නිත්‍යා උදෑසනින්ම අවදි විය. ඊයේ දිනයේ දී ඇයට නිසි පරිදි නින්දක් නොවී. අම්මාට මේ වැලඳී ඇත්තේ කුමනාකාර රෝගයක්දැයි ඇයට සිතා ගැනීමට නොහැකිය. පරීක්ෂණ වාර්තා ගැනීමට රෝහලට යා යුතුය. ඇය පරීක්ෂණ වාර්තා ගත් පසු හෙදිය පැවසූ පරිදි වෛද්‍යවරයා වෙත ගියේ, වේගයෙන් ගැහෙන හදවතක් දරාගෙන ය. ‘ඩොක්ටර් මේ අපේ අම්මගේ ක්ලිනිකල් රිපෝට්ස් මේ තියෙන්නේ..‘ නිත්‍යා වෛද්‍ය වාර්තා වෛද්‍යවරයා දෙසට දිගු කළාය. එම වාර්තා පරීක්ෂාකාරී දෙනෙතකින් බැලූ වෛද්‍යවරයා නිත්‍යා දෙසට නෙත් යොමු කිරීමේ දී ඇයගේ මුහුණේ පැවැති බිය හඳුනා ගත්තාය. ඇයට මේ රෝගය පිළිබඳ නිසි වැටහීමක් ලබා දීම වැදගත් බව වෛද්‍යවරයාට සිතුණි.
කැන්සර් එකක් කිවුවම අපි හැමෝම ගොඩක් බය වෙනවා. ඒක ඇත්ත. ඒත් කැන්සර් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයා හරියටම දන්නවද? නිත්‍යාගේ බියගත් දෑස දෙස බලා වෛද්‍යවරයා විමසූ පැනයට ඇය ඔළුව දෙපසට වනා නැතැයි උත්තර බැන්දාය.
පිළිකාව කියන්නේ අද වෙනකොට ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේම ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතින බෝ නොවන රෝග කාණ්ඩයට අයත් රෝගයක්. ලංකාවේ අලුතෙන් පිළිකා හැදෙන ප්‍රමාණය වැඩිවෙන්නේ සෑම වසර 20කටම පවතින ප්‍රමාණය දෙගුණයක් වීමෙන්. මෑතක දී ආපු සංගණන වාර්තාවලට අනුව දළ වශයෙන් නව පිළිකා රෝගීන් 40,000- 45,000ක් පමණ වෙනවා.
මේ නිසා ඔයාට තේරෙනවා නේද මේක ඔයාගෙ අම්මට විතරක් හැදුණු දුර්ලභ ලෙඩක් නෙවෙයි කියන එක. අපි කොයි කවුරුත් කවදා මේ රෝගයට ගොදුරු වෙනවද කියන එක කියන්න බැහැ.
කාන්තා පිරිමි දෙවර්ගයම ගත්තම වැඩිම පිළිකා වර්ගය වෙන්නේ මුඛය ආශ්රිත පිළිකා. කාන්තාවන්ට වැලඳෙන වැඩිම පිළිකා වර්ගය පියයුරු පිළිකා. කාන්තාවන්ට වැලඳෙන දෙවැනියට වැඩිම පිළිකා වර්ගය විදිහට මෙතෙක් කාලයක් ගැබ්ගෙල පිළිකා සැලකුණත් මේ වෙනකොට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත පිළිකා දෙවැනි තැනට ඇවිත්. පිරිමි අයට පෙණහලු පිළිකා, මහබඩවැල ආශ්රිත පිළිකා, ගලනාලය නැතිනම් අන්නස්‍රෝතය ඒ කියන්නේ උගුර හා ආමාශය සම්බන්ධ වන නාලයෙහි ඇතිවන පිළිකා වැඩි වශයෙන් අපේ රටේ දකින්න පුළුවන්. “
දෑස් විදා වෛද්‍යවරයා දෙසම බලා ඒ කරුණු අසා සිටි නිත්‍යා මේ හැම දේටම වඩා ඇයට වැදගත් වන ගැටලුව වෛද්‍යවරයාගෙන් විමසුවා.
‘ඇයි ඩොක්ට පිළිකාවක් හැදෙන්නේ? කොහොමද ඒක වෙන්නේ..?’
