Friday, October 3, 2025
Epaper
Home නීතියසියුමැලි ද ගැහැනු?

සියුමැලි ද ගැහැනු?

by Thanushika

ගැහැනු සියුමැලිය යනු පුරුෂ මූලික ආඛ්‍යානයකි. පැරණි කවිකතාවල ගැහැනු වර්ණනා කිරීමට යෙදූ උපක්‍රමයකි. ඒ පිරිමින් ගැහැනුන්ව දකින්න කැමැති ආකාරයයි. මෙය විශ්වසාධාරණීය වූවක් නොවේ.

අප්‍රිකාවේ ගොපලු ගැහැනු සියුමැලි ද? පසුගිය දිනවල මා ඉන්දියානු පර්යේෂණ චාරිකාවක යෙදුණු අතර මම ඉන්දීය භූමියේ ගැහැනු දුටුවෙමි. ගිනිකූටක අව්වේ එළුවන් බලා ගන්නා ගැහැනු මට හමුවිණි. සාරි ඇඳන් සිමෙන්ති අනන ගැහැනු මට හමුවිණි. පාරේ අගල් කපන ගැහැනු මට මහමඟ හමුවිණි. මොවුන් ගැහැනු නොවන්නේ ද? මොවුන් සියුමැලි ද?

තේ දලු නෙළන ගැහැනු සියුමැලි ද ? මහපාරේ තාර දමන ගැහැනු සියුමැලි ද? ගල් කඩන ගැහැනු සියුමැලි ද? ලෝකයේ ගැහැනු හෝ පිරිමි සියුමැලි නැත. බර වැඩ කරන ගැහැනු ද පිරිමි ද සිනිඳු නැත. සිනිඳු වැඩ කරන ගැහැනුන්ගේද පිරිමින්ගේද අත් පා සිනිඳුය. තම තමා කරන වැඩ අනුව එය වෙනස් වේ.

පුරුෂ නිර්මිත ලෝකයේ ගැහැනු සියුමැලි යැයි සිතන්නට ගැහැනු ද පිරිමිද කැමැතිය. ගැහැනු සියුමැලිව ඉන්නට ද උත්සාහ කරති. මෙය සමාජ නිර්මිතයකි. පිරිමි ශක්තිමත්ය ගැහැනු සියුමැලිය, දුර්වලය යනු අනෙක් අතට බල මෙවලමකි. පිරිමියාට බලය පැවරීමකි. එතැනදී ගැහැනියකගේ සමාජ බලය, උගත්කම පවා පිරිමියකුගේ ලිංගික බල අධිකාරියට යටත් වේ.

එවිට දුර්වල යැයි සිතන ගැහැනු දූෂණය කරන්නට, අපහරණය කරන්නට පිරිමියාට බලයක් ඇතැයි පිරිමි සිතයි. එයට සමාජ පන්තිය හෝ ගැහැනියගේ සමාජ බලය පවා අදාළ නැත. අපගේ විශ්වවිද්‍යාලවල බලයෙන් පහළ සිටින පිරිමි පියන් කෙනෙකුට බලයෙන් ඉහළ සිටින ගැහැනු කථිකාචාර්යවරියකට ලිංගික හිංසන කරන්නට හැකි වන්නේ එබැවිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන බිරියට පහර දෙන්නට එවැනි සමාජ බලයක් නැති ඇගේ සැමියාට ලයිසන් ලැබෙන්නේ එහෙයිනි.

මේ නිසා ගැහැනු සිනිඳු යැයි ද, සියුමැලි යැයි ද, දුර්වල යැයි ද යනුවෙන් ඇති අාඛ්‍යානය නැවත වරක් අප විමසිය යුතුය. එසේ ගැහැනු සිනිඳු නම් මම ඉහත කී ආකාරයේ බර වැඩවලින් ගැහැනු වෙන්කර තබා සමාජය ඇයට සිනිඳු ආකාරයෙන් සිටින්නට ඉඩ දිය යුතුය.

එහෙත් එය එසේ වන්නේ නැත. රළු ජීවන අරගලය ඇය අතට සමාජය දී ඇගෙන් සිනිඳු බව අපේක්ෂා කරයි. ඒ සිනිඳු බව බල ධූරාවලියේ ඇය යටින් තබා ඇය පෙළන මෙවලමක් බවට පත් කරයි. ඇගේ උගත්කම, රැකියාව හෝ සමාජ බලය කිසිවක් පුරුෂාධිපත්‍යයට අදාළ වන්නේ නැත. දුම්රියේ වඩේ විකුණන මිනිසාට පවා උසස් රැකියාවැති තරුණියක දූෂණය කරන්නට බලය ලැබෙන්නේ මේ නිසාය.

මෙය වෙනස් කිරීමට නම් ගැහැනු ශක්තිමත් කිරීමේ ආකල්පයකට අප මාරු විය යුතුව තිබේ. එය කරන්නේ කෙසේදැයි අපි ඉදිරියේදී විමසමු.

සංජීවනී රූපසිංහ

‍‍ෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධයන අංශය

කැලණිය විශ්වවිලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?