Tuesday, September 2, 2025
Epaper
Home කවි හිමිදිරියහිමිදිරිය

හිමිදිරිය

by Thanushika

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ [email protected] වෙත යොමු කරන්න.

අද හිමිදිරියට කවි තෝරන ඔහු කපිල කුමාර කාලිංග

පුවත්පත් රැසක මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කළ කපිල කුමාර කාලිංග රයිනෝසිරස්, උක්දඬු ගින්න, සිහින සාප්පුව, බැංකු වීරයා වැනි නාට්‍ය රැසක් ද අධ්‍යක්ෂණය කළේය. ‘වනබිමේ සිරකරු‘ ටෙලි නිර්මාණ‍ෙය් අධ්‍යක්ෂවරයා ද ඔහුය. ‘දෑකැති මුවහත’, ගංදෑල නිසලයි‘ වැනි ටෙලි නිර්මාණ ගණනාවක් රචනා කරන ඔහු ජනප්‍රිය ගී පද රචකයෙකි. කවියෙක්, ගුවන් විදුලි නාට්‍ය රචකයෙක්, කෙටිකතාකරුවෙක්, ගමන් විත්ති රචකයෙක් හා නවකතාකරුවෙක් ද වන ඔහු පියැසි කවුළුව, කන්දේ වීදිය වැනි නවකතා රචනා කළ කපිල ලියූ ‘අදිසි නදිය‘ නවකතාව 2019 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය. දුඹුරු වලාකුළු, කෙටි වුණත් ඒ කවි හා විදෙස් කවි උයන ඔහුගේ කාව්‍ය කෘතීන්ය. ‘වසන්තයේ අග’ 2024 විශිෂ්ට ගීත රචනා එකතුවට හිමි රාජ්‍ය සම්මානය හිමිවිය.

ආරාධිත කවිය

හුස්ම ගන්නා පොතක්

විරහවේ රොමැන්ටික සිතුවමක්
ස්නේහයේ මනා පසු විපරමක්
දෝංකාරය නොදුන් වෙඩි හඬක්
ඒ කුඩා පුස්කොළ පොතක්

කියවා ගත නුහුණු තැන් එමට
කිසිදු වැකියක් නැත සුමට
හදවතක් ඇති ඒ පොතට
බරසාරයේ විමසුම් කුමට

බිඳී රිදී පලුදු වූ තැන්
හදේ බිතු දෙදරා ගිය තැන්
යකුන් විත් රීරි මස් උරා බිව් තැන්
පොත එපා කළ පාළු මූසල තැන්

ලොව හසුරුවන මායාව යථාව
නොතේරෙන බසින් පවසයි ඒ කතාව
විසංවාදී ගැහැනියක මංමුළාව
හුස්ම ගන්නා පොතක් වී නඟයි සිනාව

ස්වර්ණා කාන්ති පෙරේරා


පිය සබඳ ඔබ….,

දෙනෝදාහක් නාඳුනනා
දනන් මැද
හඳුනා ගත්තෙමි…
දුටු මතින් එකෙණෙහිම ඔබ

හදඹර වලාකුළින්
වැසෙද්දිත් දුකඳුරින්
හඳුනා ගත්තෙමි …
සොඳුරු සඳවත ඔබ

සංසාර සාගරේ
පිහිනනා සඳ විඩාබරව
හඳුනා ගත්තෙමි …
මහරු දුපතක්ව ඔබ

මහා වාලුකා කතරෙහි
සරනා කල දිවා රෑ දෙකෙහි
හඳුනා ගත්තෙමි…
ක්ෂේම භූමියක්ව ඔබ

නයන්ත ජගත් පුංචිහේවා


අම්මා

හදවතේ ලැගුම් ගන්නට
ආදරයේ මිහිරියාව දනවන
පෙම් ගී අලංකාර පබඳින්නට
හැකි වුවද ගීයකට
ආදරය නම් අකුරු සතරක w
වැසිය නොහැක
අගුළු දමා
මවු සෙනෙහස

ගහක් වගේ නොසැලී
ලොවක් තනන අම්මා
සදාකාලික ආදරයේ උල්පත
ඇයයි
සෙනෙනේ දම් තැනූ
ජීවිතය ගෙතූ
දෙවඟන ඇයයි


හොඳම කවිය

තුනපහ සුවඳ

උදෑසන උයාගත්
පරිප්පු හොද්දෙන්
දැනෙන්නේ අපුලකි
කඩ සහල් බත
පිළුණු ගතියට හැරී ඇත

තුන් වේලටම
එකම වට්ටෝරුව ගෙන
කුසද ලෙඩ ගානේය
වළලු ලූ අතකින් පිසූ
මැල්ලුමක රස
උරුමකම් කියන්නේ අතීතයටය
බත් කන්නට අඬගසන
රතු කැකුළු බත් කඩ ඇතත්
ඒවායේ ද දිවට හුරු රස නැත