‘පිළිකාවක් හැදෙන්නේ අපේ සිරුරේ තියෙන සෛලයක විකෘතිතාවක් නිසා. අපේ සිරුර කියන්නේ සෛල මිලියන ගණනක එකතුවක්. හම විතරක් නෙවෙයි, අභ්‍යන්තරයේ තියෙන මාංසපේශී, අවයවවල විවිධාකාර සෛල වර්ග තියෙනවා. ජීවියා වර්ධනය වෙන විට මේ සෛල බෙදීමෙන් එක සෛලය දෙකක් වීමත්, දෙක හතරක් වීමත්, හතර අටක් වීමත් ලෙස සෛල වර්ධනය වීම සිදු වෙනවා. මෙලෙස සෛල බෙදීම පුද්ගලයාගේ යම්කිසි වයසක දී නතර වීමක් සිදු නොවෙන්නේ වයසට යන සෛල මැරෙන කොට වගේම විවිධ හේතු නිසා සෛල විනාශ වෙනකොට ඒ වෙනුවෙන් සෛල අවශ්‍ය වෙන නිසා. සාමාන්‍යයෙන් මේ සඳහා සංඥා නිකුත් කරන්නේ සෛලයේ තියෙන න්‍යෂ්ටියෙන්. න්‍යෂ්ටියේ අඩංගු ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස DNA හඳුන්වන්න පුළුවන්. මේ සෛල බෙදීමේ දී DNA එකත් සමානව දෙකට බෙදීමෙන් මුල් සෛලය හා සමාන සෛල දෙකක් නිෂ්පාදනය විය යුතුයි. නමුත් යම් කිසි පිළිකා කාරක ද්‍රව්‍යයක් න්‍යෂ්ටියේ ඇති DNA එකට බලපෑමක් සිදුකර තිබෙනවා නම් මෙය නිසියාකාරව සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මෙලෙසින් බෙදෙන සෛලයේ DNAවල තිබෙන න්‍යෂ්ටික අම්ලවල ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෛලයක හැකියාවක් තිබෙනවා මෙලෙසින් බෙදීගෙන යාමේදී යම් තෙරපුම් ස්වභාවයක් ඇතිවෙනවා නම් මෙහා පැත්තේ ඇති සෛලය දැන් බෙදෙන්න එපා ඉඩ නැහැ යන යම් සංඥාවක් දෙනවා. නමුත් මේ අතරට පිළිකා සෛලයක් තිබුණොත් කොතරම් සංඥා නිකුත් කළත් එය බෙදීම නවත්වන්නේ නැහැ. මේ සංඥා ගන්නේ නැතිව එම සෛල බෙදීගෙන බෙදීගෙන යාමේදී සාමාන්‍ය සෛල විනාශ වෙනවා. මෙසේ බෙදීගෙන යන සෛල වසා ග්‍රන්ථි, රුධිර වාහිනියකට එකතු වූ විට සිරුරේ අනෙක් ග්‍රන්ථිවලටත් ව්‍යාප්ත වීම සිදු වෙනවා. ප්‍රධාන වශයෙන් මෙය පෙණහලු, අක්මාව, අස්ථි පද්ධතිය සහ මොළය යන අවයව හතරට පැතිරෙන්න පුළුවන්. මේවායෙන් මොළයට යාම ටිකක් අඩු වුණත් අනෙක් අවයවවලට මේ පිළිකාව පැතිරීමේ හැකියාවක් තිබෙනවා.
පිළිකා කාරක භාවිත නොකළත් ඇතැම් අයෙකුගේ මේ සෛල බෙදීමේ ක්‍රියාවලියේ දී යම් වැරැදීමක් සිදු වීමෙන් සෛල විකෘතියක් සිදුවෙන්න පුළුවන්. එම වැරැදීමෙන් බෙදුණු සෛලය පිළිකා කාරක නිසා බෙදීමේ විකෘතිතාව ඇතිවුණු සෛලයක් හා සමාන වෙන්න පුළුවන්. මේ තත්ත්වය මඟහරවා ගැනීමට අපේ සිරුරේ ස්වභාවයෙන්ම සෛල චක්‍රයක් තිබෙනවා. මේ සෛල චක්‍රයට හැම සෛලයක්ම යොමු කරනවා. මෙය සිරුරේ සිදුවන සංකීර්ණ ක්‍රියාවලියක්. මේ සෛල චක්‍රය අවස්ථා හතරක දී සිදුවෙනවා. ඉන් දෙකකදී සිරුරේ තිබෙන රසායනිකයන්, එන්සයිමවලට සෛල හරියට බෙදී ඇතිදැයි බැලීමේ හැකියාවක් තිබෙනවා. මෙය හරියට කර්මාන්ත ශාලාවක ෆැක්ට්‍රි රිජෙක්ට් වෙනවාදැයි බලන්න තත්ත්ව පාලකවරුන් ඉන්නවා වගේ වැඩක්. මෙහිදී සෛලයේ යම් කිසි වැරැද්දක් තිබෙනවා නම් එය සෛල චක්‍රයෙන් ඉවතට ගෙන විනාශ කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ සෛල චක්‍රයේ තිබෙන චෙක් පොයින්ට් දෙකේ යම් කිසි විකෘතිතාවක් තිබෙනවා නම් එවැනි අයෙකුට පිළිකා කාරක නැති වුවත් චෙක් පොයින්ට් එකෙන් එම සෛලය ප්රතික්ෂේපකර විකෘති වූ සෛලය විනාශ කිරීමට නොහැකි නම් අපේ සිරුරට ඇතුළු වී පිළිකාවක් ලෙස වර්ධනය වෙන්න පුළුවන්. මේ ආකාරයට තමයි සිරුරක පිළිකාවක්, පිළිකා සෛලයක් ඇති වෙන්නේ.
මේ කරුණු මේ තරම්ම මම පැහැදිලි කළේ ඔයා ඉගෙන ගන්න දරුවෙක් නිසයි. ඔයාට මේ කරුණු දැනගෙන ඉන්න එක ජීවිතයට වගේම අධ්‍යාපන කටයුතුවලදීත් ගොඩක් වැදගත් වේවි. ඒ වගේම මේ රෝගය ගැන පූර්ණ අවබෝධයක් ගන්නත් ඒක වැදගත්. ‘
වෛද්‍යවරයා නිත්‍යා දෙස බලා කාරුණික සිනාවක් පෑවේ එලෙස පවසමිනි.
පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරා
අයන්ති උඩුගම්පල