වයස අවුරුදු 42ක දෙදරු මවක් වුණු සෙව්වන්දි පසුගිය දවස්වල හිටියේ පුදුමාකාර මානසික ආතතියකින්. කාටවත් කියන්නත් බැරි, ඒත් තවදුරටත් දරාගෙන ඉන්නත් බැරි අසනීප තත්ත්වයකින් ඇය පීඩා වින්දා. අන්තිමේදී ලජ්ජාව පසෙකින් තියලා වෛද්‍යවරයෙක් වෙත යන්න ඇය තීරණය කළේ තමන්ගෙ ගැටලුව දිනෙන් දින වැඩි වෙන බව දැනුණු නිසාමයි.
“ඩොක්ටර් දැන් සති කිහිපයක ඉඳන් මගේ යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවෙනවා. ඒක තරමක් දුගඳ ශ්‍රාවයක්. ඇත්තටම මේ නිසා මම පුදුමාකාර මානසික පීඩාවකින් ඉන්නෙ. මොකද මගේ මහත්තයා දුර පළාතක රැකියාවක් කරන කෙනෙක්. එයා ගොඩක් වෙලාවට එන්නේ සති අන්තයට. මගේ මහත්තයා හැර වෙනත් කෙනෙක් සමඟ මම ලිංගික සම්බන්ධයක් පවත්වලත් නැහැ. ඉතින් ඩොක්ටර් මේක සමාජ රෝගයක් නේද ? මේක මහත්තයගෙන් බෝවුණා වෙන්න ඇති.
ඒ කියන්නෙ මගේ මහත්තයා කාත් එක්ක හරි වෙන සම්බන්ධකම් පවත්වනවා නේද? ”
“පොඩ්ඩක් ඉන්න. දැන් ඔයාට කවුද කිව්වෙ මේක සමාජ රෝගයක් කියලා.”
” මම කියවලා තියෙනවා ඩොක්ටර් මේ වාගේ රෝග ලක්ෂණ සමාජ රෝගයක් තියෙද්දි මතු වෙනවා කියලා.”
” නෑ….නෑ….අපිට පරීක්ෂාවකින් තොරව එහෙම කියන්න බෑ. ඔයාගේ රෝග ලක්ෂණ ගැන මට විස්තර කියන්න.”
” මේක අළු-සුදු පැහැයට හුරු තුනී යෝනි ශ්‍රාවයක්. දැන් මාස දෙකක් තිස්සේ විතර ඉඳන්ම තියෙනවා. මහත්තයා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවාට පස්සෙ මේ ශ්‍රාවයේ දුර්ගන්ධ ගතිය වැඩි වෙනවා. ඒක හරියට පිළීගඳක් වගේ. මගේ මාසික ආර්තව දිනවල වාගේම ඊට පස්සෙ කාලයෙත් මේ තත්ත්වය වැඩියි කියලයි මට හිතන්නේ.”
” ඇත්තටම මුලින්ම කියන්න ඕනෙ මේ රෝග ලක්ෂණ විග්‍රහයෙන් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ එය බෝවන ලිංගික රෝගයක් නොවන බව. ඔබගේ යෝනි මාර්ගයේ පවතින බැක්ටීරියාවන්ගේ අසමතුලිතතාවක් තමයි මම දකින්නේ. බැක්ටීරියල් වැජිනෝසිස් (Bacterial Vaginosis) හෙවත්
යෝනි බැක්ටීරියා අසමතුලිතතාවය කියලා එය හඳුන්වනවා. මේ තත්ත්වයේදී සාමාන්‍යයෙන් යෝනි මාර්ගයේ තිබිය යුතු ලැක්ටොබැසිලස් බැක්ටීරියා වෙනුවට, වෙනත් නිර්වායු බැක්ටීරියා ගහනය වැඩි වී ඇති. මේක සාමාන්‍යයෙන් ජීවිත කාලයේදී කාන්තාවකට කිහිප සැරයක් ඇතිවිය හැකි තත්ත්වයක්. ඒ වගේම මේ තත්ත්වය වැඩිපුරම ඇතිවන්නේ ප්‍රජනන අවධියේ ඉන්නා කාන්තාවන්ටයි. එම බැක්ටීරියා අසමතුලිතතාවය ප්‍රතිකාරයක් නොමැතිව වුවත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.”