කුඩා කළ ගුළි සදා
පෙරැත්තයෙන් කැවූ අතක
පසු කලෙක කෑ
තෙම්පරාදුවක සැර මතක
දැනුදු රසවත්ය

බොහෝ සෙනෙහස බෙදූ
ගැහැනු ආත්මයන්
ඉතිරිකර ගොස් ඇති මතක
තුනපහ සුවඳය

කෑම කටකින්
හදවතක් අයිති කරගැනීමේ කලාව
හඳුනන්නේ ගැහැනුන් පමණමය

ෂර්මිලා බංදුනී දංවත්ත

ෂර්මිලා බංදුනී දංවත්තගේ “තුනපහ සුවඳ” කියවා නිම කළ සැණින් දැනුණු උත්ප්‍රාසාත්මක බව, කෙමෙන් මැකී ගොස් කිසියම් සංවේගී හැඟීමක් සිත පුරා දිවෙන්නට විය. මා මෙය කියවන්නේ පුරුෂ කෝණයකිනි.

ඒ නිසාම, සෙනෙහස බෙදූ ගැහැනු ආත්මයන් ඉතිරිකර ගොස් අැති නොයෙක් සුවඳ දැනෙන්නට වෙයි. එය තෙම්පරාදු වූ රස මතකයන් තුළින් උපන්නකි.
බත් කන්නට අඬ ගසන බත් කඩ ඇතත්, ඒවායේ ද දිවට හුුරු රස නැත.

ෂර්මිලාගේ කවිය පුරා විසිර ඇති තුනපහ රසය, ඕනෑවටත් වැඩිය. එසේ හෙයින්, අවසන් පේළි තුන නොතිබුණා නම් වඩාත් හොඳ යැයි සිතෙයි.

කෑම කටකින් හදවතක් අයිතිකර ගැනීමේ ගැහැනු කලාව හරි අපුරු කවියක්. පිළුණු නොවන කවියක්.


සොරා ගත්ත මයෙ හදවත

ජපන් අරලියා පැහැබර දෙඅදර ඔ‍බෙ රතු
හිතෙන් රහ බලන්නේ ඔබ නිසාය අන්සතු
බලෙන් ගෙනෙන්නත් දුක හිතෙනවා ඇහුවම තතු
පතන්නෙමි යළිදු භවයක වන්නට මා සතු

නීලනුවන් යුගලය මට ඔබේ සෙනෙහෙ පිදු
සීලවන්ත හිතක දැහැන් වුව බිඳෙනා
මුදු ආලවන්තකම් පාමින් ගයමින් ගී සින්දු
කෝල බැලුම් ලා හිත දණ ගැස්සූ ලන්දු
නළලත කුංකුම තිලකය ඇස්වහ මැතිරූ
මරකත් මිණ දුටු දුටු නෙත ගිනිකන වැටුණු

සඳවත රිසි උරුවිසි නෙත කඳුළින් පිරුණු
සිරිකත වැඩියා හදඹර මැද ඇඳ දේදුනු
හංස පූට්ටුව මයෙ හිත කරපු මාට්ටුව
පවස නිවන සිසිල පිරුණු රතු ගුරුලේත්තුව
ඔමරිපාන මයෙ නලඟන රඟන ජේත්තුව
සොරා ගත්ත ම‍ෙය හදවත රැන්දු සේප්පුව

රාජගුරු එම්. දිසානායක
ඇතුගලනුවර


සන්නාලිය

ඉදිකටු මලින් දුටිමි
ගණින හැටි මහත්තුරු
කඳුළු පිරුණු රන් කාසි

ලීල් චන්ද්‍රසිරි
නෑගම්පහ


යථාර්ථය

එක
දෙක
එක

මලින්ත බෝපෙආරච්චි
කැලණිය


නිහඬ ලියමන

නිහඬ ලියුමක් කතාවේ
අපෙ අවසනේ මා ලියනවා
කෙසේ ඔබ අත තබන්නද
එය මගේ හිත මට රවනවා
සුසුම් තවරා නැමූ ලියුමත්
සමරු පිටු මත තබනවා
කල් ඉකුත් බව දැන දැනත් මා
ලියුම් කොළ ගොඩ ගහනවා

නිමාවක් නැති බැලුම් තිබු ඔය
ඔබේ නෙත් දෙස බලනවා
ආදරේ පොඩ්ඩක්වත්ම නැති හැටි
මගේ ඇස් මට කියනවා
රිදුම් තවරා හැඟුම් බින්දේ
මමම නොවෙදෝ අහනවා
අසංවර මගෙ හිතට තරයේ
මමම තරවටු කරනවා

තවත් ලියුමක් නිහඬ කරලා
ආදරේ බව ලියනවා
නොදැනෙනා මුත් ඔබට මා හද
මට හැඟෙන බව කියනවා
හදේ දුක් ගිනි නිවූ විට මා
ආදරේ ඇවිළුණු දැනෙනවා
ඉදින් කුමටද දැවෙන ප්‍රේමය
අළු වෙනා සැටි සිතෙනවා

පවනි මල්ෂා – තිත්තපත්තර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?