Monday, September 1, 2025
Epaper
Home විශේෂාංගදරුවන් රජ කරවන්නට නම්….

දරුවන් රජ කරවන්නට නම්….

by Thanushika

අප එළැඹ සිටින්නේ තාක්ෂණය විසින් සියල්ල පාලනයට නතු කරගත් අවදියකටයි. ලෝකයම එකම ගම්මානයකි. ඇසුරු සැණින් සියල්ල දකින්නත්, සියල්ල පිළිබඳ තීරණය කරන්නත්, ඒ තීරණය ඔස්සේ සිදුවිය හැකි සියල්ල උපකල්පනය කරන්නත් හැකිය. එනයින් බලන කල ලෝකය එක යායකි. එහෙත් ඒ එක යායේ මනුෂ්‍යත්වයට හිමි තැන කුමක්ද? ඒ තැන උදෙසා කාන්තාවක් ලෙස ඔබ මුහුණ දෙන්නේ කෙසේද? වත්මන් කාන්තාව ඉදිරියේ ඇති අභියෝගය එය නොවේද?

ඔබ යම්කිසි වෘත්තියක නිරතවන්නියක් විය හැකිය. එසේත් නැතිනම් ස්වයං රැකියාවක නිරත වන්නියක් විය හැකිය. ඒ කිසිවක්ම නැති ඔබ ගෘහ පාලනය මනාව කරමින් දරුවන්ගේ සහ සැමියාගේත් සමස්ත කුටුම්බයේත් වගකීම දරන්නිය ද විය හැකිය. මේ කුමන දේක නිරත වුවත් මේ ලෝකය හැඩ වෙන්නේත්, මනුෂ්‍යත්වයෙන් පිරි ළතෙත් බවෙන් පිරිපුන් වන්නේත් ඔබ නිසාය. එනිසා ඒ කුමන කාර්යයක නිරත වුවත් මේ ලෝකයේ පැවැත්මේ ස්වභාවය තීරණය කරන්නේ ඔබය. ඔබ තාක්ෂණය විසින් හසුරුවන ලෝකයේ තවත් තාක්ෂණික මෙවලක් වී ඔබේ කුටුම්බයේ ළතෙත් බව නැති කරන්නියක් විය යුතු නැත.

අද දරුවන් දරුවන්ගේ ලෝකයේය. ඒ ලෝකය මුළුමනින්ම පිරී ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් මතය. වෙනදා අප දකින කෙළිලොල් දරුවන් වෙනුවට අද ඇත්තේ හිස ජංගම දුරකතනය වෙත නවාගත් අවට ලෝකය පුංචි තිරයෙන් සොයන පරපුරකි. එබැවින් අප කියන්නට යන්නේ දරුවන් තාක්ෂණයෙන් ඉවත් කළ නොහැකිය. නමුත් එහි දිග පළල ගැන, එයින් වැඩ ගත යුතු ආකාරය ගැන දරුවන් දැනුවත් කිරීමේ වගකීම ඇත්තේ ඔබ අත බවය. දරුවන්ට දරුවන්ගේ ලෝකය සේම ඔවුන් යා යුතු ලෝකය ගැන ද මනා දැනුවත් කිරීමක් ඔබෙන් සිදු වන්නේ නම් කුටුම්බය ඇතුළත දරුවන්ගේ ලෝකයේ කිරුළු පළන් රැජින වන්නේ ඔබය. ඒ වගකීම සපුරා ඇත්තේ ගෙදර මිණිපහන වන් ඔබ අතය.

මා ගිය සතියේත් මතක් කළ සේ ඔබත් ජංගම දුරකතනයේ වහලෙක් වී දරුවන්ගේ ලෝකය අමතක කළහොත් ඔබට ලෝකය කෙසේවෙතත් ඔබේ ලෝකය අහිමි වීමට ඉඩ ඇත. පවුලේ ආලෝකය දරන්නී ඔබයි. ඒ ආලෝකයෙන් ආලෝකවත් වන්නේ ඔබ පමණක් නොවේ. එබැවින් දරුවන්ගේ ලෝකයට තාක්ෂණයේ පිහිට ඇබ්බැහියක් නොවීමට නම් ඔබ දරුවන්ගේ ඇබ්බැහිය විය යුතුය. එවිට ලෝකය තනන්නට ඔබේ දායකත්වය ගැන නිහඬවම ආඩම්බර වන ආදරණීය අම්මා වීමට ඔබට අපහසු නැත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?