” ඒ කියන්නෙ ඩොක්ටර් මේකට ප්‍රතිකාර ගන්න අවශ්‍ය නැහැ කියලාද?”
” නෑ. එහෙම කියන්න බෑ. ඇතැම් අයට ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ගර්භිණී කාන්තාවකගේ නම් ඔය තත්ත්වය අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කර සුව කළ යුතු වෙනවා. ගර්හිණී සමයේ යෝනි මාර්ගයේ බැක්ටීරියා අසමතුලිතතාවය නිසා දරුවන් නියමිත කාලයට කලින් බිහිවීම, නවජ සූතික ආසාදන ඇතිවීම, ප්‍රසූතියෙන් පසු මවට ආසාදන ඇතිවීම සහ අඩු බර දරු උපත් සිදුවීම වාගේ නොයෙක් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මෙවැනි රෝග ලක්ෂණ ඇති කාන්තාවන්, ලිංගික සෞඛ්‍ය සේවා හෝ නාරිවේද සෞඛ්‍ය සේවා සඳහා යොමු වී ප්‍රතිකාර ලබාගත යුතුයි.”
“මේ සඳහා මොන වාගේ ප්‍රතිකාරයන් ද තියෙන්නෙ.”
” මෙයට ප්‍රතිකාර ලෙස ගිලින බෙහෙත් වර්ග හෝ යෝනි මාර්ගය තුළට ඇතුළු කරන ක්‍රීම් වර්ග භාවිත කළ හැකියි. හැබැයි ඒ සඳහා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න.”
“මෙවැනි රෝග තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට අප අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැනත් සඳහන් කරන්න.”
” මේ තත්ත්වය වළක්වා ගැනීමට පිළිපැදිය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා.”
1. ලිංගික ආශ්‍රය විශ්වාසවන්ත එක් අයකුට පමණක් සීමා කරන්න.
2. යෝනි සිදුර තුළට ඇඟිලි දමා සේදීමෙන් වැළකී සිටිය යුතු අතර එසේ කිරීමෙන් යෝනි ආරක්ෂිත බැක්ටීරියා ඉවත්වීම සිදුවේ.
3. යෝනිය ස්වභාවිකව පිරිසුදු වන ස්ථානයක් බැවින්, අනවශ්‍ය ලෙස සුවඳ ගැල්වූ සබන්, ෂැම්පු, සුවඳ විලවුන්, ස්ප්‍රේ ආදිය ගැල්වීමෙන් වළකින්න.
4. ආර්තව අවධියේ වරින්වර සනීපාරක්ෂක තුවා ආදිය මාරුකර ඉතාමත් පිරිසුදුවට සිටින්න.
5. දුම් පානයෙන් වළකින්න.
6. සමතුලිත ලෙස ආහාරපාන ලබාගන්න.
මෙම තත්ත්වය කාන්තාවකට වසරකට දෙතුන් වතාවකට වඩා ඇතිවන්නේ නම්, ඒ සඳහා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර වගේම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව සලකන්න. එමෙන්ම මෙය ලිංගිකව බෝවන රෝගයක් නොවන බවද සලකන්න.
උපදෙස් –
විශේෂඥ වෛද්‍ය
අජිත් කරවිට
ලිංගිකව බෝවන රෝග, එච්.අයි.වී හා ලිංගික සෞඛ්‍යය
අනුරාධපුර ශික්ෂණ රෝහල
චම්පා වරුසප්පෙරුම