කාගෙන් හරි ඇහුවොත් ඉන්න කැමතිම තැන මොකක්ද කියලා වැඩි දෙනෙක් කියන්නේ තමන්ගේ නිවෙස කියලා. නිවෙස තරම් නිදහස් තැනක් තවත් තියෙනව ද? ගමනක් බිමනක් ගියත් අපි කවුරුත් බලන්නේ ඉක්මනට ගෙදරට යන්නනේ. හැබැයි ඉතින් හිත නිවන තැන එතැන වුණාට.. මේ හිත නිවන තැන අපි නොදන්න සැඟවුණු මාරයෙක් ඉන්නවා කියලා ඔබ දැනුම්වත් නැතුව ඇති. ගෙදර බිත්ති පුස් බැඳිලා නම්, දිය සෙවෙල බැඳිලනම්, බිත්තිවල තීන්ත ගැලවි ගැලවී යනවනම් මෙන්න මේ කියන මාරයා ඒ නිවෙස්වල ඉන්න පුළුවන්. එවැනි නිවෙසක දිවි ගෙවනවා කියන්නේ ඔබව කායිකව වගේම මානසිකවත් ලෙඩ කරන්න පුළුවන්.
මොකක් ද මේ අමුතු ලෙඩේ?
මේකට කියන්නේ සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය (Sick Building Syndrome) කියලයි. සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය කියන්නේ යම් ගොඩනැගිල්ලක සිටින පුද්ගලයන්ට නිශ්චිතව කිව නොහැකි විටක කායික වශයෙන් සහ විටෙක මානසික වශයෙන් අපහසුතා සහ ආබාධ ඇති කරන තත්ත්වයක්. මෙහිදී ඇතිවන කායික හා මානසික අපහසුතා නිශ්චිතව කිව නොහැක්කේ පුද්ගලයාගෙන් පුද්ගලයාට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙය වෙනස් වන නිසයි.
එය නිවෙසක්, පාසලක්, කාර්යාලයක්, කර්මාන්ත ශාලාවක්, හෝටලයක් හෝ නේවාසිකාගාරයක් වැනි ඕනෑම ඉදිකිරීමක් වෙන්න පුළුවන්. මිනිසුන් රෝගී කරන මෙවැනි නිවෙස් රෝගී නිවෙස් ලෙසත් ගොඩනැගිලි, රෝගී ගොඩැනැගිලි ලෙසත් හඳුන්වනවා.
නිවෙස ලෙඩ වෙන හැටි
ප්‍රධාන වශයෙන් මේ සඳහා සාධක කිහිපයක් හඳුනාගන්න පුළුවන්. නිවෙසක හෝ ගොඩනැගිල්ලක ඇතුළත වාතාශ්‍රයේ පවතින ගුණාත්මක බව. ගොඩනැගිල්ල ඇතුළතින් නිකුත්වන සහ ඒ අවට පවතින අධික ශබ්දය හා ඝෝෂාකාරී බව. ගොඩනැගිල්ල තුළ ආලෝකයේ ගුණාත්මක බව බාහිර පරිසරයේ දූෂණ තත්ත්වයන්. මෙහිදී ප්‍රධානයි.
මහල් නිවාස සංකීර්ණවල සහ තට්ටු ගණනාවක ගොඩනැගිලිවල වාසය කරන අයට සික් බිල්ඩිං සින්ඩ්‍රෝම අවදානම සුලබව පවතිනවා. ඒ වගේම සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය පිළිබඳ වැඩිම අවදානම පවතින්නේ වායු සමීකරණය කළ ගොඩනැගිලිවල සහ වායු සමීකරණය කළ කාමරවල වෙසෙන පිරිස් හටයි. මේ අවස්ථා දෙකේදීම අභ්‍යන්තර වාතාශ්‍රයට යම් දූෂ්‍යකාරකයක් මිශ්‍ර වුණොත් පහසුවෙන් එය පිටවෙන්නේ නැහැ. විශේෂයෙන්ම වායු සමීකරණය කළ ගොඩනැගිලි සහ කාමර සෑමවිටකම වසාදමා තිබෙන නිසා අහිතකර සහ දූෂණය වූ වායු ඒ ඇතුළතම රැඳී තිබෙනවා. ඒ වගේම මෙම වායු සමීකරණය කළ ගොඩනැගිලිවල කාබන්ඩයොක්සයිඩ් සහ කාබන්මොනොක්සයිඩ් ඇතුළු අහිතකර වායු ගණනාවක් පවතිනවා.
