Monday, September 1, 2025
Epaper
Home වෛද්‍යලියුකෝරියා

ලියුකෝරියා

වැඩිවියට පත් වූ සහ මැදිවියේ ස්ත්‍රීන්ගේ දැකිය හැකි සුලබ තත්ත්වයක්

by Thanushika

“අම්මා ! අම්මා!”

“ඇයි ? මොකද කෑ ගහන්නේ?”

“එන්නකෝ !”

“මොකද ළමයෝ ? මොකද වෙලා තියෙන්නෙ?”

“මේ බලන්නකෝ ! දැන් කිහිප දවසක්ම මෙහෙමයි.”

“යට ඇඳුම්වල ඔහොම තියෙනවා සමහර වෙලාවට. ගැහැනු අයගෙ සාමාන්‍ය දෙයක්.”

“ඒ වුණාට මට බයයි. මේක අසනීපයක් වෙන්නත් පුළුවන්.”

“හරි ඔයා ඔහොමම ලෑස්ති වෙන්නකෝ. අපි මේ ගමන යනගමන්ම අපේ family doctor ළඟට යමු. මොනවා හරි ප්‍රශ්නයක් ද කියන එක දැනගන්න එක වටිනවනේ.”

අම්මා එක්ක වෙන ගමනක් යන්න හිටිය මම, තවත් කල් නොදා අපේ family doctor මුණගැහෙන්න ගියා. මොකද අපි සාමාන්‍ය දේවල් කියලා ඉවත දාන සමහර දේවල් නිසා පසුකාලීනව නොහිතන ලෙඩ රෝගවලට මුහුණ දෙන්න සිදු වෙන නිසා.

“මොකද මේ දෙන්නා අද. කියන්න බලන්න”

“Doctor…, අනේ අම්මේ ඔයා කියන්නකෝ “

“දරුවො, කිසිම වෙලාවක වෛද්‍යවරයට තියෙන අසනීපයක්, මුහුණ දෙන ගැටලුවක් විස්තර කරන්න බය වෙන්නවත්, ලජ්ජා වෙන්නවත් එපා. මොකද වෛද්‍යවරයෙක් කියන්නේ ඔයාලා වගේ දහස් ගාණකගේ ගැටලු හරියට හඳුනගෙන ප්‍රතිකාර කරන කෙනෙක්.”

“ඒක ඇත්ත. Doctor මේකයි ප්‍රශ්නය. අපේ දරුවගේ ඇඟෙන් සුදු පාට උකු ද්‍රාවණයක් පිට වෙනවා. ඔසප් වෙනවා වගේ නෙමෙයි. ඊට ගොඩක් අඩුවෙන්. ඇඟේ උෂ්ණයට නේද එහෙම වෙන්නේ ?”

අම්මා එහෙම අහනකොට doctor හොඳින් සූදානම් වෙලා අපි දිහා බැලුවා. ඇය කවදත් අපි නොදන්න සෞඛ්‍ය ගැටලු, කරුණු කාරණා හොඳින් පැහැදිලි කරලා ප්‍රතිකාර ලබා දෙන කෙනෙක්.

“මෙහෙමයි අම්මා, ඕකට කියන්නේ සුද යෑම කියලා. බොහෝමයක් කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නයක් මේක. සාමාන්‍යයෙන් ඔසප් වීමට අපි මුහුණ දෙන්නේ මාසයකට වතාවයිනේ. නමුත් මේ සුද යෑම නිතර සිදු වෙන දෙයක්. කාන්තාවකගේ යෝනි මාර්ගය තුළින් පිටවන සුදු හෝ කහ පැහැති දියරයක් මේක. ‘ලියුකෝරියා’ කියන්නෙත් මේ තත්ත්වයටමයි. අවුරුදු දහය ඉක්මවා ගිය තරුණ අයට සහ මැදි වයසේ පසුවෙන ස්ත්‍රීන්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්.”

මෙහෙම වෙන්න හේතු තියෙනවද doctor?

“මෙහෙමයි, මේක බොහෝ විට ස්වාභාවික ක්‍රියාවලියක්. යෝනි තුළ තෙත්ව තබා ගැනීම, බාහිර බැක්ටීරියාවලට එරෙහිව ආරක්ෂාව ලබා දීම සහ මෘදු පටල පිරිසුදු කරගැනීම සඳහා ශරීරය මේ දියරය නිපදවනවා. මේක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ ස්වාභාවිකව පිටවන දියරය ඝන, උකු ද්‍රාවණයක් විදිහට යට ඇඳුම්වල තැවරිලා තියෙනවනම් ප්‍රතිකාර ගතයුතු තත්ත්වයක්. යෝනි මාර්ගය ආශ්‍රිත කැසීම් ඇති වීමත් මේ නිසා සිදු වෙන්න පුළුවන් දෙයක්?”

මාත් මුහුණ දීලා ඉන්නේ මේ වගේ ප්‍රශ්නයකට doctor. මෙහෙම ඝන, උකු ද්‍රාවණයක් විදිහට මේ තරලය පිටවෙන්න හේතු මොනවද?

