Thursday, August 28, 2025
Epaper
Home විශේෂාංගඔබේ ව්‍යාපාරයට ඇප නැති ණයක්

ඔබේ ව්‍යාපාරයට ඇප නැති ණයක්

ණය ලබා දිමේදී කාන්නාවන්ට විශේෂ තැනක්

by Thanushika

කුරුඳුවලින් කුරුඳු තේ ඇතුළු විවිධ නිෂ්පාදන කරද්දි සංජුට හිතුණා කුරුඳුවලින් සබන් කෑල්ලක් හදන්න. විරල නිෂ්පාදන අයිතමයක් වේවි යැයි සිතූ නිසා එයට හොඳ ඉල්ලුමක්ද පවතී යැයි ඇගේ සිත කීවා. එහෙත් මුලින්ම යම් ආයෝජනයක් එහෙමත් නැත්නම් ප්‍රාග්ධනයක් යොදවන්නට ඕන. ව්‍යාපාරය පවත්වාගෙන යෑමට, නැවත නැවත අමුද්‍රව්‍ය ලබා ගැනීමට එනම්, පුනරාවර්තන වියදම් සඳහාද යම් යම් මුදල් අවශ්‍ය වෙනවා.

ව්‍යවසායිකාවක් වෙන්න ඈ හීන මැව්වේ පාසල් වියේ පටන්. කෙනකුගේ ඒ හීන එහෙම පිටින්ම දියාරු වී යන්නේ මූලික ප්‍රාග්ධනය සපයා ගැනීම පිළිබඳ දුෂ්කරතාව සහ ඒ තුළින් පැන නඟින ණය ලබා ගැනීමේ ගැටලුව නිසා.

මෙහිදී බැංකු සහ පිළිගත හැකි මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීම ලංකාවේ සම්ප්‍රදාය. එහෙත් එසේ ණය ලබා ගැනීම මේ, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක්.

බොහෝ විට දේපළක් ඇපයට තබන්නට සිදුවෙනවා. ණයක් ලබාදීමේදී සුරැකුමක් හෙවත් ඇපයක් ලබා ගන්නට මූල්‍ය ආයතනයක් හැම විටම පෙලඹෙනවා. ව්‍යාපාරය මොනතරම් ලාභදායිව කළත් ණය පිළිබඳ ගැටලුව නිසා පිටත ඇති අවිධිමත් ක්‍රමවලට, එසේත් නැතිනම් පොලී මුදලාලිගෙන් ණය ගෙන ව්‍යාපාරය කරගෙන යෑමට බොහෝ දෙනකුට සිදුවන්නේ මේ නිසා. ණය උගුලකට සිරවීම නිසා ව්‍යාපාරය කඩා වැටෙන්නේද නොදැනුවත්වම. රජයේ ආර්ථිකයට සක්‍රිය දායකත්වයක් දැක්වීමට ඇති අවස්ථාවද අහිමි වී යනවා.

මේ Loan එක ගන්න අපි මොනවද කරන්න ඕනේ?

රජයේ සහ පුද්ගලික අංශයේ ප්‍රධාන බැංකු ඇතුළු මූල්‍ය ආයතන 13ක් හරහා මෙලෙස ව්‍යාපාරික ණය ලබා ගැනීමට මෙම ක්‍රමය යටතේ හැකියි.

එසේ නම් ණය මුදලක් ලබා ගැනීමට සිතන ඔබ පළමුව යන්නේ බැංකුවකට හෝ මූල්‍යායතනයකට. මෙහිදී ජාතික ණය සුරැකම් ආයතනය අදාළ හවුල්කාරීත්ව මූල්‍ය ආයතන ඒ පිළිබඳ දැනුම්වත් කර තිබෙනවා.

ව්‍යවසායිකාවක වීමේ හීනය සැබෑ කරගන්නට ‘ජාතික ණය සුරැකුම් ආයතනය’ දැන් ඔබේ පිහිටට සිටිනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 50ක ආයෝජනයක් සහ තාක්ෂණික සහාය සහිත මුල පිරීම ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඇප රහිත ණය ලබා දෙනවා.

මේ ණය මුදල ලබාදෙන ඉලක්ක ගත කණ්ඩායමක් සිටිනවද?

මෙම ණය ලබාදීමේදී ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ කාන්තාවන්ට. ඒ ‘ලිය ශක්ති’ වැඩසටහන යටතේ.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන්හි නියුතු කාන්තා ව්‍යවසායිකාවන් මෙහිදී ඉලක්ක කෙරෙන්නේ.

⁣කොපමණ ණය මුදලක් ගන්න පුළුවන්ද?

ලක්ෂ 5හේ සිට 250 දක්වා ණය ලබා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙනවා.

මේ ණය මුදල ලබාගන්න කොපමණ කාලයක් ගතවෙනවද?

