මාධ්‍යවේදිනී තිලානි ශානිකා විතානාච්චි ලියූ කුලුඳුල් කෘතිය ‘අරණේ සිත්තරා’ ජ්‍යෙෂ්ඨ ඡායාරූපවේදී ජී. හෙට්ටිආරච්චි මහතාගේ චරිතාපදානය එළිදැක්වීමේ උත්සවය පසුගියදා 21 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨ ශ්‍රවණාගාර ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපුල් ජයන්ත රනේපුර සහ සරසවිය ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර යන විද්වතුන්ගේ ප්‍රධාන දේශන සමඟ මෙහෙයවීම සිදු කරන ලද්දේ ස්වාධීන රූපවාහිනියේ ප්‍රවීණ නිවේදක මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර විසින්.
කලාකරුවන්, ආචාර්ය මහාචාර්යවරුන්, මාධ්‍යවේදීන්, පාඨකයන් ඇතුළු රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ඒ උළෙලේ දී ඒ උපහාරයට ලක් කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ ඡායාරූපවේදී ජී. හෙට්ටිආරච්චි මහතායි. මේ වනවිට අසූහත්වැනි වියේ පසුවන ඒ මහතාගේ ඡායාරූප දිවියට වසර හැත්තෑපහකි. ඔහුගේ ජීවිතය අලළා ලියැවුණු ‘අරණේ සිත්තරා’ තිලානි ශානිකා විතානාච්චි විසින් චරිත කතා පිළිබඳ කරන ලද පර්යේෂණාත්මක කෘතියකි. එය පර්යේෂණාත්මක කෘතියක් වුවද සරල බස් වහරක් ඔස්සේ, වෙනස්ම ආකෘතියක් භාවිත කරමින්, එකහුස්මට කියැවිය හැකි, නවකතාවක ආකාරයෙන් ලියා තිබීම සුවිශේෂියි.