Monday, September 1, 2025
Epaper
Home විශේෂාංගඅලුත් ගෙදර මිදුලට වාසනාව ගෙනෙන සුබ පැළ

අලුත් ගෙදර මිදුලට වාසනාව ගෙනෙන සුබ පැළ

by Thanushika

මිනිසා සහ ශාක අතර සම්බන්ධතාව අද ඊයේ ඇති වූවක් නොවෙයි. පුරාණයේ සිටි මිනිසුන් පවා ගහකොළවලට ආදරය හා ගරු සැලකිලි දක්වා ඇත. එසේම ගස් වැල්වලට වන්දනාමාන ද කර ඇත. රුක් රෝපණය ද මහානිසංස ලැබෙන පින්කමක් බව සඳහන් වෙයි. ඵලදායී ගස් සිටුවීමෙන් ද යහපතක් වනු ඇත.

එහෙයින් ඔබේ ගෙවත්තේ සිටුවීමට සුදුසු නුසුදුසු ශාක වර්ග ගැන දැන සිටීම වැදගත්ය. ඕනෑම සුදුසු හෝ නුසුදුසු ගසක් නිවෙසේ ප්‍රධාන ‍ෙදාර ආසන්නයේ සිටුවීම අසුබය. අතු පතර විහිදී විශාලව වැවෙන ගස් නිවෙස ඉදිරිපිට තිබීමෙන් එම නිවෙසට වාස්තු දෝෂ ඇතිවනු ඇත. මෙවැනි ගස් නිවෙස ඉදිරිපිට තිබීමෙන් නිවෙසට ප්‍රමාණවත් සූර්යාලෝකය නොලැබීම නිසා දෝෂ ඇති වෙයි. මේ නිසා අඳුරට අරක් ගත් අමනුෂ්‍ය බලවේගයන් මඟින් නිවෙසේ පදිංචිකරුවන්ට අමනුෂ්‍ය දෝෂ පහසුවෙන් ඇති වෙයි.

බෙන සහිත ශාක

තවද ඔබගේ නිවෙස අසල බෙන සහිත ශාක තිබීමද අනතුරුදායකය. මේ නිසා විසකුරු සතුන් මෙම ගස්වල බෙන තුළ සිටීමෙන් අනතුරු ඇති වෙයි. රාත්‍රී කාලයට මෙම ගස්වල පක්ෂීන් ලැගුම් ගැනීම නිසා උන්ගේ මලපහවලින් මිදුල අපවිත්‍ර වෙයි. කෘමි උවදුරුද ඇති විය හැකිය. මේ හේතුවෙන් පරිසරය අපවිත්‍ර වී නිවෙසේ අය රෝගී වන්නට හැකිය.

අතු සහ ගෙඩි වැටෙන ශාක

අතු හා ගෙඩි වැටෙන ශාකයන් ද නිවෙස අසල සිටුවීම අසුබය. පොල්, දෙල්, පුවක්, කොස් වැනි ශාක නිසා ගස්වල ගෙඩි වැටීමෙන් නිවැසියන්ට අනතුරු වන්නට පුළුවන. එනිසා මෙවැනි ශාක නිවෙසට තරමක් ඈතින් සිටුවිය යුතුය.

කටු සහිත ශාක

එසේම කටු සහිත ශාක ද නිවෙස අසලට අසුබය. අන්නාසි, ‍ෙදාඩම්, පතොක් වැනි ශාක නිසා නිවැසියන්ට අනතුරු වන්නට පුළුවන. එසේම ගෙවත්තේ සිටුවීමට නුසුදුසු ශාක වර්ග ද ඇත.

සොහොන් බිම් ආශ්‍රිත ශාක

සොහොන් බිම් ආශ්‍රිතව වැවෙන ශාකද තම ගෙවත්තේ සිටුවීම අසුබය. අරලිය වැනි ශාක මෙසේ අසුබ ශාකවලට අයිතිය.

දෙවියන් වැඩ සිටින ශාක නිවසට අසුබයි

දෙවියන් වැඩ සිටින නුග, බෝ, නා වැනි ශාකද මෙම ගණයට අයිතිය. කතුරුමුරුංගා හා ඇල්බීසියා, සියඹලා වැනි ගස් ද නිවෙස අසල සිටුවීම අහිතකරය. මෙම ශාකවල කොළ රාත්‍රි කාලයේ හැකිළෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ නිවැසියන් අක්‍රිය වීමය. නිවෙසින් අෑතින් මෙම ශාක තිබුණාට වරදක් නැත. නමුත් සියඹලා වැනි විශාලව වැඩෙන ශාක ගෙවත්තේ වැට මායිමට සිටුවීම නිසාද අසල්වාසී නිවැසියන්ට එය කරදරයක් වීමට පුළුවන. එනිසා එවැනි ශාක තම ගෙවත්තේ මැදට වන්නට සිටුවීම යහපත්ය.