“ඒකට හේතු ගණනාවක්ම තියෙන්න පුළුවන් දරුවො. අධික උෂ්ණ, කටුක ආහාරපාන නිතර පරිභෝජනය නිසා, පෞද්ගලික පිරිසුදුභාවය නොමැතිවීම නිසා, බාහිර හා අභ්‍යන්තර ප්‍රජනක ඉන්ද්‍රිය පද්ධතිය ආශ්‍රිත අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොණ්ඩම්, ලූප්ස් වැනි උපත් පාලන ක්‍රමවලට ඇතිවන අසාත්මිකතාවන් නිසා, ඊට අමතරව ඩිම්බකෝෂ, පැලෝපීය නාල, ගැබ් ගෙල ආශ්‍රිතව ඇතිවන රෝග නිසා, එය දැන්වීමට කරන උපක්‍රමයක් ලෙස රෝග ලක්ෂණයක් විදිහටත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.විවිධ සබන්, ආලේපන වර්ගවලට දක්වන අසාත්මිකතාවක් නිසාත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.දරා ගත නොහැකි කාර්යභාරයන්ට යොමු වීමත් සමඟ ඇතිවන මානසික පීඩනය නිසාත්, මන්දපෝෂණය, මදුමේහය, වෙනත් රෝගයක අතුරු ප්‍රතිඵලයක් ලෙසත් සුද යාම ඇති වෙන්න පුළුවන්. අධිකව මෛථුන සේවනය කිරීම, බහු පුරුෂ සේවනය, සමාජ රෝග නිසාත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඔයා තරුණ ළමයෙක්.

ඉතින් ඇඟේ තියෙන උෂ්ණාධික බව, අසාත්මිකතාවක් වගේ දෙයක් නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.”

“ඒක ඇත්ත doctor. මෙයා සෑහෙන්න උෂ්ණ දේවල් කෑමට ගන්න කෙනෙක්. ඒ වගේම නොසෑහෙන්න වැඩ කරන කෙනෙක්. රැකියාවේ වැඩ වැඩිකම නිසා සෑහෙන පීඩනයක් දරාගෙන ඉන්න කෙනෙක්.”

ඇත්තටම doctor, මේ තත්ත්වය නිසා ගැහැනු අය සෑහෙන ගැටලුවලට මුහුණ දෙනවා නේද?

“ඔව් ඒක ඇත්ත. මේ තත්ත්වයට මුහුණ දුන්න කාන්තාවන් ක්‍රමයෙන් කෙට්ටු වෙනවා. සම වියළි රැලි වැටුණු බව ඇතිවෙනවා. ඇස් වටේ කළුවෙනවා, කෑම අරුචිය ඇතිවෙනවා, මුත්‍රා ආසාදන ඇතිවෙන්න පුළුවන්. ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කැසීම, දුර්ගන්ධය වැනි ලක්ෂණ ඇති වෙනවා. මේ තත්ත්වයත් එක්ක රෝගියාට කේන්ති යන ස්වභාවය දකින්න ලැබෙනවා.මේ කියන ලක්ෂණ නිසා රෝගියාගේ මානසික පීඩනය වැඩි වෙන්න පුළුවන්.”

Doctor එතකොට මේ තත්ත්වය නැති කරගන්න හැකියාවක් තියෙනවද?

“පැහැදිලිවම මේ තත්ත්වය නැති කරගන්න පුළුවන්. නිතරම ශරීරය පිරිසුදු කරගන්න. මෙය රෝගී තත්ත්වයක් වගේම වෙනත් රෝගවල ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා රෝගී තත්ත්වය ආයුර්වේද ප්‍රතිකාරවලින් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ඒ වගේම මෙම රෝගී තත්ත්වයෙන් වැලකීමට නම්, පෞද්ගලික පිරිසුදුභාවය තබා ගැනීම අතිශය වැදගත්. ලිංගාශ්‍රිත ප්‍රදේශය නිතරම පිරිසිදුව තබා ගැනීම, උෂ්ණ ආහාර නිතර ගැනීමෙන් වැළකී සිටීම කළ යුතුයි. ඒ වගේම හොඳින් ජලය පානය කරන්න.”

අපිට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයකට යන්න පුළුවන් නේද? මොකද මේ තත්ත්වය මට මානසික පීඩනයක්.ඔව් අපිට පුළුවන් ප්‍රතිකාර ක්‍රමවලට යොමු වෙන්න. එතෙක් ඔයාට පුළුවන් පෞද්ගලික පිරිසුදුභාවය රැකගෙන, උෂ්ණ ආහාරවලින් වළකින්න වගේම හොඳින් ජලය පානය කරන්න.”

බොහෝම ස්තූතියි doctor. මේ සම්බන්ධයෙන් මේ තරම් පැහැදිලි කරලා අපිට උපදෙස් ලබා දුන්නට.

ඉතින්, මම වගේම කාන්තා ඔබත්, සුද යෑමේ තත්ත්වය නිස පීඩා විඳින්නෙක් විය හැකියි. සමාජයේ විවෘතව කතා බහට ලක් නොවන මාතෘකාවක් වන මේ පිළිබඳ තවදුරටත් සඟවා සිටීම හෝ පීඩා විඳීම සිදු නොවිය යුත්තකි. සුද යෑම සම්පූර්ණයෙන්ම අසාමාන්‍ය රෝගයක් නොව, කාන්තා ශරීරයේ සාමාන්‍ය ක්‍රියාවලියකි. නමුත් වර්ණය, ගන්ධය, කැසීම, වේදනාව, රුධිරය මෙන්ම වෙනස් ලක්ෂණ පෙනුණොත් එය රෝගයක ලකුණක් වේ. කාන්තාවන්ගේ සෞඛ්‍යය රැක ගැනීම සඳහා, අදාළ ලක්ෂණ දැනගත් සැණින් වෛද්‍ය උපදෙස් ගැනීම අත්‍යවශ්‍යය. එනිසා ඔබත් ඔබේ පවුලේ වෛද්‍යවරයා මුණ ගැසෙන්න.

උපදෙස්

වෛද්‍ය නිමාලි නුවන්දිකා

BAMS (University of Colombo)

 

රුවංගා දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?