අනෙක් ප්‍රධානම දේ තමයි ආලේප කර තිබෙන තීන්ත වර්ග, කාපට් ඇලවීමට යොදාගෙන තිබෙන ගම් වර්ගයන්හි සැර, ගොඩනැගිලි ඇතුළත සුවඳවත් කිරීමට යොදාගෙන තිබෙන සුවඳ ද්‍රව්‍ය ආදියෙන් නිකුත් වන රසායනික වර්ග වාතය සමඟ මිශ්‍රවීම නිසා ඇතුළත වාතය හිතකර නොවන තත්ත්වයන්ට පත් වෙනවා. වායු සමීකරණය කළ කාමරවල එම තත්ත්වය සුලබව පවතිනවා. වායු සමීකරණය නොකළ ගොඩනැගිලිවලත් මේ අවදානම පැහැදිලිවම පවතිනවා. ඒ වගේම ගොඩනැගිලිවල කාලයක් ගතවන විට ඇතිවන පුස් සහ දිලීර වර්ග නිසා පැතිරෙන වාතයෙන් ඔබව රෝගී වෙනවා. නාන කාමරවල දියසෙවල තත්ත්වයත් මෙයට හේතුවක්. එවැනි නාන කාමරයක දිගු වේලාවක් හිටියොත් ශ්වසන ආබාධ වගේම ඒ හරහා මානසිකවත් ඔබව ලෙඩ කරන්න පුළුවන්. විශේෂම දේ ශ්‍රී ලංකාවේ වෙසෙන වැඩි දෙනෙක්ට ඒ අවදානම ඉහළයි. මොකද ශ්‍රී ලංකාවේ නිවෙස්වල මේ කියන තත්ත්වයන් නිතරම දකින්න පුළුවන්. ඒ නිසා ඔබ දැනටමත් ඉන්නේ බිත්ති පුස් බැඳුණු, නානකාමර බිත්ති දියසෙවලනම්, බිත්තිවල තීන්ත ගැලවී යන නිවෙසක නම් එය අවධානම් නිවෙසක්.
රෝග ලක්ෂණ
මෙහිදී කායික හා මානසික වශයෙන් ආබාධ සහ අපහසුතා නිශ්චිතවම දැක්විය නොහැකි අතර කායිකව හඳුනාගෙන ඇති පොදු තත්ත්වයන් ලෙස එවැනි නිවෙසක හෝ ගොඩනැගිල්ලක සිටින කාලය ඇතුළත හිසරදය, ඇඟපත වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, පපුවේ අපහසුතා, නිදිමත, ඇස් කෙවීම සහ රිදීම, උගුරේ අපහසුතා, ශ්වසන අපහසුතා, නිතර ඇතිවන උගුරකට වියළීම හා විවිධ ආසාත්මිකතා ආදී කිහිපයක් දැක්විය හැකි අතර මානසික වශයෙන් නිතර පවතින මානසික ආතතිය, නොරිස්සුම, ක්ෂණික කෝපය, වැඩ කිරීම එපාවීම ආදී තත්ත්ව දැක්විය හැකිය. මෙම තත්ත්වයන් පවතින්නේ ගොඩනැගිල්ල හෝ නිවෙස තුළ සිටින කාලය තුළදී පමණක් වන අතර නිවෙසින් පිටතට පැමිණි පසු එම තත්ත්වයන් පහවී යයි.