ගැහැනු දරුවන්ට අපල ශාක

ජම්බු හා රඹුටන් ගස් ද නිවෙස අසල සිටුවීම අසුබය. ජම්බු ගස් නිවෙස අසල සිටුවීමෙන් නිවෙසේ වසන ගැහැනු දරුවන්ට අපල ඇති කරයි. එමෙන්ම රඹුටන් ගස්ද පරිසරය අපවිත්‍ර කරයි. රඹුටන් ඉදුණු කාලයට ඒවා කෑමට පැමිණෙන පක්ෂීන්ගෙන් පරිසරය අපවිත්‍ර වන්නට පුළුවන. මෙම ගස්වල අතු අසීමිතව වැඩෙන නිසා ගසේ කොළ වැටීමෙන් ද පරිසරය අපවිත්‍ර වෙයි.

රතු පාට මල් වැවෙන ශාක

රතු පාට මල් වැවෙන ශාක නිවෙස අසල වැවීම අසුබය. රතුපාට වද, රතු රෝස වැනි ශාකද අසුබය. ගොරොක් ගස ද නිවෙස අසල සිටුවීම අසුබය. එම අතු ඉතා විශාලව වැඩෙන නිසා එම ගසේ ගෙඩි වැටීමෙන්ද අනතුරු ඇති වන්නට පුළුවන.

කෙසෙල් හා ගස්ලබු ද නිවෙස අසලට අසුබය. එසේම උණ ගස් ද අසුබ පල දෙන තවත් ශාකයකි. උණගස පඳුරු වශයෙන් ඇත. ඒවායේ කටු ඇනීම නිසා  අනතුරු සිදු වන්නට පුළුවන. දරුණු උරගයන්ට ද මෙම උණ පඳුරු තුළ ජීවත්වීමට පුළුවන. එමඟින් ද නිවැසියන්ට අනතුරු ඇති වීමට ඉඩ ඇත.

නිවෙසේ සිටුවීමට සුදුසු ශාක

කොහොඹ ගස් ගෙවත්තේ වැවිය යුතු ශාකයකි.  මෙය බුධට අයිති ශාකයකි. නිවෙසේ උතුරු දිශාවට මෙම ගස සිටුවීම සුබයි. කොහොඹ ගසේ කොළද පොතුද අසනීපවලට ප්‍රතිකාර පිණිස ගනු ලබයි. කොහොඹ ගසෙන් මුදල් මෙන්ම අනෙකුත් භෞතිකම ලැබීම්වලින් නිවැසියන්ට වාසි අත්වන බව පැවැසෙයි. කොහොඹ ගසක් සිටුවීමෙන් යහපත් සිදුවීම් නිවෙසේ සිදුවේ. විශේෂයෙන්ම නිවෙසේ ජීවත් වන්නන්ට දීර්ඝායුෂ ලැබෙන බව පිළිගැනීම වෙයි. එලෙසම වාසනාව පෑදී ලෙඩ දුක් ඇති නොවේ. නීරෝගි වේ. නිවෙස කොහොඹ ශාකයේ ඖෂධීය ගුණය විසබීජ නාශක ගුණය නිසාම වාතාශ්‍රයේ ඇති විසබීජ ඇදගැනීමේ හැකියාවක් පවතී. මෙනිසා කොහොඹ ශාකයෙන් පිටවෙන සුවඳ හා එයින් නිකුත් වන කිරණ වැදී නිවැසියන්ගේ සෞඛ්‍යය කෙරෙහි එය බලපානු ලබයි. එමඟින් සෞඛ්‍ය වැඩිදියුණු වේ.

අඹ ගස ද නිවෙසට තිබිය යුතු ශාකයකි. අඹ ගස අකුණු සන්නායකයක් ද වෙයි. අඹ ගසක් නිවෙස අසල තිබේ නම් එම නිවෙසට අකුණුවලින් වන උවදුරු ඇති නොවේ. අඹ  ඉදුණු පලතුරක් ලෙස ගුණදායකය. කෙසෙල් වැනි කඳ ශක්තිමත් නොමැති ශාක ගෙයි ඉදිරිපස සිටුවීමට සුදුසු නොවුණත් නිවෙසේ පැත්තට වන්න දකුණින් සිටුවීම සුදුසුයි.

බෙලි ගස ද ගෙවත්තේ සිටුවීමට සුදුසු ශාකයකි. නිවෙස අසලම මෙය සිටුවීම අසුබ වුවත් පලතුරක් ලෙස ද මෙම ගෙඩි ගනු ලබන නිසා ගෙවත්තේ සිටුවීම යහපත්ය. ශ්‍රියා කාන්තාවට අයිති ශාකය ලෙස ද මෙය හඳුන්වයි.

