Friday, October 3, 2025
Epaper
Home නීතියතර්ජනය කිරීම නීති විරෝධියි

තර්ජනය කිරීම නීති විරෝධියි

by Thanushika

සැමියාගේ වියෝවෙන් පසු සිය තරුණ වියේ පසු වූ දරුවා මෙරට සිටියදී මැද පෙරදිග ඉසුරු සොයා යන්නට කාන්තිට සිදු විය. එහිදී ජාවාරම්කරුවකුගේ වහසිබසට ඇය රැවටිණි. කාන්ති මුල් කරගනිමින් විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යාමට ජාවාරම්කරු සමත් විය. ඔහුගේ අරමුණ වූයේ විදෙස්ගත වීමට පහසුකම් සැපයීමේ මුවාවෙන් මිනිසුන්ගෙන් මුදල් එකතු කර ගැනීමය. නොදැනුවත්කම නිසා කාන්ති සිය තරුණ පුතා ද මෙම කටයුත්තට හවුල් කර ගත්තාය. රට රැකියා ලබා දීම වෙනුවෙන් අවශ්‍ය මුදල් තැන්පත් කෙරුණේ කාන්තිගේ පුතාගේ නමින් මෙරට පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමකය. කල්ගතවත්ම ජාවාරම්කරු ඒජන්සිය වසා දමා අතුරුදන් වූ අතර කාන්ති කිසිදු හව්හරණක් නොමැතිව නොරටක තනි වූවාය. ඒජන්සියේ සේවය බලාපොරොත්තුවෙන් කාන්තිගේ පුතුගේ ගිණුමෙහි මුදල් තැන්පත් කළ පිරිස කෙළින්ම ගොදුරු කර ගත්තේ මෙරට ජීවත්වන කාන්තිගේ පුතුවය. අගතියට පත් මුදල් තැන්පත්කරුවන් නඩු මඟට අවතීර්ණ වූ පසුවද නඩු කටයුතු අතරතුර කාන්තිගේ පුතුට විවිධාකාර තර්ජන, බලපෑම් කළහ.

කාන්තිගේ පුතු මෙහිදී ඍජුව මෙම වංචාවට සම්බන්ධ වී ඇත්ද නැත්ද යන්න නඩුව අවසාන වනතුරු තීරණය කළ නොහැකිය. මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක වන්නේ කුමන නීතිමය තත්ත්වයක් ද යන්න අපි සොයා බලමු. ‍

නඩු කටයුතුවලට පැමිණ ආපසු යමින් සිටියදී හෝ නඩු කටයුතුවලට සහභාගි වීමට පැමිණෙමින් සිටියදී ඇති කරගන්නා ගැටුම්වලදී පුද්ගලයන් මිය යන අවස්ථා පවා අපට දක්නට, අසන්නට ලැබේ. නඩු කටයුත්තක් යනු යම්කිසි ගැටලුවක් අධිකරණ මැදිහත් වීම තුළින් ස්වාධීනව හා අපක්ෂපාතී ලෙස විසඳා ගැනීමට ගනු ලබන පියවරකි. මෙය සෑම පුරවැසියකුටම පොදුවේ සමානව ක්‍රියාත්මක වන කාර්යයක් බවට පූර්ව නිගමනයක් පුරවැසියන් තුළ පවතියි. එමෙන්ම එසේ ඉටු කරවා ගැනීමට නිසි අවබෝධයක් සැලකිල්ලක් සහ මනා පරිචයක් සියලුදෙනා තුළ තිබිය යුතුය.

පොලීසියට දැනුම් දෙන්න

ලංකාවේ නීතිය අනුව යම් පුද්ගලයකු අධිකරණයක් මඟින් වරදකරුවකු බවට තීරණය කරන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයකු වේ. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) වගන්තියෙන් පැහැදිලිව දක්වා ඇත.

ඒ අනුව කාන්තිගේ පුතුට එරෙහිව මේ වන විට යම් නඩු කටයුත්තක් ආරම්භ කර ඇත්නම් එය නිවැරදි ක්‍රමයට අනුව අවසන් වනතුරු පාර්ශ්වයන් නීතියට ඉඩ දිය යුතු වේ.

යම් හෙයකින් විත්තිකරුට එරෙහිව තර්ජනය කිරීම්, බලපෑම් කිරීම් සිදු වන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දිය යුතු වන අතර ඒ සම්බන්ධව වෙනමම නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වේ.

මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කිරීම

එමෙන්ම මේ වන විට කාන්තිගේ පුතුට එරෙහිව ක්‍රියාත්මක වන නඩු කටයුත්තේ දී අදාළ නඩු වාරයේ දී මහේස්ත්‍රාත්වරයාට මේ පිළිබඳ දැනුම් දීම ඔහුට සිදු කළ හැකිය. එවිට නඩු කටයුත්ත අවසන් වන තුරු බලපැවැත්වෙන පරිදි අදාළ නියෝග නිකුත් කිරීම අධිකරණය විසින් සිදු කරනු ලැබේ.

අවදානම

මෙම සිදුවීම තුළ තවත් පැතිකඩක් තිබේ. විදේශගත වීම සඳහා ඒජන්සි නැත්නම් නියෝජිතායතන තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳ කොතෙකුත් ජනතාව දැනුම්වත් කර තිබුණද සාමාන්‍ය ජනතාව ඒ පිළිබඳ තැකීමක් නොකිරිම මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන්ට බලපා ඇත. අඩුම තරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එක්වරක් හෝ ගොස් අදාළ නිලධාරීන් හමු වී තමා සම්බන්ධ වීමට සූදානම් වන ආයතනය රජයේ ලියාපදිංචි, නිත්‍යනුකූල ආයතනයක් ද යන්න තහවුරු කර ගැනීමවත් සමහර පුද්ගලයන් සිදු කරන්නේ නැත. යම් පුද්ගලයකු පිළිබඳ පවතින විශ්වාසය මත පමණක් පදනම්ව මෙවැනි මුදල් ගනුදෙනුවලට එළඹීම ඉතා අවදානම් වේ.

අනිත් අතට රැකියා සඳහා විදේශගත වන කාන්ති වැනි මෙරට කාන්තාවන් හැකිතාක් මෙවැනි වංචාකාරී පුද්ගලයන්ගෙන් ඈත්වී සිටීමට බුද්ධිමත් විය යුතුය. සමාජය පිළිබඳ පවත්නා නීති පිළිබඳ හරිහැටි අවබෝධයක් නොමැතිකම නිසා අසරණ කාන්තාවන් මෙවැනි අපරාධවල ගොදුරු බවට පත් වේ.

ද්විපාර්ශ්වික සබඳතා

විශේෂයෙන් විදේශ රටවල සිට පුද්ගලයන් විසින් මෙහෙයවන තැනැත්තන් වෙළෙඳාම් කිරීම හා ඒ ආශ්‍රිත වංචනික අපරාධවලදී සැබෑ අපරාධකරුවා නීතිය ඉදිරියට ගෙනඒමට අගතියට පත් පාර්ශ්වයට පමණක් නොව රාජ්‍ය පාර්ශ්වයට ද විශාල ප්‍රයත්නයක් දැරීමට සිදුවේ. අපරාධකරුවන්, විත්තිකරුවන් නීතිමය කටයුතු සඳහා මෙරටට ගෙන්වා ගැනීම අභියෝගාත්මක වන අතර ද්විපාර්ශ්වික සබඳතා මඟින් නීතිය ක්‍රියාත්මක කිරීමට විශාල වශයෙන් කාලය හා මුදල් වැය වේ.

බලපෑම් කළ නොහැකියි

මෙම සිදුවීමේදී සැබෑ ලෙසම මෙම වංචාව සිදු කළ පුද්ගලයා වෙනුවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ කාන්තිට හා ඇගේ පුතාටය. එයිනුදු කාන්තිගෙ පුත්‍රයා මෙරට සිටින නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. ඔහුගේ ගිණුමට බැර කරන ලද මුදල් නීතිය හරහා නිසි පරිදි අගතියට පත් පාර්ශ්වයට බෙදා දෙන තුරු ඔහුට කිසිදු බලපෑමක් සිදු කිරීම කළ නොහැකි අතර ඔහු සැබෑ ලෙසම මෙම වංචාවට හවුල්කරුවකු ද යන්න නඩු කටයුත්ත අවසානයේ තීරණය කර අපරාධ වගකීමට ලක් කරන තුරු පාර්ශ්වයන් සාවධානව හා ඉවසිලිවන්තව සිටිය යුුතුවේ.

නීතිඥ චන්දිවරී මල්ලවආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?