මූල්‍ය ආයතන විසින් සාමාන්‍යයෙන් ණය මුදලක් අනුමත කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේද මෙහිදී ද අනුගමනය කරන්නේ. ගනුදෙනුකරු ණය අවශ්‍යතාව ඇගයීමට අවශ්‍ය තොරතුරු සැපයීමෙන් පසු මූල්‍ය ආයතනය විසින් අනුමත කරන ලද ණය යෝජනා පත්‍රය ණය සුරැකුම් ආයතනයේ අනුමැතිය සඳහා යොමු කෙරෙනවා. මේ සඳහා ගතවන කාලය අදාළ තොරතුරු ලබා දීමේ කාර්යක්ෂමතාව මත තීරණය වෙනවා.

මේ ණය මුදල ගෙවාගෙන යද්දී යම් හෙයකින් ගෙවීම පැහැර හැරුණොත් ඉන් ඉදිරියට මොකද්ද වෙන්නේ?

යම් හෙයකින් ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරියහොත් අදාළ මූල්‍යායතනයට ජාතික ණය සුරැකුම් ආයතනය වග වෙනවා. මෙහිදී කාන්තාවන් සඳහා ඇති විශේෂත්වය නම් ඔවුන් වෙනුවෙන් ලබා දෙන ඇපකර ආවරණය සියයට 80ක්. එනම්, කාන්තා ව්‍යවසායිකාවක් ලක්ෂ 10ක ණය මුදලක් ලබා ගතහොත් ලක්‍ෂ 8ක් සඳහාම ඇපකර ආවරණය ලබාදෙනවා.

මේ සඳහා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද?

සාමාන්‍යයෙන් ණයක් ලබා ගැනීමේදී පුරවන ණය ඉල්ලුම්පත්‍රය හා අනෙකුත් මූලික ලියකියවිලි මුලින්ම සැපයීම සිදුවේවි. අලුතින් පටන් ගන්නා ව්‍යාපාරයක් නම් ව්‍යපෘති වාර්තාවක් ඇතුළු මුලික ලියවිලි ඉදිරිපත් කළ යුතුයි. ඒ සියල්ල බැංකුව හරහාම සිදුවේවි. අදාළ ණය මුදල අනුමත කළ පසු මූල්‍ය ආයතන සහ ජාතික ණය සුරැකුම් ආයතනය එක්ව ඇපකරයද අනුමත කරනු ලබනවා. ඇපකර ගාස්තුව ලෙස ඇපකර ආවරණයෙන් 0.5% – 1.25% අතර පරාසයක වූ ඇපකර ගාස්තුවක් අයකරයි. එම මුදල් ඔබ විසින් දැරිය යුතුයි.

කලින් ණය මුදල් ගෙවීම පැහැර හැර සිටියොත්, මේ ණය මුදල ලබා ගන්නට එය බාධාවක් ද ?

Crib history එක ඕනෑම ණයක් ගන්නා කෙනෙක්ගේ අවධානය යොමු කරන්නක්. මෙහිදී ද එය එලෙසම ක්‍රියාත්මක වෙනවා. ණය ඉතිහාසය පිළිබඳ (Credit history) සලකා බැලෙනවා. සාධාරණ හේතුවක් මත මීට පෙර ලබාගත් ණය නොගෙවා සිටියේ නම් හා එය පියවීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් ණය ලබා දීමට මූල්‍ය ආයතන විසින් සලකා බලනු ලබාවි.

සාමාන්‍යයෙන් බැංකුවකින් ලබා ගන්නා ණයක් නොගෙවා සිටියෝතින් අනුගමනය කරන ක්‍රමවේද මෙහිදීද ක්‍රියාත්මක වේවී.

තවද ජාතික ණය සුරැකුම් ආයතනය ඔබ වෙනුවෙන් අදාළ මූල්‍ය ආයතනයට ඇපකරයක් ලබා දුන්නද ඔබ විසින් ලබා ගන්නා ලද ණය මුදල එයට අදාළ කොන්දේසි අනුව නියමිත කාලය තුළදී ලබාගත් ආයතනයට නැවත ගෙවීමේ වගකීම ඔබ සතුව ඇති. එය මෙම යෝජනා ක්‍රමය යටතේ ඔබ වෙත ඇති බැඳීමකි.

මේ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුවක් ක්‍රියාත්මක වීමක්ද?

රටේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීම මඟින් ආර්ථික සංවර්ධනය ඇති කිරීම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන අරමුණක් වන අතර 90% රාජ්‍ය හිමිකාරීත්වයක් සහිත ජාතික ණය සුරැකුම් ආයතනය මෙම අරමුණ ඉටු කර ගැනීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමේ අරමුණින් පිහිටුවා තිබෙනවා.

 

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?