බත් ගස ලෙසින්  සලකන කොස් ගස ද ගෙවත්තේ සිටුවීම යහපත්ය. ඉඩමේ වැටටම නොසිටුවා ඉඩමේ මැදට වන්නට මෙම ගස් සිටුවන්නට පුළුවන. මෙහි ගෙඩි ඉදුණු පසු පලතුරක් ලෙස ද ගන්නට හැකිය. ගසේ අරටුව ද ගෘහ භාණ්ඩ සෑදීමට ගනී.

විෂ්ණු දෙවියන්ට අයත් යැයි සැලකෙන දිවුල් ගස ද, කරාබු ගස ද නිවෙසේ ගෙවත්තේ සිටුවීම යහපත්ය. කඳුකර ප්‍රදේශවල මෙම කරාබු ගස හොඳින් වැඩේ. මෙම ගස් සිටුවීම ආර්ථික  වශයෙන් ද යහපත්ය.

එසේම නෙල්ලි, දෙළුම් වැනි ශාකද ගෙවත්තේ තිබිය යුතුම ශාක වර්ගයන්ය.

ජලයේ පිපෙන මානෙල් වැනි මල් වර්ග නිවෙස ඉදිරිපිටට වාසනාව කැන්දනවා. විශේෂයෙන් නිවෙසක සෞභාග්‍ය පිරී ඉතිරී යන්නටත් නිවෙසේ ඉදිරිපස ශාන්ත බව රැක ගන්නත් නෙළුම්, මානෙල් මල් උපකාරී වෙනවා. ඒ අතර සමන් පිච්ච මඟින් ගෙමිදුලට චාම් බවක් ගෙනෙන අතර සේපාලිකා මලෙන් නිවෙසට ධනාත්මක ශක්තීන් තීව්‍ර කරයි. ඕකිඩ් වෛවර්ණ රටා ගෙනැවිත් ගෙමිදුලට වටිනාකමක් ගෙන දේ. ආදරයේ සංකේතය රෝස මල් වගාවෙන් නිවැසියන්ට ආදරණීයව කල් ගත කරන්නට වාසනාව උදා කරයි. කෘමී විකර්ණය කල් ගත කරන්නට වාසනාව උදා කරයි. කෘමි විකර්ණය ගුණය අති දාස් පෙතියාත් මේ අතරට එකතු කරගත්තොත් ඔබේ නිවෙසට සැබෑම වාසනාව ගෙන දේවි.

ඇට්ටේරියා පැළයක් නිවෙස ඉදිරිපස සිටුවීමෙන් නිවැසියන්ගේ ප්‍රීතිය, සතුට නොනැසී පැවතෙන බවට මතයක් පවතිනවා. ප්‍රීතියේ දෙවඟන නිවෙසට කැන්දාගෙන ඒමට ඇට්ටේරියා පැළ නිවෙස් ඉදිරිපිට සිටුවීමට පැරැන්ණෝ කටයුතු කළ බවට විශ්වාසයක් පවතිනවා.

නිවෙස ඉදිරිපස සිටුවිය යුතු මල් වර්ග අතුරින් වැදගත්ම සුබ මල් වර්ගයක් වන්නේ සමන් පිච්චයි. දේව ආශීර්වාදයත්, දේව බැල්මත් නිවෙසටත් නිවැසියන්ටත් මෙමඟින් ලැබෙන බවට විශ්වාසයක් පවතියි. සුබ ධනාත්මක බලපෑමක් නිවැසියන්ට ඇති කරන සමන් පිච්ච සුවඳ මෙන්ම ඖෂධීය ගුණ මඟින් නිවැසියන්ට සෞඛ්‍යයරක්ෂිත බවක් හිමිවේ.

දෙළුම් සිටුවීමෙන් නිවැසියන්ගේ සැප පහසුව, සුඛ විහරණය වැඩි දියුණු වන බව පැවැසෙනවා. එමෙන්ම දෙළුම් ශාකයේ ඇති ඖෂධීය ගුණවල බලපෑම නිතැතින්ම නිවැසියන් වෙත යොමු වෙනවා.

වතුසුද්ද ගස් ද ගෙවත්තට සුදුසුය. නමුත් ගෙයි ඉදිරිපස සිටුවීමට සුදුසු නැත. ගෙයි පිටුපසට වඩා සුදුසුයි.

ඔබත් ඔබේ ගෙවත්තේ මෙසේ සුබ ගස් වර්ග වගා කර යහපත සලසා ගන්න.

උපදෙස්:-

සිවිල් ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද

ආචාර්ය ගයාන් එරමුදුගොඩ

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර / විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?