිලාවත් නොමැති ජීවිතයේ විවිධ කඩ ඉම් හමුවේ බින්දුවට කඩා වැටුණුමුත් ඇගේ කතාව ලියන්නේ සිනහවෙනි. “මට දැන් වයස අවුරුදු 72ක්. එහෙත් අද වනතුරු බෙහෙත් පෙත්තක්වත් ගන්න දරුවෙකුට වියදම් කරලා නැහැ. ගහක පලතුරක් විකුණලා හරි මම මගේ වියදම හොයාගන්නවා. පබළු නිර්මාණ, එම්බ්‍රොයිඩර් වගේ අත්කම්වලින් මෙන්ම කොට්ට උර මසා, පුටු වියලා. රබන් ගහලා, රබන් පද උගන්වලා, කීර විකුණලා දවස ගැට ගහගන්නවා. මේවා ලජ්ජාවට කාරණා නෙවෙයි. මම කලාවට හරිම ළැදි කෙනෙක්. වේදකා නාට්‍ය, ටෙලි නාට්‍ය ගණනාවකම රඟපාලා තියෙනවා. ලතා වල්පොල, රුක්මනී දේවි පණ හා සමානයි. කලාකරුවන් කලාකාරිනියන් වගේම මට මුණ ගැසුණා සමාජයේ සැළකිය යුතු පිරිස් වෙනුවෙන් ගීත 350කට වැඩි ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ දෙවැනි සමාජිකාව මමයි. පැරණි ගීත රසික හවුල, ලතා වල්පොළයන්ගේ 74 වැනි ජන්ම දිනයට ආරම්භ කළා. මිතුරු හවුල, සහන පදනම ලෙසින් සංවිධාන කිහිපයක නිර්මාතෘ ලෙස කටයුතු කරනවා. එමෙන්ම කඳුරට ගුවන් විදුලියට ගීත 16ක් කළා. රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියටත් ඉදිරිපත් වුණා. මේ මා මෙතෙක් හරි හම්බ කළ දේවල්. මගේ ඉතිරි කාලයත් කලාවත් එක්කම ගත කිරීම තමයි එකමක මානසික සුවය.
ජීවිතයේ මුහුණ දුන් දුක් කම්කටොලු හමුවේ අදටත් නොසැලී ඉන්නේ මම සතු ආත්ම විශ්වාසය නිසයි. පවුලට, රටට ණය නැති ආදරණීය අත්තම්මා කෙනෙක් කියලා මට සැනසුම් සුසුම් හෙළිය හැකියි.
මේ ඇගේ දිරිය කතාවේ කොටසක් පමණි. ඇය සතු කඩිසර ගමන් විලාසය, වාග් පෞරෂය ගැහැනියකට තිබිය යුතුම දායාදයකි.
PIX BY – නිශ්ශංක විජේරත්න
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර