Monday, September 1, 2025
Epaper
Home විශේෂාංගගුරුවරියට බිලි වූ සිසුවිය

ගුරුවරියට බිලි වූ සිසුවිය

by Thanushika

අදින් සත් වසරකට පමණ ඉහතදී එළැඹි එක් සිරිපා වන්දනා සමයකි. ඈත පිටිසර ගම්මානයකින් පැමිණි වන්දනා නඩයකි. දැන් අලුයමයි. හාත්පස සුළඟින් වෙළාගෙන ඇත.

“කෝඩුකාරයෝ බොහොම හොඳින් පේ වෙලා ඉන්න ඕනෑ. එහෙම නොවුණොත් අනතුරු අන්තරා බොහොම ඇතිවෙන්න පුළුවනි.”

පොදි කන බැතිමතුන් අතරින් නඩය දෙසට හැරී මෙහෙම කියන්නේ නඩේගුරාය.

ඒ ඇසිල්ලෙන් නඩේ එක් දැරියක වික්ෂිප්ත වූවාය. තැති ගත්තාය. ඉහළට කරුණා කරන්නට අදි මදි කළාය. එතැනම හිඳගත්තාය.

තලතුනා ගැමියෝ ඇය අස්වැසූහ. මහලු කාන්තාවෝ දිරි දුන්හ. ඒ අතර උන් අත්තම්මා කෙනකුගේ කනට කොඳුරා පහළොස් හැවිරිදි දැරිය ඇඬූ කඳුළෙන් රහසක් කීවාය.

“මං පිරිසුදු නැහැ අත්තම්මේ, එක මාමා කෙනෙක් මට . . . . මට..” ඉන් එහාට දැරියගේ හඬ පිට නොවන හැඩකි.

මේ කතාවේ මුල එතැනය. වන්දනා ගමන නිමා විය. එහෙත් ඒ කතාව එතැනින් නිමා නොවීය. වැඩිහිටියන්ගේ පෙරැත්ත කිරීමට පසුව ඇය ඇත්තම කිව්වාය.

ඒ අනුව පොලිස් පොතේ සිද්ධිය සටහන් කෙරිණ. එය ගමට සීමා නොවිණ. කොළඹටත් ඇදිණ. ඒ මෙසේය.

දැරිය ඉගෙනුමට හපනියකි. අගහිඟකම් කෙතෙක් වුවද ඉගෙනුම අත් නොහැරියාය. පාඩම් වැඩ හොඳින් කළාය. ඉංග්‍රීසි ගුරුවරියට දැරිය වඩාත් ප්‍රිය කළාය.

“අපි ලබන ඉස්කෝලේ නිවාඩුවට කොළඹ අපේ ගෙදර නිවාඩුවකට යමු. කොළඹ බලන්න යන්නද කියලා දුව අම්මලාගෙන් අහන්නකෝ. අපේ ගෙදර නවතින්න පුළුවන්.

මටත් බබාලා දෙන්නෙක් ඉන්නවානේ. හැබැයි එයාලා ඔයාට වඩා පොඩියි.”

මවුපියන්ගේ අවසරය ඇතිව දැරිය ගුරුවරිය සමඟ කොළඹ එන්නේ ටික දවසකටය. ඒ කොළඹ ලස්සන බලන්නටය.

දැරියට මෙය අහම්බයකි. විනෝද චාරිකාවකි. එහෙත් ගුරුවරියට හෝ නෑකමට ඇයගේම මස්සිනා වූ ගුරුවරියගේ සැමියාට එය එසේ නොවිණි. ඔවුහු සූක්ෂ්ම වූහ. සැලසුම් සහගත විය.

දැරිය කොළඹ එනවිටත් මේ යුවළ තමන්ගේ දරු දෙදෙනා දුරස් කළෝය. වැඩිමහලු දරුවා ඥාති නි‍ෙවසක නැවැත්වූහ. ඒ රාත්‍රියේදී බාල දැරිය නි‍ෙවසේම වෙනත් කාමරයක නින්දට යැවූහ.

අහිංසකාවිය මේ කිසිවක් නොදත්තාය. එහෙත් රාත්‍රී ආහාරයෙන් පසුව ගුරුවරිය පමණක් නොව ඇයගේ සැමියා ද සිටින නිදන කාමරයේම දැරියටත් නිදන්නට සූදානම් කර තිබීම හමුවේ දැරිය බියටත්, ලජ්ජාවටත් පත් වූවාය.

එහෙත් එය එසේම සිදු විය. දන්නා කාත් කවුරුත් නැති, මුල්වරට කොළඹ පැමිණි ඇයට හඬා වැළපීම හැර අන් කරන්නට දෙයක් නොවිණ. එහෙත් ඒ අඳෝනාවෙන් එකම ඇඳේ වැතිර සිටි ගුරුවරියගේ හිත උණු නොවුණි. මේ අපරාධය එක් දි‍ෙනකට සීමා නොවීය. දින කිහිපයක්ම එකම අයුරින් සිදුවිය. දොරගුළු දැමූ කාමරයේ බිත්ති හතරෙන් එහාට මේ අපරාධයේ වගතුග එවකට නොයැවිණි.

දින කිහිපයකින් පසුව ගුරුවරිය නැවත දැරියව ගමට කැඳවාගෙන ආවාය. ගුරුවරියගෙන් මවු සෙනෙහස පැතූ දැරියට මහා දුකක් ඇති විය. එය පිළිකුල මුසු වූවකි.

“මේ ගැන ඔයා කාටවත්ම කියන්න බැහැ හොඳේ. කාට හරි කිව්වොතින් මං මගේ ළමයි දෙන්නත් එක්කම දිවි නහගන්නවා..”

වේදනාබර දැරියගේ සිතට ගුරුවරියගේ මේ කාරුණික තර්ජනය තවත් උහුලනු නොහැක්කක් විය. එහෙත් ඉවසනු මිසක ඇයට කළ හැකි අන් කිසිවක් නොවිණි. ඒ එකලය. දැන් සිරිපා ගමනේදී අහම්බෙන් මෙන් ඇයගෙන් සත්‍යය කියවෙන්නට පටන්ගෙන ඇත. එහෙත් ස්ත්‍රී දුෂණ නඩුවකදී පැමිණිල්ල සාක්ෂි සහිතව කරුණු ඔප්පු කළ යුතුය. අදාළ සිද්ධිය එවිට නැවත නැවත මෙනෙහි වීම නොවැළැක්විය හැකියි. සත් වසක පමණ කලක් තිස්සේ මේ වින්දිත දැරියට නඩු කටයුතුවලට කොළඹ ආවාය. ඒ තනියම නොවේ. ඇය උගත් ගමේ පාසලේ තරුණයකු ඇයට ප්‍රේම කළාය. ඒ මෙම සිද්ධිය දැන දැනය. එය දැරියට ඉමහත් අස්වැසිල්ලක් වූ බව ඒකාන්තය.

අධිකරණයේදී මේ පිළිබඳ පර්යේෂණ සාක්ෂි කැඳවිණි. එමෙන්ම ඉන්පසු චුදිත යුවළගේ දියණියක ද විත්තියේ සාක්ෂිකාරිනියක ලෙස කැඳවිණි. එහෙත් කිසිවිටෙකත් මේ චෝදනාව පිළිගන්නා බවක් නඩු විභාගය අතරතුරදි ගුරුවරියගෙන් හෝ ඇයගේ චූදිත සැමියාගෙන් ප්‍රකාශ නොවීය. ඒ කෙසේ වෙතත් අවසානයේදී සාක්ෂි විමසා බැලූ මහාධිකරණ විනිසුරුවරිය දැරිය දූෂණය කළ වරදට ගුරුවරියගේ සැමියාව වරදකරු කෙරුණේ ඊට ඉඩ පෑදීම, ආධාර අනුබල දීමට ගුරුවරියද වරදකාරිය බවට තීන්දු කරමිනි.

මේ කාලයේ වැලිතලාවෙන් යටපත් වන්නට බොහෝ සෙයින් ඉඩ තිබූ අපරාධයකි. එහෙත් කෙළවරදී එය එසේ නොවීය.

මේ නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරුණු ඉකුත්දා වින්දිත තැනැත්තිය ද පැමිණ සිටියාය. ඒ අද වන විට තරුණියක වශයෙනි. එපමණක් නොව මවක ද වශයෙනි. එදා එකම පන්තියේ එකටම අකුරු උගත් ඇයට ළෙන්ගතු තරුණයා මේ නඩුව විභාගවන අතරතුරදී ඇයව විවාහ කර ගත්තේය. ඇය නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ දා පැමිණ සිටියේ ඔහු සමඟිනි.

ඈත දුෂ්කර ගමක සිට වරින් වර කොළඹ නඩුවට පැමිණි ඒ ගැමියන්ගේ කොළඹ ගමන ඉකුත්දා මේ නඩු තීන්දුවක් සමඟ නිමා විය.

ඒත් නීතිය ඉදිරියට නොපැමිණි තවත් කෙතරම් නම් අහිංසකාවන්ගේ කඳුළු කතා මෙරට අවකාශයේ තවමත් දෝංකාර දෙනු ඇතිද?

සත්‍ය කතාවක් ඇසුරෙන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?