ඖෂධයක් නැත
මෙම රෝගවලට කොතරම් ප්‍රතිකාර කළත් පලක් නොවන්නේ නිවෙස තුළ සිටින විට නැවත එම තත්ත්වය ඇති වන නිසයි. මෙම තත්ත්වය වළක්වා ගත හැක්කේ වාසය කරන නිවෙසෙහි ගුණාත්මකභාවය ඇති කිරීමෙන් පමණයි. ඒ අනුව මෙය කායික හෝ මානසික රෝගී තත්ත්වයක් නොව රෝගී ගොඩනැගිල්ලක් තුළ වාසය කිරීම නිසා ඇතිවන තත්ත්වයක් පමණයි. නිවෙසක පුස් වර්ග, දිලීර සහ පාසි බැඳෙන ස්ථානවලට නිසි පිළියම් යෙදීමත් ඉතා වැදගත්. නිවෙසක ඇතුළත තැබිය හැකි බොහෝ ශාක විශේෂ තිබෙනවා ඇතුළත කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ් සහ සල්ෆර්ඩයොක්සයිඩ් ආදී දූෂිත වාතාශ්‍රය පිරිසුදු කිරීමේ හැකියාව තිබෙන. එවැනි ක්‍රමයක් ද යොදාගත හැකියි. ඒ වගේම සතියකට සැරයක්වත් නිවෙසෙහි සියලුම ජනෙල් දොරවල් ඇර නිවෙස තුළට වාතාශ්‍රය ඇතුළත් වන ලෙස තබන්න. එය නිවෙස තුළ ඇති දූවිලි අංශු, බැක්ටීරියා විනාශ කිරීමට හේතුවකි. ඉස්සර අපේ නිවෙස්වල සතියකට වරක් අප භාවිත කරන කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, කුෂන් පුටු සහ සෝෆා ආදිය අව්වට දමනවා වේළීමට. ඒ තුළින් ඒවායේ තිබුණු දූවිලි, බැක්ටීරියා ආදී රෝග කාරක ඉවත් කිරීමක් සිදු වුණා.
නමුත් අද නිෙවසක එය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා පිරිසුදුකම ඉතාමත්ම වැදගත්. ඒ වගේම නිවෙසෙහි ආලෝක තත්ත්වය ගැනත් සැලකිලිමත් වෙන්න. දීප්තියක් සහිත විදුලි බුබුළු භාවිතය නිසා අක්ෂි ආබාධ, හිසරද තත්ත්වයන්, ආතති තත්ත්වයන් මතුවෙනවා. මුළු දවසම කෘත්‍රිම ආලෝක තත්ත්වයක වැඩ කටයුතු කිරීම අතිශයින්ම අවදානම් තත්ත්වයක් ඇතිකරනවා. නිවෙසක බිත්ති සඳහා ආලේප කළ යුත්තේ ඇසට ප්‍රිය සෞම්‍ය වර්ණයි. ඇසට අපහසු වර්ණ නිතර දැකීම අක්ෂි ආබාධ සහ මානසික රෝග ඇති කරලීමට හේතුවක් වනවා. නිවෙස තුළ නිතරම තිබෙන්නේ අපිළිවෙළ ස්වභාවයක් නම් හෝ තදබදය ස්වභාවයක් නම් එයින් ද ඔබ ඉක්මනින් මානසික රෝගියකු කරනු ඇත.
මෙය නිවෙසකට පමණක් නොව ඔබ වැඩ කරන කාර්යාල ගොඩනැගිල්ලට ද අදාළ වේ. ඔබ ඉන්නේ එවැනි කාර්යාලයක නම් කාර්යාලීය සින්ඩ්‍රෝමය (Office Syndrome) නමැති තත්ත්වය ඇතිවීමටත් ඉඩකඩ පවතිනවා.
එම නිසා පුස් බැඳුණු, දියසෙවල බැඳුණු, අපිළිවෙළ ඔබේ නිවෙස ඉක්මනින් පිළිසකර කරගන්න. එයින් ඔබේ නිවෙසත් ඔබවත් නීරෝගි කරනු ඇත.
උපදෙස්
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ
විශේෂඥ මනෝ වෛද්‍ය
කපිල රණසිංහ