මල් ඉත්තක වැසූ කුරුලු පොඩිත්තෙකි. එකිනෙකට වෙනස් වර්ණ නිසා මේ දසුනේ ඇත්තේ අපූර්ව සුන්දරත්වයකි. ඔබත් කැමැති නම් මේ ජපන් හා චීන ක්‍රමයට නෑකම් කියන ලස්සන මල් පොකුර මසා ගන්න. සකුරා සහ බ්ලොසම් මල් මොනතරම් හැඩකාරදැයි ඔබටම වැටහේවි.
මෙලෙසින් නිර්මාණය කරගනිමු
සුදු පාට ලිනන් රෙදි කොටසක් ගෙන ළා නිල් පැහැයෙන් වර්ණ ගන්වා ගන්න. එහි පහළ තැනින් තැන ළා කොළ පැහැයෙන් වර්ණ ගන්වා වියළා ගන්න. දළ සටහනක් පිටපත් කර රෙදි කොටස රාමුවට දමා මැසීම අරඹන්න.
ලොකු මල්පෙති අඟලක් පළල සුදු පාට රිබන් භාවිත කර කෙළින් මැස්මෙන් හා රිබන් මැස්මෙන් බුරුලට පෙතිවල ස්වභාවික පෙනුම රැකෙන ලෙස මසාගන්න.
මලේ මැද තද කොළ පාට රිබන් භාවිත කර ප්‍රංශ ගැට මසා ගන්න. පොහොට්ටු සුදු පාට අඟල හා අඟල් 1/2 පළල රිබන් භාවිත කර රිබන් මැස්මෙන් මසාගන්න. මල්වල මැද සහ පොහොට්ටුවල මුල කහ පැහැයෙන් වර්ණ ගන්වා ගන්න.
රෝස පාට කුඩා මල්වල පෙති බේබි රිබන් භාවිත කර කෙළින් මැස්මෙන් ලූප්ස් ආකාරයට මසා ගන්න. එම මල මැද සිට පෙති මතට තැඹිලි පාට මිලිමීටර් 1 හෝ 2 රිබන් භාවිත කර පිස්ටල් මැහුම් දමාගන්න. රෝසපාට මල් පොහොට්ටු මිලිමීටර් 1 හෝ 2 රිබන් භාවිත කර කෙළින් මැස්මෙන් හා රිබන් මැස්මෙන් මසා ගන්න. නටු දුඹුරු පාට මිලිමීටර් 1 හෝ 2 පළල රිබන් භාවිත කර නැටි මැස්මෙන් හා ඇඹරුණු කෙළින් මැස්මෙන් මසා ගන්න. කැමැති නම් කැරලි නූල් භාවිත කර නැටි මැස්මෙන්ද මසා ගන්න. කොළ පාට බේබි රිබන් හා මිලිමීටර් 2 පළල රිබන් භාවිත කර කොළ රිබන් මැස්මෙන් මසා ගන්න. කුරුල්ලා වර්ණ කිහිපයක රිබන් ගෙන රිබන් මැස්මෙන් හා කෙළින් මැස්මෙන් මසා ගන්න. ඇසට කුඩා පබළුවක් අල්ලා ගන්න.
සැලකිය යුතුයි
එක් එක් රිබන් කොටසකින් මැසීම ආරම්භ කිරීමේ දී හා මසා අවසන් කළ පසු එම රිබන්වල වර්ණයට ගැළපෙන නූල් පොටක් සාමාන්‍ය ඉදිකටුවකට අමුණා රිබන් කොටස රෙදි කොටසට තබා නොගැළවෙන ලෙස කුඩා මැහුම්වලින් මසා ගන්න. වැඩි රිබන් කොටස් කපා ඉවත් කරගන්න.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර